මිල්ලගහමුල පාලම අසල ඉහළ කඳු බෑවුමේ සංරක්ෂණය ඇරැඹේ | දිනමිණ

මිල්ලගහමුල පාලම අසල ඉහළ කඳු බෑවුමේ සංරක්ෂණය ඇරැඹේ

දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියක් යටතේ හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගයේ මිල්ලගහමුල පාලම අසළ ඉහළ කඳු බෑවුම සංරක්ෂණය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන තිබේ.උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යාංශයේ අනුග්‍රහය හා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ උපදේශකත්වය ඇතිව ක්‍රියාත්මක කෙරෙන එම මිල්ලගහමුල පාලම අසළ ඉහළ බැවුම සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය සදහා ලෝක බැංකු ණය ආධාර යටතේ වැය කෙරන මුදල රුපියල් දහතුන් කෝටි දස ලක්ෂයක් (131,000,000) පමණ වේ.ඒ අනුව එම පාලම අසළ නාය යාමේ අවදානමක් පවතින ඉහළ කදු බෑවුමේ තණ පිඩැලිවලින් ආවරණය කර එම භූමිය සංරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාකත්මක කරනු ලබන්නේ පෞද්ගලික ඉදිකිරීම් සමාගමක් මගිනි. අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ මිල්ලගහමුල අසළ කිලෝ මිටර් අංක 2/48 දරණ ස්ථානයේ ඉදිකර තිබෙන පැරැණි යකඩ පාලම අබලම් තත්ත්වයේ පවතින අතර එම පාලම ප්‍රතිසංස්කරණය කිරීමට පෙර එම පාලමට ඉහළ නායයාමේ අවදානමක් පවතින භූමි කොටස එම අවදානමෙන් වළක්වා ගැනීම එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණ වේ.

යන්ත්‍රානුසාරයෙන් එම පාලමට ඉහළ කදු බෑවුමේ ගස් ගලවා ඉවත් කොට එම භූමිය සකස් කොට එහි පිඩැලි ඇල්ලීම් සිදු කරනු ලබන අතර එම තණ පිඩැලි ගෙන එනු ලබන්නේ රත්නපුර ප්‍රදේශයෙනි.දැනට එම ව්‍යාපෘති වැඩබිමේ සේවකයන් හැට(60) දෙනෙක් පමණ සේවයේ යෙදී සිටින අතර ලබන 2018 වසරේ පෙබරිවාරි මාසයේදි එම ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නියමිත බව එම ව්‍යාපෘති වැඩබිම භාර ඉංජිනේරු නිමල් හතුරුසිංහ මහතා පැවැසිය.එසේ එම මිල්ලගහමුල පාලමට ඉහළ භූමි භාගය සංරක්ෂණය කිරීමෙන් පසුව යෝජිත නව පාලම ඉදිකරනු ලබන බවද ඒ මහතා සදහන් කළේය.

ගිනිගත්හේන විශේෂ
ජී.ඒ.ගුණසේන

නව අදහස දක්වන්න