අෆ්රිඩි කලකට පසු පිටිය වර්ණවත් කරයි | දිනමිණ

අෆ්රිඩි කලකට පසු පිටිය වර්ණවත් කරයි

සයිඩ් අෆ්රිඩිගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 10වැනි තරගයෙන් සිල්හෙට් සික්සර්ස් පිලට එරෙහිව කඩුලු 8ක ජයක් අත්කර ගැනීමට ඩකා ඩයිනමයිට්ස් පිල සමත් විය.

මෙය සිල්හෙට් පිල පිට පිට ලැබූ දෙවැනි පරාජය වන අතර ඩකා කණ්ඩායමේ දෙවැනි ජය යි. කෙසේ වෙතත් සිල්හෙට් පිල තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිල්හෙට් පිල ලකුණු 101කට සීමාකළ ඩකා ක්‍රීඩකයෝ ඕවර 7.5කදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 2ක් පමණක් අහිමිකර ගනිමිනි.

ඩකා පිලට වේගවත් ආරම්භයක් ලබාදුන් එවින් ලෙවිස් හා සහීඩ් අෆ්රිඩි පළමු කඩුල්ලට ලකුණු 59ක් එක් කළේ පන්දු 25ක් පමණක් වැය කරමිනි. අෆ්රිඩි පන්දු 17කදී හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 37ක් රැස්කළ අතර ලෙවිස් නොදැවී ලකුණු 44ක් රැස්කළේ පන්දු 18ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් හා හයේ පහර 5ක් ඇතුළත් කර ගත්තේය. නායක සකීබ් අල් හසන් පන්දු 11කින් නොදැවී ලකුණු 18ක් රැස් කළේය. වනිඳු හසරංගගෙන් පන්දු 5කදී ලකුණු 20ක් උදුරා ගැනීමට ඩකා ක්‍රීඩකයෝ සමත් වූහ.

උපුල් තරංග සමගින් ධනුෂ්ක ගුණතිලක පළමුව පන්දුවට පහරදුන් සිල්හෙට් ඉනිමේ ආරම්භ පිතිකරුවන් ලෙස පිටියට පිවිසියද එම සබඳතාව ලකුණු 8කට සීමාවිය. තරංග එක් ලකුණකට දැවී ගිය අතර ගුණතිලකට ලබාගත හැකිවුයේ ලකුණු 15ක් පමණි. වනිදු හසරංග ලකුණු 8ක් රැස්කළ අතර නොදැවී ලකුණු 30ක් රැස්කළ අබුල් හසන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු යැවීමේදී සහීඩ් අෆ්රිඩි ලකුණු 12කට කඩුලු 4ක් දවාගත් අතර සුනිල් නරේන් කඩුලු 3ක්ද, අබු හයිදර් කඩුලු 2ක්ද දවා ගත්හ. 

 

නව අදහස දක්වන්න