මල්ලි මේ පාර්සලේ බොල්ගොඩ ගඟට දාන්න | දිනමිණ

මල්ලි මේ පාර්සලේ බොල්ගොඩ ගඟට දාන්න

කටුෙගයින් පැන්නූ කඩුව සෙවූ CID වික්‍රමය 
3 කොටස

"ඔහේ කොහෙද

පදිංචිය?"

"‍වොක්ෂෝල් ස්ට්‍රීට් එකේ. බොහොම

අමාරුවෙන්

ජීවත්වෙන්නෙ සර්. අපි දුප්පත් මිනිස්සු"

"හරි හරි. ගොඩක් දවස්වල ඔහේ එන්නෙ පාන්දර පහට විතර. ඒ කියන්නෙ අනිත් අය වැඩ කරලා යන්න යන වෙලාවෙ. ඇයි ඒ?"

"අනේ සර්, මං ලෙඩ ගානෙ ඉන්න මනුස්සයා. පොඩි උන්ගෙ වැඩ ටිකත් කරලා නොවැ එන්නේ"

"වැඩි දෙනෙක් නොයන අර සියඹලා ගහ පැත්තෙ වැඩි කාලයක් ගත කරන්නේ ඇයි?"

"අනේ සර්. ඒ ගැන අහන්න එපා සර්. අපි දුප්පත් මිනිස්සු"

කෞතුකාගාර සොරකමට ආසන්න දිනයකදී එහි සංචාරයේ පැමිණි අදාළ අමාත්‍යවරයාගේ පුද්ගලික ආරක්ෂකයා‍ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලදී. සැබවින්ම ඔහු එදින අලුයම පැමිණ ඇත්තේ කෞතුකාගාරය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නේවාසිකාගාරයට බවත්, ටික වේලාවකින් නැවත පිටත්ව මහනුවර බලා ගොස් ඇත්තේ පුද්ගලික අවශ්‍යතාවක් සඳහා බවත්, මෙම සිද්ධියට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් විමර්ශනවලින් අනාවරණය විය.

"සර්. අර රෑ‍ට ශුද්ධ කරන්න එන අය මෙහෙම කෙනෙක් දකින්න ඉඩක් නැද්ද?

"ඔව්. අපි ඒ ගැනත් ටිකක් හෝදිසි කරලා බලමු"

පොලිස් පරීක්ෂකවරයා, තම විමර්ශන නිලධාරියාට පිළිතුරු දුන්නේය.

කෞතුකාගාර පරිශ්‍රයේ රාත්‍රී ශුද්ධ පවිත්‍ර කටයුතු කොන්ත්‍රාත්තුව එවක අයිතිව පැවතියේ ලංකාවේ සුප්‍රසිද්ධ සමාගමකටය. එම සමාගම විසින් විදේශයන්ගෙන් බඩු භාණ්ඩ ගෙන්වා බෙදාහැරීමේ මෙන්ම වෙනත් ආයතනවලට සුළු සේවකයින් සපයන මෑන් පවර් සමාගමක් ලෙසද කටයුතු කරමින් සිටියි. ඒ අනුව මෙම සමාගමේ කසල ශෝධක වෘත්තිකයින් මරදාන ප්‍රදේශයේ ආයතනය විසින් කුලී පදනම මත ලබාගත් ගොඩනැඟිල්ලක නේවාසිකව සිටිමින් රාත්‍රියට කෞතුකාගර පරිශ්‍රයේ ශුද්ධ පවිත්‍ර කටයුතු සිදුකරනු ලබයි. රාත්‍රී හත පමණ වෙද්දී එම පරිශ්‍රයට ළඟාවන ඔවුන් කණ්ඩායම් ලෙස බෙදී අලුයම 3-4 පමණ වෙද්දී තම රාජකාරි නිමා කොට පිටව යයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම පිරිස ගෙන්වා ඒ වන විට ප්‍රසිද්ධියට පත්කොට තිබුණු ඡායාරූ චිත්‍රයත්, සැකකරුගේ කැප් තොප්පියත් පෙන්වා එවන් අයකු දුටුවේදැයි ප්‍රශ්න කරන ලදී. සිද්ධියට පෙර දිනයේත්, පසු දිනයේත් රාජකාරි කළ තිස් දෙනකුගෙන් පමණ එසේ විමසුවද, කිසිවෙකුගෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබිණි. ඒ අතර එක් අයෙක් පමණක් ලැප් ටොප් පරිගණකයේ දිස්වුණු මුහුණත්, කැප් තොප්පියත් දෙස වඩාත් පරීක්ෂාකාරිව බලා හිස වැනුවේය.

