මත්ද්‍රව්‍ය ජාවාරමුන් ආදරය කරන්නේ මිනිසුන්ට නොව සල්ලිවලට පමණයි | දිනමිණ

මත්ද්‍රව්‍ය ජාවාරමුන් ආදරය කරන්නේ මිනිසුන්ට නොව සල්ලිවලට පමණයි

ඔවුන් ජීවිතවලට වටිනාකමක් දෙන්නේ නැතැයි ජනපති පොෙලාන්නරුවේ දී කියයි

අද මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර ඉතාමත්ම බරපතළයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මිනිසුන්ට ආදරය නැහැ. දරුවන්ටත් ආදරය නැහැ. ඔවුන් ආදරය කරන්නේ සල්ලිවලට පමණයි. මේ ජාවාරම්කරුවන් මිනිස් ජීවිතවලට වටිනාකමක් දෙන්නේ නැහැ. මේ නිසා රටේ හැම කෙනෙක්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වන්න ඕනෑ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොෙලාන්නරුවේ දී පැවැසීය.

ජනාධිපතිවරයා එසේ පැවැසුවේ පසුගිය 10 දා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව රංග ශාලාවේ පැවැති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

දරුවන් සුරකිමු ජාතික ව්‍යාපාරයක් අප විසින් ආරම්භ කළේ ඇයි?. ප්‍රධාන වශයෙන් දරුවන් රැකීම පිළිබඳ ප්‍රශ්න රාශියක් අප රට තුළ මතුව තිබෙනවා. දරුවන් ආරක්ෂා කිරීම අප සෑම කෙනකුගේම වගකීමක් හා යුතුකමක් වෙනවා.

ඔබ සෑමකෙනෙක්ම දන්නවා අද අන්තර්ජාතික වශයෙන් තිරසර සංවිධාන ක්‍රියාවක වැදගත්කම. තිරසර සංවිධානයේ එක් වැදගත් දෙයක් විදියට දරුවන් රැක ගැනීමේ මේ ජාතික ව්‍යාපාරය ආරම්භ කළා.

දරුවාට අනාරක්ෂිත බව ඇතිවී තිබෙන්නේ කුමන අංශවලද? සමාජයේ විවිධ අපචාර දුරාචාර සිදුකරන විවිධාකාරයේ පුද්ගලයන් හා සමාජ විරෝධීන්ගෙන් පමණද? සමාජය තුළ කටයුතු කරන දුෂිත ව්‍යාපාරිකයන්ගෙන් පමණද? මේ ප්‍රශ්නයට පිළිතුරු ලබාගැනීම අවශ්‍ය වෙනවා.

ඔබට මේ රටේ අධිකරණයක් වෙත ගියහොත්, විශේෂයෙන් නඩු අසන අවස්ථාවක. මේ පිළිබඳ බොහෝ දේ දැක ගන්නට පුළුවන්.

කනගාටුවෙන් වුවත් කිව යුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඇතැම් වෙලාවට ඇතැම් පියවරුන්ගෙන් දරුවන් රැක ගැනීම ප්‍රශ්නයක් වී තිබෙනවා. ඇතැම් වෙලාවට මවුවරුන්ගෙන් දරුවන් රැක ගැනීමේ ප්‍රශ්නයක් ද මතුවී තිබෙනවා. ඒ ඔවුන්ගේම දරුවන්.

ඇතැම් අවස්ථාවල දී පාසල තුළත් දරුවන් රැක ගැනීම ප්‍රශ්නයක් වී තිබෙනවා. ඇතැම් විට පූජනීය ස්ථානවලදීත් දරුවන් රැක ගැනීම අසීරු වී තිබෙනවා. මේ සියල්ල දැක ගන්න පුළුවන් අධිකරණයක නඩු අසන අවස්ථාවක දී. එසේම සිරගෙවල්වලදීත් මේ තත්ත්වය දැක ගන්න පුළුවන්.

දරුවන් රැකීමේ ජාතික ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පසු එහි දෙවැනි සැසිය විදියට අද පොළොන්නරුවේ දී පොළොන්නරුව දිගාමඩුල්ල සහ මඩකළපුව දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මේ සමුළුව පැවැත්වීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා.

අප දීපව්‍යාප්තව කරන දරුවන් රැක ගැනීමේ ජාතික වැඩසටහන ආරම්භ කරනු ලැබූවේ සැප්තැම්බර් මාසයේ මහනුවර දිස්ත්‍රික්කයෙන්‍. මේ සමුළුවට සහභාගි වන මැති ඇමැතිවරු, සියලු රාජ්‍ය නිලධාරීන්, මවුපියන්, දරුවන්, විදුහල්පතිවරුන් හා ගුරු මහත්ම මහත්මීන් ඇතුළු සියලුදෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. අද දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් අපේ සමාජයේ තිබෙනවා.

