මංගල අයවැය | දිනමිණ

මංගල අයවැය

 මෙවර අයවැය ලේඛනය ගැන විශාල බලාපොරොත්තුවක් මහජනයා ළඟ ඇති බව විවිධ සාක්ෂි හා තොරතුරු ඔස්සේ අනාවරණය වී තිබේ. මහජනයාගේ අපේක්ෂා එක පැත්තක ය. රටේ අනාගතය පිළිබඳ අපේක්ෂා තව පැත්තක ය. ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම පිළිබඳ ජාත්‍යන්තරයේ අපේක්ෂා හා තීන්දු - තීරණ තවත් පැත්තක ය. අයවැය ලේඛනය යනු රටක වාර්ෂික ආදායම් හා වියදම් දක්වන ලේඛනයක් පමණක් ම නො වේ. අයවැය ලේඛනය යනු රටක අනාගත සංවර්ධනය, තරුණ පරම්පරාවේ ඉරණම ආදියට විසැඳුම් ලබාදෙන න්‍යායික ලියවිල්ලකි. එම ලියැවිල්ල ප්‍රායෝගික වන තරමට රටේ ආර්ථකයත් ශක්තිමත් ය.

දැනට පැතිර යන ආරංචිවලට අනුව බඩුමිල පහත හෙළීමේ අපේක්ෂාවක් මුදල් අමාත්‍යවරයාට තිබේ. ඒ හැරෙන්නට පහළ මධ්‍යම පන්තියට ගැළපෙන ලෙස වාහන බදු අඩු කිරීමට ද, තවත් බදු අඩුකිරීමට ද පියවර ගන්නා බවක් වාර්තා වී ඇත. තෙල් මිල පහත හෙළීමක් ගැන ද කටකතා පැතිර යයි. හැබෑවටම තෙල් මිල පහත හෙළන්නේ ද, ජීවන වියදම ඒ ඔස්සේ සැලැකිය යුතු ප්‍රමාණයකින් අඩුවනු ඇත. අප විසින් සිදු කරන ලද මහජන සමීක්ෂණවලින් හෙළිදරව් වී ඇත්තේ ආණ්ඩුව ජීවන වියදම සම්බන්ධයෙන් මීට වඩා සැලැකිල්ලක් දැක්විය යුතු බව ය.

අයවැයට පෙර සාමාන්‍ය ජනතාව සඳහා ආර්ථික සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එය නරක නැත. එය කාලීන ආර්ථික අවශ්‍යතාවක් ලෙස ද සැලැකිය හැකි ය. ඒ අනුව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ගණනාවක් සඳහා සහන මිලක් ක්‍රියාත්මක වෙයි. ලෝකයේ කිසිදු රාජ්‍යයක් පාරිභෝගිකයා සඳහා සහන මිලට භාණ්ඩ ලබාදීමට ඉදිරිපත් වන්නේ නැත. එලෙස ඉදිරිපත් වීමෙන් ද ප්‍රතිඵලයක් ලැබේ යැයි සිතිය නොහැකි ය. වෙළෙඳ පොළ බලවේග ඊට වඩා ඉදිරියෙන් සිටිනා බැවිනි. අද වන විටත් සියල්ල වෙනස් වී තිබීම සතුටට කාරණයෙකි.

මෙවර අයවැය සම්පාදනය වන්නේ අලුත් අභියෝග රාශියක් මධ්‍යයේ ය. එක අතෙකින් ශ්‍රී ලංකාව ගෙවිය යුතු අධික ණය ප්‍රමාණය පවතී. තව අතෙකින් කෘෂිකාර්මික අපනයන මුළුමනින්ම විනාශ වී ඇතැ’යි චෝදනාවක් පවතී. ඒවා බොරු නොව ඇත්ත ලෙස පිළිගත යුතුය. ඒ හැරෙන්නට රටේ නිෂ්පාදනය, ලෝක ගනු දෙනු හා චරිත හුවා දැක්වීමද මෙබඳු සිද්ධි ඔස්සේ ඉස්මතු වෙයි. හැබෑවටම ගතහොත් කැපී පෙනෙන දේශපාලන චරිත ඉස්මතු කළ යුතුය. එලෙස ම අනවශ්‍ය චරිත වේදිකාවෙන් ඉවත් කළ යුතුය. මේ වනා හී නූතන පරම්පරාව තේරුම්ගත යුතු තත්ත්වයකි. දේශපාලනය කිරීම විහිළුවක් නොවේ. දේශපාලකයා ගනු ලබන ඕනෑම තීන්දුවක් පොදු සමාජයේ ගර්හාවට හා විවේචනයට ලක්විය හැකි ය. ඒ ගැනත් අවධානය යොමුවීම වැදගත් ය.

