රාජපක්ෂ රෙජිමය ගිල දැමු බදු ආදායම වත්මන් රජය සංවර්ධනයට යෙදෙව්වා | දිනමිණ

රාජපක්ෂ රෙජිමය ගිල දැමු බදු ආදායම වත්මන් රජය සංවර්ධනයට යෙදෙව්වා

ඇමැති සරත් අමුණුගම

පසුගිය රෙජිමය රටේ බදු ආදායම් ගිල දැමුවත් වත්මන් රජය සංවර්ධනය සඳහා යොදවන බව විශේෂ ව්‍යාපෘති ඇමැති සරත් අමුණුගම මහතා පසුගිය (10දා) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

අය-වැය දෙවැනි වර කියවීම විවාදය ප්‍රථම දිනට එක්වෙමින් ඇමැතිවරයා මෙසේ පැවැසුවේය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පසුගිය (10දා) පෙරවරු 9.30ට ආරම්භ විය. නිවේදන, ලිපිලේඛන, අමාත්‍යාංශ නි‍වේදන, වාර්තා සහ පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් අසන ලද ප්‍රශ්නවලට ඒ ඒ විෂයභාර ඇමැතිවරු පිළිතුරු ලබාදුන්හ.

පත් කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ) - විවෘත ආර්ථිකයේ පදනම වන්නේ පෞද්ගලීකරණය. විවෘත ආර්ථිකයේ ගාමක බලය හීන වීමට කුලී පනත, කුඹුරු ආඥා පනත යනාදි නීති වෙනස් විය යුතුයි. පැරණි යල් පැන ගිය නීතිරීති සකස් කර ගත යුතුයි. ඇති නැති පරතරය, දුගී බව, මන්දපෝෂණය ඉහළ ගොස් තිබෙනවා. දිනකට ආසන්න වශයෙන් රුපියල් 350 ක් උපයන්නේ නැති පිරිස් පවා සිටිනවා. ඉපදෙන දරුවන් ණය කාරයන් වී සිටිනවා. 2019 වසරේදි ණය ගෙවීමේ උච්චස්ථානයට යනවා.

රටක් විදියට එවැනි තැනකට යන විට ණය ගෙවීම සඳහා ජනතාවට සෘජු, වක්‍ර බදු ගහනවා. බැංකුවට එන ගනුදෙනුකරුවන්ගෙන් අය නොකරන්නේ නම් 1000 ට ශත 20 ගණනේ හදන්නේ කොහොමද? සෑම ගනුදෙනුවකින්ම අය කර ගන්නා ණය ගෙවීමේ අරමුදලක් ආරම්භ කර තිබෙනවා. 1000 ට ශත 20 ක් කියලා සූත්‍රයක් දැම්මාම වෙලා තිබෙන්නේ මොකද්ද. ගනුදෙනුකරුවන්ගෙන් අය කර ගන්නේ නැත්නම් බැංකුවේ වාර්ෂික ආදායම අනුව ඒ මත බදු ගහන්න පුළුවන්නේ. එහෙම දෙයක් මෙතැන නැහැ. ආයෝජන කැඳවීමට පියවර ගෙන තිබෙනවා. එහි දී විදේශීය ආයෝජකයින්ට විශේෂත්වයක් දක්වා තිබෙනවා.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා - විදේශීය, දේශීය කියලා ආයෝජකයින්ට වෙනසක් නැහැ. දේශීය ආයෝජකයිනුත් නඟා සිටුවීමට අපිට අවශ්‍යයි. හැමදෙනාටම එක සේ සලකනවා.

හඳුන්නෙත්ති මහතා - සීනි බද්දක් පනවා තිබෙනවා. රුපියල් කෝටි 500 ක් එමඟින් බලාපොරොත්තු වෙනවා. නමුත් බියර් බද්ද ඉවත් කරනවා. බියර් බද්ද ඉවත් කර සීනි බද්ද දැම්මම මොකද්ද වෙන්නේ.

සමරවීර මහතා - මෙරට ජනගහනයෙන් සියයට 49 ක් කසිප්පු බොනවා. සියයට 84 අරක්කු බොනවා. දියුණු රටවල වැඩිපුර භාවිත කරන්නේ බියර්. සැර මත්වතුර දියුණු රටවල භාවිත කරන්නේ නැහැ.