මෙය දියුණු සමාජයක ලක්ෂණයක් නොවිය යුතුයි. දියුණු සමාජය සෑමවිටම මව, පියා ඇතුළුව සමස්ත සමාජයේ වගකීම දරුවන් ආරක්ෂා කිරීමයි.

වෛද්‍ය විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක කරුණු අනුව පවත්නා පසුබිම මුල්කරගෙන දරුවන් රැකීමේ වැඩසටහන අප ආරම්භ කළා. මේ වැඩසටහන වසර 3ක ජාතික සැලැස්මක් මත ක්‍රියාත්මක කරනවා.

මේ තුන් අවුරුදු වැඩසටහනට අපි රුපියල් කෝටි 524ක් වෙන් කර තිබෙනවා. අද මේ දිස්ත්‍රික්ක 3ක මවුපියන්, දරුවන්, ගුරුවරුන්, රාජ්‍ය නිලධාරීන්, සියලුදෙනා කැඳවා මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ එක් වැදගත් අවස්ථාවක් විදිහටයි.

දරුවන් අත්විඳින විවිධ කරදර, ප්‍රශ්න මාධ්‍ය තුළ දකිනවා, අසනවා. ඒ වගේම සමාජය තුළ ඔබ දකිනවා ඇතැම්විට සමාජය තුළ ප්‍රශ්න ඔබ හමුවටද යනවා.

මේ රටේ දරුවන් වශයෙන් වයස 18න් පහළ සියලුදෙනා අයත් වනවා. මේ රටේ ජනගහනයෙන් 35% ක් දරුවන්. ඒ අය වයස 18ට අඩු අයයි.

මේ රටේ ජනගහනයෙන් 20% ක් පාසල් දරුවන්, පාසල්වලත් විශ්වවිද්‍යාලවලත් ඒ සියල්ල ගත්විට 20% ක් සිටිනවා.

ඒ නිසා අප ආරම්භ කළ මේ ජාතික වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ, පළාත් සභා සියල්ල එක්ව මේ කාර්ය සිදුකරනවා. රාජ්‍ය නොවන ආයතනත් අප මේ සඳහා යොදා ගන්නවා.

මේ සඳහා කැපවීමෙන් කටයුතු කරන ‍ස්වේච්ඡා සංවිධාන රාශියක් මේ රටේ තිබෙනවා. මේ වැඩසටහනට සියලුදෙනාට එක්වන ලෙස මා ආරාධනා කරනවා.

මේ හැම කෙනකුගෙන්ම මේ වැඩසටහනේ නායකත්වය ගන්න කියා මා ඉල්ලීමක් කරනවා. හැමකෙනකුම මෙහි නියමුවෙක් වන්න කියා මා ඉල්ලා සිටිනවා.

ඔබ විසින් කළ යුතු උසස්ම කාර්යයක් ලෙස එය පත්වෙනවා.

ඔබ පසුගිය දිනවල දැක්කා යාපනයේ විද්‍යා දැරියට සිදු වූ දෙය. ඒ වැරැදි කරපු අයට අධිකරණය දඬුවම් දුන්නා. ඒ වගේම ඔබ දැක්කා වයස අවුරුදු 9ක ගැහැනු දැරියකට සිදු වූ ඛේදවාචකය. ඒ වගේම ඔබ දැක්කා මාධ්‍යය තුළ වයස අවුරුදු 11ක දරුවෙක් ඝාතනය කොට ළිඳට ඔසවා දැමූ අන්දම. ඒ අපරාධකරුවා දරුවා ළිඳට ඔසවා දමනවිට කෑගැසුවා. මාමේ, මාමේ මා ළිඳට දාන්න එපා කීවා. නමුත් අම්මත් තාත්තාත් මරලා ඒ දරුවා කෑගසද්දී ළිඳට දැමුවා.

මෙවැනි ඛේදවාචක අද සමාජය තුළ ඉතාමත් බහුලයි. මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන්ලා මෙහි දී කතා කළා.

අද මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය ඉතාමත් බරපතළයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මිනිසුන්ට ආදරය නැහැ. දරුවන්ට ආදරය නැහැ. ඔවුන් ආදරය කරන්නේ සල්ලිවලට පමණයි. ඔවුන් මිනිස් ජීවිතවලට වටිනාකමක් දෙන්නේ නැහැ. අපි සෑමකෙනෙක්ම මත්ද්‍රව්‍යවලින් ඉවත්වන්න ඕනෑ.

මේ ශාලාවේ මැති ඇමැතිවරුන් සිටිනවා. මෙතැන සිටිනවා රාජ්‍ය නිලධාරීන් විවිධ ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන් සිටිනවා. අද මේ ශාලාවේදී විශේෂඥ වෛද්‍යවරුන් කළ දේශනයත් මත්ද්‍රව්‍ය පිළිබඳ ඔබ හොඳින් දන්නා කරුණු මත අද මේ සභාවේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන වැඩිහිටියෙක් සිටීනම් අද තීන්දුවක් ගන්න බැරිද? එයින් මම ඉවත් වෙනවා කියා.