" සර්. මං මෙහෙම කෙනෙක් දැක්කා. එයා පයින් තමයි ඇවිදගෙන මෙන්න මේ පැත්තට ගියේ"

"හොඳටම විශ්වාසද?

"ඔව් සර්. කිළුටු ඇඳුම් ඇඳගෙන හිඟන මනුස්සයෙක් වගේ දැක්කේ."

ඔහු ද ඊට වඩා ඒ ගැන යමක් කියන්නට නොදත්තේය. එසේ වුවද, එම පුද්ගලයා විසින් අදාළ සැකකරු ගිය බව කියූ දිශාවත්, සුනඛයා විසින් ඉව ඇල්ලූ දිශාවත් එකක්ම බැව් තහවුරු විය. එහෙත් ඊට වඩා යමක් ඔහුගෙන් දැන ගැනීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි විය.

මේ සියලු තොරතුරු පොලිස් අධිකාරී පනාමල්දෙණිය සමග දෛනිකව සාකච්ඡා කිරීමට විමර්ශන නිලධාරීන් විසින් කටයුතු කෙරිණි. තව තවත් තොරතුරු එක්රැස් කර ගැනීමේ වැදගත්කම අවධාරණය වීමෙන් පසුව මැයි-ජූනි මාසවන විට ආවේක්ෂණ නිලධාරීන් ලෙස අට දෙනකු පමණ රාත්‍රීයේ රාජකාරියේ යෙදවීමට තීරණය කරන ලදී. ඒ අනුව කෞතුකාගාරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ රාත්‍රී පරිසරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම එහිදී ප්‍රමුඛ කාරණය විය. පෙර කී සමාගමේ කසළ ශෝධකයින් ලෙස, මුරකරුවන් ලෙස, නිල ඇඳුම්ලාගත් පොලිස් නිලධාරීන් ලෙස, මුරුක්කු-කඩල ආදිය විකුණන කරත්ත වෙළෙන්දන් ලෙස ආදී වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආවේක්ෂණ නිලධාරී පිරිස දින කිහිපයක් ගෙවා දමන ලදී.

මෙහිදී රාත්‍රීයේ කසළ ඉවත්කරන සේවක පිරිසට අයත් පුද්ගලයකු වුවද, අලුයම පහට පමණ සෙසු සේවක පිරිස් රාජකාරි නිමා කොට පිටත්ව යන වේලාව වනවිට කෞතුකාගාර පරිශ්‍රයට ඇතුළුවී පාරෙන් මෙහා පස පවත්නා ජනප්‍රිය බාලිකා පාසල දිශාව පැත්තෙන් කරක් ගසන පුද්ගලයකු කෙරෙහි විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුවිය. හඳුනා ගැනීමේ පහසුව පිණිස මෙතැන් සිට ඔහු 'බුන්ටා' (සැබෑ නම නොවේ) හඳුන්වමු. මුස්ලිම් ජාතිකයෙකු වූ ඔහු කෞතුකාගාර පරිශ්‍රයට ඇතුළුවී ටික වේලාවක් එහා මෙහා ගොස් කෞතුකාගාරය පිටුපසට වෙන්නට පවත්නා විශාල සියඹලා ගස ආසන්නයට යයි. සෙසු සේවකයින් මෙම සියඹලා ගසේ හොල්මන් අවතාර පවතින බවට විශ්වාස කරමින් ඒ ප්‍රදේශයට නොයන මුත් ‍බුන්ටා ඇතැම් දිනවල රාත්‍රීයේද, වැඩි කාලයක් ගත කරනු ලබන්නේ සියඹලා ගස ආසන්නයේ බැව් තහවුරු විය. මෙම හොල්මන් කතා, බුන්ටාගේ සැකකටයුතු හැසිරීම්, වැඩි දිනක් සෙසු සේවකයින් නික්ම යන අලුයම් කාලයේ මෙම කෞතුකාගාර පරිශ්‍රයට ඇතුළුවීම ආදිය කෙරෙහි දින කිහිපයක් පරීක්ෂාවෙන් බලා සිටි විමර්ශන නිලධාරීහූ එක්තරා අවස්ථාවකදී ඔහු කොටුකර ගත්හ.

