ෆේස්බුකිසම් සහ බුකිතරු | දිනමිණ

ෆේස්බුකිසම් සහ බුකිතරු

ලෝකය පාලනය කරන්නේ මොකාක් හෝ ඉසම් එකක් නිසා මේ වන විට ලංකාවේ තරුණ පරපුර වැඩිමනක් පාහේ පාලනය වන අඩවියේ ඇත්තේ ෆේස්බුකිසම් එකක් එහෙම නැත්නම් බුකිවාදයක් යැයි කිව්වාට බුකිවාසීන්, බුකි තරු සහ පිටු ඇඩ්ඩිංවරු උදහස් නොවේවායි කියා මුලින්ම පතමි. .

ලංකාවේ බුකිය අන්තිම භයානකය. රෙස්ලිං පිට්ටනියේ අඩි හතේ යෝධයෙකු අල්ලාගෙන පොළොවේ ගැහුවත් සැපයි කියා හිතෙන තරමට ලංකා බුකිය ගෙම්බරය. බුකිය අපිට චක්ගුඩු ගුඩු කිව්වොත් අවුරුද්දකටවත් නැගිටින්න බැරි වෙන්නේය. රටපිට සෝෂල් මීඩියාලන්ත වැසි ඈයෝ බුකියට වඩා හිටි ගමන් ඉන්ස්ටග්‍රෑම් හා ටිවිටර් මලිත්තා එක්ක ඇයි හොදයිය ඇතිය. ලංකාවේ එහෙම නෙමෙයි ය. පුළුවන් නම් ගෙදර බල්ලාටද බුකි ගිණුමක් තනා 'පීලිං ඔව්සම් විත් එහා ගෙදර ටොමියා ඇන්ඩ් ගොයිං නන්නස්තාරෙ' කියා දාන තරමට බුකිය ජනප්‍රියය. ෆේස්බුකිය සකර්බර්ගේ වුණාට එහි ජීවිත බුක්තිය ඇත්තේ ඩිජිටල්කරණය වූ අපේ බුකිවාසීන්ටය. ඒ නිසා බුකිය හැන කතා කරත්දී අයින් වෙලා පරිස්සමින් යා යුතුය. ටිකක් බය වූවාට වරදක් නැත.

අපරාදේ කියන්නට බැරිය. කාපු බත් එක, ගිය ටොයිලට් එකේ ඉදන් දෛනික සවාරි, රට සවාරි, ලෝක් සවාරි දක්වා සේරම දැක බලාගෙන එව්වාට ලයික් කරමින් දවසේ පැය තුනක්වත් බිත්තියක ඉහළට බඩගාමින් පහළට බහිමින් ප්‍රොෆයිල්වල ඕපාදූප සොයමින්, වුවාව්, ෂාහ්, මාරයි, පට්ට, සුපිරි කියමින් අපි ලබා ගන්නා සිඟිති ආස්වාදය මේ මිලේනියාවේ ආ සාර්ථකම මතින් තොර ඇඩික්ෂන් එක කීවොත් කවුරුත් තරහා වෙන එකක් නැතිය.

බුකියේ ඉහළ පහළ යන විට මට නම් මේ ලංකාවේ මේ තරම් කස්ටියක් සිය දිවි හානි කරගන්නවා කියා හිතන්නටත් බැරි තරම් ය. මොකද කිව්වොත්, හැම බුකි පිටුවේම ඇත්තේ මාරම සතුටින් හිනා වෙලා ඉන්නා අක්කිලා, නංගිලා, මල්ලිලා සහ අයියලාය. ඒ පොටෝ දැක්කාම මේක නම් නිකම් කේතුමතියක් වාගේ කියා සිතෙන්නේය. එක් පසෙකින් දිස්නෙ දෙන තරු පහේ හූටල්වල සිනාසෙමින් ඉන්නා දර්ශනය. අනෙක් පසින් මැන්චූරියාවේ කුකුළු මස් කරියක් රස බලන පොටෝය. තවත් පසෙකින් ක්‍රිස්මස්ලන්තයේ පූල් එකේ බැස මාරම සංතෝශයෙන් බෝල ගසන අයියලාය. තවත් තැනෙක බදා ගත් ගමන් ජෝඩුය. මෙව්වා දැක්කාම ලංකාවේ දුකින් සොවින් ඉන්න එකෙක් සෙවීම කළු නික සොයන්නා වාගේ අමාරුය කියා සිතෙන්නේය. ඉඳහිට විතරක් කරදරයක් වුණාම ඔය බුකි යාළුවෝ කවුරුත් නෑ වගේ ටිබෙටියානු කියමනක් චීන අකුරින් පළ වුනොත් මිසක, කවුරුත් මාරම සංතෝශයෙන් ගත කරන්නූය.