අද ගෙදර ගිහින් කණ්ණාඩිය ඉදිරියට ගොස් මුහුණ බලා තීරණයක් ගන්න බැරිද? මේ මෙච්චර කල් මෝඩකම් කළා. මත්ද්‍රව්‍ය පානයකොට එවැනි මෝඩකම් කරන්නේ නැහැ කියා තීන්දුවකට එන්න බැරිද? ඔබට එවැනි ආත්ම ශක්තියක් තිබෙනවාද? මම ඔබට ආයාචනයක් කරනවා ඔබට ඒ ආත්ම ශක්තිය ලබාගන්න කියා.

මීට අවුරුදු 5කට පමණ පෙර මම දුම්වැටිවලට එරෙහිව ජාතික ව්‍යාපාරයක් පටන්ගත්තා. එහි ප්‍රතිඵල අද තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිගරැට් අලෙවිය විශාල වශයෙන් පහත වැටී තිබෙනවා. ශ්‍රී ලංකාවේ තිබෙන විදේශීය සිගරැට් සමාගම් විවිධ අංශවලින් රජයට ඉල්ලීම් කරනවා. ඒ අයගේ නිෂ්පාදන පහත වැටිලා. ඒ නිසා බීඩි නිෂ්පාදනය කරන අයට විශාල බද්දක් අය කරන්නයි කියා.

ඔබ දන්නවාද විෂ මත්ද්‍රව්‍ය සමාජය තුළ තිබෙනවාද කියා. මත්පෙති, මත්කුඩු සමාජය තුළ ගලාගොස් තිබෙනවා. පාසල් දරුවන් වෙතට ඉතා බහුලව එනවා. විශ්වවිද්‍යාල තුළට ඇවිත් නොමිලයේ බෙදා දෙනවා. විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයකු පසුගියදා මා සමඟ කීවා විශ්වවිද්‍යාලය තුළට මත්පෙති ගෙනැවිත් නොමිලයේ බෙදා දෙනවා කියලා.

ඒ වගේම තමයි අද සමාජයේ දරුවන් තුළ ඇතිවී තිබෙන විවිධ ප්‍රශ්න, ජංගම දුරකතනය හා අන්තර්ජාලය පිළිබඳ ඔබ සැම හොඳින් දැන් දන්නවා. මේ සියලු දේ පිළිබඳ අප අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

උපකාරක පන්තිවලට දරුවන් යැවීමේදී විවිධ නරක ක්‍රියාවලට භාජනය වනවා. ප්‍රධාන වශයෙන්ම අපි දරුවකුගෙන් ඇහුවොත් ඇයි උපකාරක පන්තියකට යන්නේ කියා ඒ දරුවා කියයි අපේ පාසලේ ‍හොඳට උගන්වන්නේ නැති නිසා ටියුෂන් පන්ති යනවා කියා. එසේ නම් අපි ඒ පිළිබඳත් සිතා බැලිය යුතුයි.

පසුගිය දා මා හමුවන්න ආවා කුරුණෑගල, යාපහුව ගමේ පාසලක දරුවන්. ඒ ළමුන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත්වී සිටියා. ඉතාම දුෂ්කර ගැමි පරිසරයක එම පාසල පිහිටා තිබෙනවා. ඉතාම පහසුකම් අඩු පාසලක්. ඒ ළමුන්ගේ විශේෂත්වය ඔබ දන්නවාද? මුළු ශ්‍රී ලංකාවෙන්ම 5 වසර ශිෂ්‍යත්වයෙන් ඉහළම ප්‍රතිශතයකට සමත්වූයේ ඒ පාසලේ දරුවෝයි. ඒ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ පළමුතැනට ලැබුණා. ඒ දරුවන්ට උගන්වන ගුරුවරුන් සමඟ මම කතා කළා.

මම ඒ ගුරුවරුන්ගෙන් විමසුවා දුෂ්කර පාසලක ළමුන් මේ විදියට සමත්වුණේ කෙසේද කියා. මේ කිසිම ළමයකු ටියුෂන් පන්ති නොගිය බව ප්‍රකාශ කළා. අපේ පාසලේම දරුවන්ට ඉගැන්නුවා කීවා. දරුවන් සමඟ කතාකරනවිට ඔවුන් කීවා සර්ලා අපිට නිවාඩු දවස්වලත් ඉගැන්නුවා කීවා. මේ රටේ සියලුදෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා මෙය ආදර්ශයට ගන්න කියා.

 පොෙලාන්නරුව දිසා සමූහ - එම්. පී. සරත් ගාමිණී ඔබේසේකර - පොලොන්නරුව විශේෂ
ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න