එලිස් පෙරීගෙන් වාර්තාගත ටෙස්ට් ද්විත්ව ශතකයක් | දිනමිණ

එලිස් පෙරීගෙන් වාර්තාගත ටෙස්ට් ද්විත්ව ශතකයක්

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කාන්තා ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කළ ක්‍රීඩිකාව බවට පත්වෙමින් එංගලන්ත කාන්තා පිල සමග පැවැති අළුබඳුන කාන්තා ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 213ක් ලබා ගැනීමට එලිස් පෙරී සමත්වූවාය.

ඇය මේ දස්කම පෑවේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී ජයපරාජයෙන් තොරව නිමාවට පත්වූ දෙපිල අතර එකම ටෙස්ට් තරගයේ දීය.

කාන්තා ටෙස්ට් තරගයකදී වැඩිම ලකුණුලාභීන් අතර තුන්වැන්නා බවට පත්වීමට ද ඇය සමත්වූවාය. මීට පෙර 2004 වසරේ පාකිස්තානයේ කිරාන් බල්ච් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව කරාච්චි නුවර දී ලකුණු 242ක් ලබා ගැනීමට සමත්වූයේ ඊට පෙර ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියා සිටි ඉන්දියාවේ මිතාලි රාජ් එංගලන්තයට එරෙහිව ටූටන්හී දී ලබාගත් ලකුණු 214 වාර්තාව බිඳ දමමිනි.

පෙරේදා නිමාවට පත්වූ මේ තරගයේදී එලිස් ලැබූ ද්විත්ව ශතකයට පෙර ඇගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2014දී එංගලන්තයට එරෙහිව පර්ත් නුවරදී ලැබූ ලකුණු 71 වීම කැපී පෙනේ. ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම පාපන්දු ක්‍රීඩාවටත් එකලෙස දස්කම් දක්වන එලිස් කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියාව නියෝජනය කළාය.

නව අදහස දක්වන්න