"ඔහේ කොහෙද පදිංචිය?

"‍වොක්ෂෝල් ස්ට්‍රීට් එකේ. බොහොම අමාරුවෙන් ජීවත්වෙන්නෙ සර්. අපි දුප්පත් මිනිස්සු"

"හරි හරි. ගොඩක් දවස්වල ඔහේ එන්නෙ පාන්දර පහට විතර. ඒ කියන්නෙ අනිත් අය වැඩ කරලා යන්න යන වෙලාවෙ. ඇයි ඒ?

"අනේ සර්, මං ලෙඩ ගානෙ ඉන්න මනුස්සයා. පොඩි උන්ගෙ වැඩ ටිකත් කරලා නොවැ එන්නේ"

"වැඩි දෙනෙක් නොයන අර සියඹලා ගහ පැත්තෙ වැඩි කාලයක් ගත කරන්නේ ඇයි?

"අනේ සර්. ඒ ගැන අහන්න එපා සර්. අපි දුප්පත් මිනිස්සු"

කෞතුකාගාර සියඹලා ගස සම්බන්ධයෙන් පතුරුවා ඇති හොල්මන් හා අවතාර පිළිබඳ කතා සියල්ලෙහි මූලාශ්‍රය බුන්ටාය. එයට හේතුවක් තිබිණි. කොළඹ ඉහළ හා මධ්‍යම පාන්තික වෙනස් රුචිකම් ඇති පිරිමින් තම ඇතැම් ආශාවන් සංතර්පණය කර ගනු පිණිස මධ්‍යම රාත්‍රියට මෙම සියඹලා ගස් සෙවණට හා ඒ අවට කොන්ක්‍රීට් බංකු සොයා පැමිණීමට පුරුදුව සිටිති. ඒ අනුව කසළ එකතු කිරීමට අමතරව බුන්ටාගේ තවත් ආදායම් මාර්ගයක් මෙම සියඹලා ගස ආශ්‍රිතව සකස්වී තිබිණි. වෙනත් පිරිස් මේ ප්‍රදේශයේ සැරිසැරීම බුන්ටාගේත්, ඒ බොහෝ දෙනාගේත් කටයුතුවලට බාධාවකි. ඒ නිසාම අන් අය ඒ ප්‍රදේශය වෙත ඇදී යාම වැළැක්වීම සඳහා බුන්ටා විසින් විවිධ හොල්මන් කතා ‍ගොතමින් පතුරුවා තිබී ඇති වග තහවුරු විය. එහෙත් රහස් පරීක්ෂක නිලධාරීන්ගේ අරමුණ බුන්ටාගේ අතුරු ආදායම් මාර්ග හෝ ඔහුගේ රහස් ජීවිතය ගැන සෙවීම නොව කෞතුකාගාර සොරකමට ඔහුගේ සම්බන්ධයක් ඇත්දැයි දැන ගැනීම හා ඒ පිළිබඳ තොරතුරක් හෝ දන්නේ නම් එය අනාවරණය කර ගැනීමය.