සරත් අමුණුගම මහතා - පැණි බීම ඔස්සේ සීනි බද්දක් ගහලා තිබෙනවා කියලා මහජනයා අතරට වැරදි අදහසක් ගෙන යාමට හොඳ නැහැ. මහජනයා බොන තේ එකට මෙයින් බද්දක් ගහන්නේ නැහැ.

සමරවීර මහතා - පැණී බීම බෝතලයක සීනි ග්රෑම් 100.6 ක් තිබෙනවා. එය විශාල සීනි ප්‍රමාණයක්. සීනි වැඩි පැණි බීම බොනවාට වඩා බියර් එකක් බොන එක හොඳයි.

හඳුන්නෙත්ති මහතා - බියර් නිෂ්පාදනය සඳහා සීනි මිටි 300 ක් දිනකට බියර් සමාගමක් පාවිච්චි කරනවා.

සමරවීර මහතා - වැරදියට වටහා ගන්න එපා. මද්‍යසාර ප්‍රමාණය අනුව තමයි බද්ද ගහලා තිබෙන්නේ.

හඳුන්නෙත්ති මහතා - කෑන් බීරවල නිෂ්පාදන බද්ද ඉවත් කර තිබෙනවා. ඔබලාගේ ප්‍රචලිත කිරීම අපට පැහැදිලියි. වෙනත් අයවැයවලදි නාමමාත්‍රිකව කතා කළ මාතෘකා මෙවර ඉවත් කර තිබෙනවා. විදේශගත ශ්‍රමිකයන් ගැන මේ අයවැයෙන් එක වචනයක්වත් කතා කර නැහැ. විශ්‍රාමික වැටුප් ගැන විසඳුමක් මෙහි නැහැ.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මුලසුනට පැමිණියේය.

හඳුන්නෙත්ති මහතා - උපාධිධාරින් 60000 කට මේ වන තෙක් පත් වීම් දීලා නැහැ. පුරප්පාඩු ඕනෑ තරම් රජයේ ආයතනවල තිබෙනවා. උපාධිධාරින් 20000 ක් ලබන වසරේ බඳවා ගන්නවා කියලා තිබෙනවා. මේ අය-වැය ඉදිරිපත් කරන්නේ කුමන පදනමක් යටතේ ද කියලා හිතාගන්න බැහැ. උසස් අධ්‍යාපනය ගැන සාධනීය යෝජනා තිබෙනවා. ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකියි.

ණය අර්බුදයෙන් ගැළවෙන විදියට පිළිතුරු සෙවීමට තමයි මේ අය-වැය ඉදිරිපත් කර තිබෙන්නේ. මේ උපාය මාර්ග ඔස්සේ ගියහොත් නැවත අපට ණය ගන්නට සිද්ධ වෙනවා. පොළොන්නරුවට, මොරටුවට, දෙනියායට හා මාතරට ගොඩක් දේවල් මේ අයවැයෙන් ලැබිලා තිබෙනවා. අයවැයක් එහෙම වෙන්න බැහැ. රටේම ජනතාවට එමඟින් සහන ලැබිය යුතුයි. නීලහරිත ආර්ථිකය හැදීමට නීලකාස හොරුත් එක්ක කළ නොහැකියි. පරිසරයට ආදරය කරන අය මේ සඳහා සිටිය යුතුයි. අපි මේ අයවැයට විරුද්ධයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා - අය-වැය කතාව කොටස් හතරකට බෙදාගෙන මම අද කතා කරනවා. ආර්ථික සම්බාධක කිසිවක් අපේ රජය යටතේ පැනවූවේ නැහැ. ආර්ථික සම්බාධක දැම්මා නම් ජීවත් වෙන විදිය ගැන තමා කතා කරන්න වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා හැමෝටම හොඳින් ජීවත් විය හැකි පරිසරයක් මේ වන විට නිර්මාණය කර තිබෙනවා. රට වැටෙන්න ගිය දිශාවෙන් වෙනස් කරලා යහපත් දිශාවකට රට ගෙන යනවා. රටවැසියන්ට නිදහස ලැබිලා ලංකාව ලෝකයේ පිළිගත් සාමකාමී රටක් බවට පත්ව තිබෙනවා. ඒ සාමකාමී රට තුළ තමයි අපි මේ අය-වැය ඉදිරිපත් කරන්නේ. අපේ දර්ශනය මොකද්ද කියලා බොහෝදෙනා අහනවා.