ඕනෑම අයවැය ලේඛනයක් මහජනයාට බලපාන්නේ එක ආකාරයකට ය. දේශපාලකයන්ට බලපාන්නේ තව ආකාරයකටය. එය ව්‍යාපාරිකයාට බලපාන්නේ ඊටත් ඉඳුරා වෙනස් ආකාරයකට ය. අයවැය සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව, රටේ ප්‍රභූන් හා පොදුවේ සාමාන්‍ය ජනතාව ද දැනුම්වත් කර තිබේ. එය විශාල ජයග්‍රහණයක් ලෙස සැලැකිය හැකි ය. දැනට මහජන අදහස් විමසනවිට පෙනී යන්නේ ජීවන වියදම සම්බන්ධයෙන් ආණ්ඩුවක් පියවර ගන්නේ නම්; එය ඉතා වැදගත් බව ය. ආණ්ඩුව හා කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවක් අපට දැනගන්නට ලැබේ. දැනට මහජනයා ළඟ ඇත්තේ ද ආණ්ඩුවට එරෙහිව ගොනු කරනු ලබන චෝදනා පත්‍ර යැයි කියන්නට පුළුවන. මේ චෝදනා පත්‍ර ඉක්මවා ගොස් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා තරුණ පරම්පරාව එළැඹිය යුතුය.

මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් වන පසුබිම ද සැලැකිල්ලට ගත යුතුය. එහි ආර්ථික පසුබිම ගතහොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංවිධාන වෙත විශාල මුදල් කන්දරාවක් ගෙවන්නට තිබේ. ඒවා කළමනාකරණය වන අන්දමින් මුදල් හැසිරවීම කළ නොහැකිනම්; රටේ ජාතික ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටෙනු ඇත. මහජනයා එබන්දක් අපේක්ෂා කරන්නේ නැත. මහජනයාට නොවැටහෙන ආර්ථික උපාය මාර්ග කෙරෙහිද දේශපාලකයා යා යුතුය. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව වැනි රටකට ආර්ථික සංවර්ධනයක් ලබාගත නොහැකිය. සියල්ලට වඩා වැදගත් වන්නේ ආර්ථික දැක්ම ය.

අද ඉදිරිපත් කරන අයවැය ලේඛනය ඔස්සේ මහජනයා විශේෂ වරප්‍රසාද අපේක්ෂා කරති. එය නොවැළැක්විය හැකි කාරණයකි. ඕනෑම රටක ජනතාව අයවැය ලේඛනය ඔස්සේ සහන අපේක්ෂා කරති. බඩු මිල අඩු කිරීම, වැටුප් වැඩි කිරීම, බදු අහෝසි කිරීම සාමාන්‍ය ජනතාවගේ ඔළු කුහරයෙහි වැඩකරන කාරණාවන්ය. එහෙත් මේවා සාධනීය ලෙස පෙළගස්වාගත හැක්කේ දැනුවත්භාවය මතය. රටේ ජීවත්වන පාසල් ශිෂ්‍යයාගේ සිට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයා දක්වා ආර්ථිකය පිළිබඳ යම් දැක්මක් තිබිය යුතුය. එසේ නොවන කල රටේ ආර්ථිකය පිරිහෙනු ඇත.

කුමන තත්ත්වයක් යටතේ වුව අයවැය මගින් මහජනයාට සහන රැසක් ලැබෙන බවද; නිෂ්පාදන ක්‍රියාවලියට ඒ මගින් සැලැකිය යුතු පිටුබලයක් ලැබෙන බව ද විශ්වාස කළ හැකි ය. අප දන්නා තරමට මෙවර අයවැය ලේඛනය සංවර්ධනයට පමණක් නොව; මානුෂිකත්වයටද මුල් තැනක් ලබාදෙනු ඇත.

නව අදහස දක්වන්න