කෞතුකාගාරයේ පැති හතරේම ප්‍රධාන දොරවල්වලට තරමක හැඩැති තල දර්පණ විශේෂයක් ඔබ්බවා ඇති බැවින් ඒ වීදුරුවල‍ට හඳ එළිය වැටුණු විට රාත්‍රී කාලයේදීද, අවට බොහෝ දේ දැකබලා ගැනීමට හැකිය. එක් පසෙක දොරක සවිකොට ඇති තල දර්පණයට කෞතුකාගාරය ආසන්නයේ පාරෙන් මෙපිට ඇති ජනප්‍රිය බාලිකා පාසලත්, ඒ සමීපව පාරෙන් මෙහා පස වැඩි කාලයක් ගත කරන බුන්ටා සිටින ප්‍රදේශයත් මනාව පෙනෙයි. ඒ නිසාම එදින සැකකරු ඇතුළුවීම හෝ පිටවයාම පිළිබඳ කුමක් හෝ හෝඩුවාවක් ඔහු දැනගත යුතුව ඇතැයි විමර්ශන නිලධාරීන් කල්පනා කළහ. ඒ නිසාම ඔවුන් ඒ වනවිටත් ඇඳ මුද්‍රණය කොට තිබූ සැකකරුගේ ඡායාරූපය, කැප් තොප්පිය ආදිය පෙන්වා මෙවන් පුද්ගලයෙකු දුටුවේදැයි විමසා සිටින ලදී.

"මම දැක්කෙ නෑ. හොයල බලලා කියන්නම්" බුන්ටා ඒ ගැන කීවේ එපමණකි.

කෞතුකාගාර සොරකම සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාගයක් ලබාදෙන බවට ප්‍රචාරය කිරීමෙන් දින ගණනාවක් ගෙවී යද්දී ඒ පිළිබඳ යම් යම් තොරතුරු ඇතැම් පිරිස් විසින් පොලිස් මූලස්ථානයට ලබා දී තිබුණි. එහෙත් ඒ කිසිවක් වැදගත් හෝ නිවරදි හෝඩුවාවන් නොවුණි. සැකකරුවකු අත්අඩංගුවට නොගැනීමත්, කිසිදු හෝඩුවාවක් නොමැතිව දින, සති, මාස ගණන් ගතවී යාමත් ජනමාධ්‍ය මගින් ප්‍රශ්න කරන තත්ත්වයකට පත්ව තිබුණි. මේ හේතුව නිසා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරමින් වැඩි අවධානයක් මේ කෙරෙහි යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් තීරණය කර තිබුණි. මේ නිසාම සැකකරුගේ මුහුණ ඇඳි ඡායාරූප සහිත මුද්‍රිත පෝස්ටරය ඇළවීම සඳහා රහස් පරීක්ෂකයින් පවා යොදවා තිබුණි. පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ඇතුළු පිරිසක්ද මේ අයුරින් පෝස්ටර් මග දිගට පෝස්ටර් අළවමින් කොළඹ-මීගමුව මාර්ගයේ ගමන් කරමින් සිටියහ. මීගමුව බස් නැවතුම්පළේ පෝස්ටර් ඇළවීමෙන් පසු මෙම පිරිස කොච්චිකඩේ ඉන්ධන පිරවුම්හළ ආසන්නයට පැමිණියහ.

" මේ කාටවත් පෝස්ටර් ගහන්න දෙන්නෙ නෑ"

"එහෙම කියන්න එපා. මේක ‍රටේ ජාතික හොරකමක්. මේක හොයන්න ජනතාවගේ උදව් ඕනෑ"

"මේ පෙනෙන්නෙ නැද්ද මහත්තයෝ. මේ ෂෙඩ් එකේ අලුතින් තීන්ත ගෑවේ. මේ පැත්ත පළාතේ ඕව අලවන්න එපා"

කොච්චිකඩේ ඉන්ධන පිරවුම්හලෙන් පෝස්ටර් ඇළවීමට දැඩි දෝෂාරෝපණයක් එල්ල විය. කෙසේ වෙතත් බොහෝ වෙලාවක් ඒ සම්බන්ධයෙන් තර්ක විතර්ක කිරීමෙන් අනතුරුව පෝස්ටර් කිහිපයක් ඇළවීමට ඉන්ධන පිරවුම්හළේ හිමිකරුගෙන් අවසර ලබාගැනීමට හැකිවිය. ඒ පිළිබඳ එපමණකි.