2025 පොහොසත් රටක් කියන අපේ දර්ශනය ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රීලනිපය හා එජාපය එක්ව තමයි මේ යෝජනා ඉදිරිපත් කරන්නේ. සමාජයීය, අධ්‍යාත්මික, සංස්කෘතිය, ආර්ථිකය යනාදි සියලු දේ එක්ව තමයි රට පොහොසත් කරන්න උත්සාහ කරන්නේ. රටක් පොහොසත් කියලා තීරණය කරනුයේ ආර්ථිකයෙන් පෙහොසත් වීමම පමණක් නොවේ. ශ්‍රී ලංකාව අපනයන කේන්ද්‍රිය රටක් බවට පත් කරනවා.

අපේ දැක්ම ඉතා සරලව ඉදිරිපත් කර තිබෙනවා. දැනුම මත පදනම් වූ තරගකාරි සමාජ ආර්ථික වෙළඳපොළක් නිර්මාණය කළ යුතුයි. එමඟින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කළ හැකියි. වර්ධනය සඳහා සීමා හතරක් තිබේ. අපට ඩොලර් ආදායම් නැතිව ජීවත් විය නොහැකියි. සියලු දේ අපි ආනයනය කරනවා. දේශීය ආදායම රුපියල්වලින් ආදායම ලබන්න හිතනවා නම් එතැනදි අපි හිර වෙනවා. රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරිත්වයේ දුර්වලතා මෙරට වර්ධනයට බාධා වී තිබෙනවා.

ඉදිරියේදි සියයට 6 ක් අධ්‍යාපනයට වියදම් කරනවා. රජයේ ආදායම සියයට 11 ක් නම් මේ ගැන බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ඇට පැකැට් බෙදලා රටවල් සංවර්ධනය කළ නොහැකියි. දැඩි නීති නිසා ආර්ථික වර්ධනය සීමා වෙලා තිබෙනවා. දේශපාලන හා ජාත්‍යන්තර ගැටලු නිරාකරණය කරමින් අපි ඉදිරියට යනවා. ඉහළ රාජ්‍ය මූල්‍ය හිඟයක් පසුගිය කාලයේ තිබුණා. රාජ්‍ය ආදායම සියයට 14 ක් දක්වා අපි වැඩි කර තිබෙනවා. එය සියයට 20 ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපි පියවර ගන්නවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අයවැයට පෙර ගැසට් එකක් මඟින් ඉතිහාසයේ ප්‍රථම වතාවට අඩු කළා. මංගල ඇමැතිතුමා කීවේ කිරිපිටි වැනි ආහාර ගැන අයවැයෙන් කතා නොකර වෙනත් විදියකට සහන ජනතාවට සහන දිය යුතුයි කියලා. ණය ගත් අය විපක්ෂයේ සිටිනවා.

2019 ඇමරිකන් ඩොලර් බිලියන ගණන් ගෙවන්නේ කොහොමද? ණය ආපසු ගෙවීමේ විශේෂ බද්දක් අකමැත්තෙන් හෝ ඇතුළත් කර තිබෙනවා. බැංකුවෙන් තමයි මේ බද්ද ගෙවන්නේ. රුපියල් ට්‍රිලියන ගණන් ගනුදෙනු බැංකුවලින් වසරකට සිදු වෙනවා. එම මුදල්වලින් රුපියල් 1000 කට ශත 20 ක් අය කර ගන්න යෝජනා කර තිබෙනවා. එය ගනුදෙනුකරුවන්ට බලපෑමක් කරන්නේ නැහැ.

ඉඩම් වෙළඳපොළ, ශ්‍රම වෙළඳපොළ ගැන කතා කරනවා. ශ්‍රම වෙළඳපොළ ගැන කතා කරන විට ගැටලු රැසක් තිබෙනවා. ජාතික විශ්‍රාමික ප්‍රතිපත්තියක් ගැන කතා කරනවා. පෞද්ගලික අංශයේ බහුතරයක් ජනතාව වැඩ කරනවා. ඔවුන්ටත් විශ්‍රාම වැටුපක් දිය යුතුයි.