කෙට්ටු නංගිලා ෆුල් පොටෝ දාන විට මහත අක්කිලා මූණ පැත්තට හරවා කෙට්ටු පේන සේ පොටෝ දානවාය. සතුට උතුරන්නේය. බඩ ඇති අයියලා බඩ නොපෙනෙන්නට පොටෝ දාන අතරේ කෙට්ටු මල්ලිලා කොහොමින් හෝ අත පපුව පුම්බාගෙන පින්තූරු දාන්නෝය. කොහේ ගියත් පොටෝ හතටදාහක් ගසා අමාරුවෙන් එකක් තෝරාගෙන පොටෝ ඇප් එකකින් එඩිට්ද කර ගිණුමේ එල්ලූ විට වැටෙන ලයික් තොගය දැක්කාම මුළු මහන්සියම යන්නේය. ඉදලා හිටලා ඉන්නා හැබෑ රූපයෙන් පින්තූරයක් දාන එකෙක් දෙන්නෙක් ඇත. උන් උප්පත්තියෙන්ම හිත හොඳය. නැත්නම් පොටෝ එඩිටිං දන්නේ නැත.

බණක, පිරිතක හෝ මොනාකාර මළ දානයක ගියද මුලින්ම කරන්නේ පොටෝ ගැනීමය. උපන්දින කේක් එක නිදහසේ කන්නට නැත.ඉටිපන්දම පිඹිනවා වාගේ ඉඳ පොටෝ ගත යුතුය. කේක් ගෙඩිය කපනවා වාගේ පෙන්නා පෝස් කර යුතුය. කනවා වාගේ පෙන්නා පොටෝ ගත යුතුය. සේරම කරන්නේ බුකියේ පොටෝ දාන සිහියෙන්ය. බොහෝ ඈයින් බුකිය වෙනුවෙන් බොහෝ සොඳුරු මොහොතවල් නොවිඳ රාමුගත කොට අන් අයට බලන්නට පෝස්ට් කරන්නෝය. පොටෝ නම් හොඳය. මොහොතේ වටිනාකම වට්ටා ගෙන පාගා ගැනීම අපරාදේය.

සතියකට සැරයක් අපේ ලංකාවේ බුකිය ගිනි ගන්නා වැඩක් ඉස්තීරෙටම සිදු වන්නේය. විටෙක එය දේශය පාලනය කරන බුද්ධිමතෙකුගේ අතිශය ඥානවන්ත කතාවකි. නැත්නම් මොකාක් හෝ කෙහෙල් ගෙඩියකි. එහෙමත් නැතිනම් මූණ රොස් කරගත් නිවේදකයෙකි. ඒ මුකුත්ම නැතුව බුකිය වේලෙන විටම වාගේ එක්කෝ කවුරුන් හෝ කෝච්චියට පනී, නැත්නම් බුකියේ ලයිව් ඇවිත් එල්ලී සියදිවි නසා ගනී. අපි ඉන්නේ ඒ වාගේ බුකියක ය. බුකිය මාර ය. සීයලාගේ රේස්බුකිය වාගේ නොවේය.

මේ සතියට බුකියේ කවරයේ කතාව වූයේ තෙල් ප්‍රශ්නයයි. මේ වාගේ ප්‍රශ්න ගැන කතා කරන බුකිවාසීන් විවිධාකාරය.

කට්ටියක් මේ ඔක්කෝම පුරස්න ගැන කතා කරන්නේ මැක්කා තියරියෙනි. බල්ලා ගැන කතා කරත්, කැස්බෑවෙකු ගැන කතා කරත්, පිටසක්වල යානයක් ගැන කතා කරත් නවතින්නේ මැක්කාගෙනි. මේ දවස්වල තෙල් නැති නිසා මැක්කා නැති අඩුව මතක් කරමින් යලි මැක්කා ගෙන එන හැටි ගැන කතා කරමින් තෙල් ප්‍රශ්නය අමතක වෙන තරමටම මැක්කා ගැන කතා කරන බුකි වරිගයේ ඇත්තෝය. බලාපොරොත්තුව මැක්කා තෙල් නැව ඇදගෙන පීනා එන එක ගැනය.