වැල්ලවත්ත ප්‍රදේශයේ කුලී රථ ධාවනයේ නිරත ත්‍රී රෝද රථ රියදුරකු අතට පාර්සලයක් ලැබෙයි. කලක සිට දන්නා හඳුනන කැලණිය, ගෝනවල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ගුවන් සේවිකාවක විසින් නිවසට කැඳවා ඔහුට එය ලබාදෙනු ලබයි.

"මල්ලියේ මේක බොල්ගොඩ ගඟට වීසි කරලා දාපන්" පාර්සලය ඔහු අතේ තබමින් ඇය කියයි.

"මොනවද අක්කෙ මේ?

"ඕක මේ ගෙදර සාත්තුවක් කරපු ඒවායෙ සුන්බුන්. හූනියමක් කරපු එකක්. ඒකයි ගඟට දාන්න කියන්නේ" ඇය කියා සිටියේ ගාණකට නොගෙනය.

වැඩිදුර යමක් අහන්නට සිත් නොදුන්නද, ත්‍රී රෝද රථ රියදුරා ටික දුරක් පැමිණ තමාට ගඟට වීසි කිරීමට දුන් පාර්සලය ලිහා බැලුවේය. පැරණි කඩු මිටි කෑලි දෙකක් සහ මුද්දක් එහි විය. මේවන විටත් කෞතුකාගාරයෙන් කෞතුක භාණ්ඩ අතුරුදහන්වීම සම්බන්ධයෙන් මෙන්ම ඒ පිළිබඳ නිවැරදි ඔත්තුවක් සපයනු ලබන කෙනෙකුට වටිනා මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට පැතිර ගිය ආරංචි ත්‍රී රෝද රථ රියදුරුද දැන සිටියේය. ඒ නිසාම මෙම භාණ්ඩ පිළිබඳ සැක සිතූ ඔහු අදාළ භාණ්ඩ බොල් ගොඩ ගඟට වීසි කිරීම වෙනුවට දන්නා හඳුනන පොලිස් මිත්‍රයෙකු වූ ජයසිංහට මේ ගැන දන්වා සිටියේය. පිළියන්දල පොලීසියේ නොවිසඳුණු අපරාධ අංශයේ සේවයේ නියුතුව සිටි පො.කො ජයසිංහ (38237) තමා කාලයක් තිස්සේ දන්නා හඳුනන මිත්‍රයාට මෙසේ කීවේය.

" පාර්සලයත් අරන් ඇවිත් ඉක්මනට මාව හම්බවෙන්න"

ත්‍රී රෝද රථ රියදුරා මග පැමිණෙමින් සිටියදී පොලිස් කොස්තාපල් ජයසිංහ එම පොලීසියේම සේවය කළ පො.සැ නීල් ප්‍රියන්තට (19073)මේ ගැන සඳහන් කළේය. දෙදෙනා මොහොතක් සාකච්ඡා කොට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප නන්දසිරි මහතා දැනුම්වත් කොට ඒ මගින් පිළියන්දල පොලීසියේ එවක ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සෝමරත්න විජේමුනි මහතාට පවසා තිබේ. ඉක්බිතිව ගල්කිස්ස කොට්ඨාසය බාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට‍ගේ මහතාගේ විශේෂ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ජේ.එම්.පී ජයලත් මහතාගේ මෙහෙයවීම යටතේ පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සෝමරත්න විජේමුනි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ විය. ඒ අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප නන්දසිරි ගමගේ, පො.සැ නීල් ප්‍රියන්ත, පො.සැ නවරත්න, පො.කො ප්‍රභාත්, පො.කො උපුල්, කා.පො.කො ශිරෝමි යන කණ්ඩායම විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකළහ.

"මේ ඒවමද කියලා අපි දන්නේ කොහොමද ? පොලිස් ප්‍රධානියෙකුට ඇතිවූයේ එවන් පැනයකි.