කොටස් වෙළඳපොළ සියයට 50 ක්වත් නැහැ. බැංකු හා බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය ලිහිල් කරනවා. කාන්තාවන්ගෙන් සියයට 35 ක් පමණයි ශ්‍රම වෙළඳපොළේ සේවය කරන්නේ. එය වැඩි කළ යුතුයි. කාන්තාවන්ට ඒ සඳහා අවස්ථාව තිබිය යුතුයි. විෂන් 2025 සහ අය-වැය සමගාමීව ඉදිරියට යනවා. අධ්‍යාපනය සඳහා කරන ආයෝජනයන් මේ අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. දරුවන්ට ඉගෙනීම සඳහා ස්මාර්ට් පංති කාමර ස්ථාපිත කරනවා.

ධනාත්මක දිරි ගැන්වීම් සිදු කරනවා. සියයට 14 ක් දමා තිබෙන බද්ද සියයට 3 ට විතර අඩු වෙනවා. මොළය සහ එන්ටර්ප්‍රයිස් එක එකතු කළ යුතුයි. දැනුම පදනම් කර ගත් රටක් හැදිය යුතුයි. ශ්‍රී ලාංකික දරුවන් නවෝත්පාදනවලින් ලෝකයේ ජයග්‍රහණ හිමි කර ගන්නවා. මිනිස් ශ්‍රමය යොදා ගැනීම අඩුයි. ඒ වෙනුවට සියල්ල යාන්ත්‍රීකරණය වෙලා තිබෙනවා. රටේ ඉදිරි දැක්ම ගැන තිබෙන අවබෝධය මත අපේ අගමැතිතුමා නව අදහස් ඉදිරිපත් කර තිබෙනවා. මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා සියල්ල එකකට එකක් සම්බන්ධව තිබෙනවා. අය-වැය කියවා ඒ ගැන අවබෝධ කර ගන්න.

විශේෂ ව්‍යාපෘති ඇමැති සරත් අමුණුගම මහතා - අපි අවුරුදු ගණන් අය-වැය ගැන කතා අසා තිබෙනවා. ජීවන වියදමට සහන දෙන්න අපි කටයුතු කරනවා. අය-වැය යෝජනාවට පෙර විශාල වෙනසක් කළා මහජනතාවගේ භාණ්ඩ ගැන. අර්තාපල්, ලූණු, පරිප්පු, කරවල, එළවළු තෙල් සැලකිය යුතු ලෙස අඩු කර තිබෙනවා. පාරිභෝගිකයන්ට අඩු කළ මිලට භාණ්ඩ ලබා ගැනීමට අයිතියක් තිබෙනවා.

සහල් මිල අඩු කර තිබෙනවා. මේ සහන ජනතාව ලබා ගන්න. බදු ආදායම රුපියල් බිලියන 2034 ක්. 2014 වසරේ ආදායම බිලියන 1050 යි. එය වසර 2017 වන විට රුපියල් බිලියන 1749 ක් වෙනවා. පසුගිය ආණ්ඩුවේ ආර්ථික වර්ධනයක් තිබුණා තමයි. නමුත් එම රෙජීමය තුළ බදු ආදායම් කවුද ගිල්ලේ කියලා සොයා බැලිය යුතුයි.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා - කැනඩා පාර්ලිමේන්තු කණ්ඩායම උණුසුමෙන් පිළිගන්නවා. කතානායක ගැලරියේ ඔවුන් රැඳී සිටිනවා.

අමුණුගම මහතා - මේ අයවැයේ සුබ ලක්ෂණ ගණනාවක් තිබෙනවා. රටේ තිබෙන ආර්ථික ස්වාභාවය අනුව දේශීය වශයෙන් අවශ්‍ය ප්‍රමාණයට ආර්ථිකය දියුණු වුණේ නැත්නම් වෙනත් උපක්‍රමවලට යා යුතුයි. පිටරටවලින් ණය ලබා ගැනීම එක උපක්‍රමයක්. පසුගිය ආණ්ඩු කළේ එය. ණය දෙන්න කැමැති නැත්නම් ඒ අය පොලී වැඩි කරනවා. එහෙම ණය ගැනීමෙන් හොඳකුත් තිබෙනවා. එනම් ජනතාව හිතනවා අපෙන් බදු අය කරන්නේ නැහැ කියලා.