ඊට පස්සේ මේ වාගේ ප්‍රශ්න ගැන දෙපැත්තම බලා සාධාරණව කතා කරන සාධාරණ කොටාලා ඇත. නැව් නැති එක ගැනයි, ඉස්සර ආපු තෙල් නැව් ගැනයි, දැන් තෙල් නැතුව වෙන අවුල ගැනයි ආදී සියලු පැති කණ්නාඩිවලින් බලාගෙන පරිස්සමට වාහනේ එලෝගෙන යන සාධාරණ කොටාලා නිතරම මැක්කන්ගේ දෝසාරෝපණ විඳිමින් සිය බුකි ජීවිතය ගත කරති. ෆේක් බුකි ගිණුම් ඇත්තන්ගෙන් අතෝරක් නැතිව කුණු බැණුම් අසති.

ඊට පස්සේ ඉන්නේ බෑංචූන් වරිගයේ බුකිවාසීන්ය. මෙයැයිලාට මොන ප්‍රස්නය වුණත් නැව නාවත් කාරි නැත. බඩ අල්ලාගෙන කණු බදාගෙන හිනා වෙන්න අටෝරාසියක් පෝස්ටු ශෙයාර් කරන්නේ මෙයාලාය. මේ ටිකේ නම් භූමිතෙල් බොන්න හිතෙන තරමට තෙල් ගැන පෝස්ටු හැම තැනමය. කවි සිංදු පවා ගායනා කරන්නෝය. මෙයාලා නම් හොඳ බෑංචූන් එකේ ඉන්න බුකිවාසීන්ය. සකර්බර්ග්ට වුණත් බුකිය පාවිච්චි කොරන හැටි බලාගන්ට ඕනෑ නම් පොඩියක් ලංකාව පැත්තේ රවුමක් ගැසිය යුතුය.

සමහර බුකිවාසීන්ට නම් ඔය සමාජ ප්‍රශ්න ගැන වගේ වගක් නැත. එයාලාට ඕනෑ කැන්ද කොළයක්ය. බුකි තියෙන්නේ තමන්ට ඕනෙ එකක් දාගන්න තැනක් මිස ඔය රැල්ලට අසු වෙලා ගහගෙන යන්න නෙමේය. එහෙම කියන අයත් ඉන්නේය. එයාලාට වැඩිය මුකුත් කියන්නට යාම සුදුසු නැත. අන්ෆ්‍රෙන්ඩ් කරලා දානු ඇත.

ළඟදී බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී විදුලිසංදේශ සහ ඩිජිටල් පහසුකම් ඇමති හරීන් ඇමතිතුමා අපේ බුකිය ගැන මෙහෙම කිව්වේය. 'ලංකාවෙ දැං ෆේස්ස්බුක් එකක් කියලා එකක් තියනවා.හොඳට හොඳයි. නරකටත් ඉතා නරකයි. මිනිහෙකුව හදනවා. මිනිහෙකුව විනාශ කරනවා.' බුකියේ ප්‍රජා ජනමාධ්‍යකරණය ඒ වාගේය. වෙලාවකට හොඳය. වෙලාවකට අන්තිම නරකය.

ඔය මොන කතා කිව්වත් බුකිය හරිම රසවත්ය. එය තොරතුරු බෙදාගැනීමටත්, අදහස් හුවමාරු කරගැනීමටත්, අලුත් දෑ ඉගෙනීමටත්, සමාජ සේවා කටයුතු කිරීමටත්, සංවාද පැවැත්වීමටත්, එළවලු වවන ගේම් ගැසීමටත් අපූරු තැනක්ය. බුකිය මාරය. ලංකාවේ බුකි වැසියෝ එය වෙනමම තලයක තබා ඇත්තෝය. ලංකාවේ අය කොහොමත් එහෙමය.

අමාලි මල්ලවආරච්චි
@mllwrachch 

නව අදහස දක්වන්න