"ඔව්. ඉස්සරලාම ඒක තහවුරු කරගන්න ඕන"

ත්‍රී රෝද රථ රියදුරා ගෙන් අදාළ කෞතුක භාණ්ඩ පාර්සලය ලැබුණු වහාම පොලිස් කණ්ඩායමත්, රියදුරාත් එය රැගෙන වහාම ගියේ කොළඹ ජාතික කෞතුකාගාරය වෙතය. අතුරුදහන්වූ කෞතුක භාණ්ඩ පිළිබඳ අවබෝධයක් තිබුණු කෞතුකාගාර සහකාර අධ්‍යක්ෂ සෙනරත් වික්‍රමසිංහ මහතා හමුවීම ඔවුන්ගේ අපේක්ෂාව විය. එදින 2012 අගෝස්තු මස 18 වන සෙනසුරාදාය. එහෙත් සහකාර අධ්‍යක්ෂවරයා ඒ මොහොතේ කාර්යාලයේ නොසිටීම නිසාත්, මේ සම්බන්ධයෙන් අන් අය වෙත තොරතුරු යාම ගැටලු සහගත බැවින් එළඹෙන සඳුදා දිනය වනතෙක් ඉවසා සිටීම හැරුණු කොට මෙම කෞතුක භාණ්ඩ මොනවාදැයි නිශ්චය කර ගැනීමට වෙනත් මගක් පොලිස් නිලධාරීන්ට නොවිණි. එදිනම සවස ත්‍රී රෝද රථ රියදුරාට කැලණියෙන් යළි යළිත් ඇමතුම් ලැබුණි.

"ඔයා පාර්සලය ගඟට දැම්මද?

"අනේ බැරිවුණා අක්කේ. අද හවස හවසට ඒ පැත්තෙ යනවා අනිවාර්යයෙන් දාන්නම්"

"එපා. එපා. ඒක ආයෙම ගෙනත් දෙන්න. මං ඔයාගෙ හයර් එක දෙන්නම්. හවසට මෙහෙට ගේන්න"

ගඟට දමන්නට ලබාදුන් පාර්සලය ඇය විසින් යළිත් ඉල්ලනු ලබයි. ඒවා සැබවින්ම කෞතුකාගාරයෙන් සොරාගනු ලැබූ ඒවාදැයි තවමත් නිශ්චිතව පැවසිය නොහැකිය. කළ යුත්තේ කුමක්දැයි මොහොතක් කල්පනා කළ ත්‍රී රෝද රථ රියදුරා, උපදෙසක් ගනු පිණිස පොලිස් සැරයන් නීල් ප්‍රියන්ත ඇමතුවේය.

" ඒ ගැන එච්චර හිතන්න එපා. කොතන හරි බැරිවුණා කියලා මොකක් හරි බොරුවක් කියලා සඳුදා වෙනකල් වැඩේ කල් දාගන්න. සඳුදා අපි, මේ බඩු මොනවද කියලා හරියට චෙක් කරගෙන කටුගෙයි බඩු නෙවෙයි නම් මොකුත් නොවුණු ගාණට ආයෙම ගිහින් දෙන්න" නීල් උපදෙස් දුන්නේය. නීල්ගෙ උපදෙස් මත කැලණියේ විශ්‍රාමික ගුවන් සේවිකාවට කතා කළ ඔහු මෙසේ කීවේය.

"එක ළඟ හයර් දෙක තුනක් වැදුණු හින්දා වැඩි පරිස්සමට මං ඒක තියන්න යාළුවෙකුට දුන්නා. මනුස්සයා දැන් ගෙදර නෑ. මං හෙට අරන් එන්නම්"

ත්‍රී ‍රෝද රථ රියදුරා, ඒ අයුරින් සඳුදා වන තෙක් කල්මැරූ අතර තමන් කාලයක් තිස්සේ දන්නා හඳුනන අයකු බැවින් ඇයද ඔහු විශ්වාස කරමින් නිහඬව සිටියාය.

හෙට - පුරාවස්තු ළඟ තබා ගත් තිදෙනෙක් අත්අඩංගුවට

රංජිත් විජේබණ්ඩාර

 

නව අදහස දක්වන්න