අයවැයෙන් ජනතාව නිර්වින්දනය කරනවා. එතකොට ජනතාව හිතනවා හොඳ අයවැයක් කියලා. තාවකාලිකව මුදල් අච්චු ගහන්න පුළුවන්. එය තවත් උපක්‍රමයක්. එමඟින් අය-වැය පරතරය අඩු කර ගත හැකියි. එවැනි විටදි උද්ධමනය වැඩි වෙනවා. 2015 වසර වන විට ආවේ ඒ උද්ධමනය. ඒ නිසා තමයි ජනතාව ඡන්ද පොළට ගිහිං පිළිතුරක් ලබාදුන්නේ. විදේශීය ආයෝජන මෙරටට ගෙනැවිත් සාමූහික ව්‍යාපාර ආරම්භ කළ යුතුයි. එමඟින් ලැබෙන මුදල් රටේ ආර්ථිකයට යොදා ගත යුතුයි. ආර්ථිකය දියුණුවට අලුත් දර්ශනයක් තිබිය යුතුයි.

මේ අය-වැය යෝජනාවලින් එක් පැත්තකින් එදිනෙදා මහජන ගැටලුවලට පිළිතුරු දෙනවා. එසේම රටේ අනාගතයටත් විසඳුම් දෙනවා. හවුල් ව්‍යාපාර ගැන සංවාදයක් ඇති කළ යුතුයි. පෞද්ගලීකරණය කරන්න කියලා මේ රජයෙන් කියන්නේ නැහැ. ලිහිල්කරණය හා පෞද්ගලීකරණය කියන්නේ දෙකක්. විදේශීය ආයෝජන මෙරටට ගෙනා යුතුයි. රට නූතන ලෝකයට යන්න ඕන. එදිනෙදා මුදල් පරිහරණය ගැන මේ අයවැයෙන් කතා කළත් අනාගතය ගැන දැක්මක් මෙහි තිබෙනවා.

නියෝජ්‍ය කාරක සභා සභාපති එස්. අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

පත් කළ මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා (එජාප) - නවීකරණය කළ ඉදිරි දැක්මක් පවතින ඉතා වැදගත් අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී එම්. වේලුකුමාර් මහතා මුලසුනට පැමිණියේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එජනිස) - පරණ අශ්වයා අලුත් මුදල් ඇමැති විසින් ඉදිරියට ගෙන යන්න හදනවා. මේ අය-වැය ලේඛනය මඟින් ලිබරල්වාදි ප්‍රතිපත්තිය යටතේ මෙතෙක් දිනා ගත් නිදහස ගැටලුවට ලක්ව තිබෙනවා. කුඹුරු පනත වෙනස් කරන්න හදනවා. රජයේ ආදායම, රජයේ වියදම, අය-වැය හිඟය, හිඟය පියවා ගන්නා ආකාරය, අය-වැය පරතරය කියන කරුණු කිහිපය විතරයි මේ අයවැයේ තිබෙන්නේ. ධනපතීන් මත සෘජු බදු වැඩි කරලා වක්‍ර බදු අඩු කරලා කියනවා. 2015 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 431 ක් මුදල් අච්චු ගසා තිබෙනවා. අය-වැය ලේඛනයක් ඉදිරිපත් කළාම එහි පසුවිපරමක් කළ යුතුයි. අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම සිදු කළත් පසුගිය අයවැයෙන් එම මුදල සම්පූර්ණයෙන්ම වියදම් කරලා නැහැ. ලබාදුන් මුදලෙන් වියදම් කළේ සියයට 32 ක් පමණයි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා - පසුගිය අයවැයෙන් ලබා දුන් මුදල්වලින් අධ්‍යාපනයට සියයට 95 කට වඩා වියදම් කළා. පාසල්වලට වැසිකිලි පමණක් 26000 ක් හැදුවා. ටැබ් සහ පරිගණක මිල දී ගැනීමට බිලියන 10ක් වෙන් කර තිබෙනවා. ඩෙස් බංකුවලට බිලියන 5 ක් වෙන් කර තිබෙනවා. 2014 වන විට පාසල්වලින් සියයට 60කට පමණයි විදුලිය තිබුණේ. අපි සියයට 95 කට දී තිබෙනවා. ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා - ජාත්‍යන්තරයේ කොන් වූ රටක් විදියට ලංකාව ජනාධිපති හා අගමැතිවරයා බාර ගත්තා. පසුගිය වාර්තා අධ්‍යයනය කරන විට කෙටි කාලීනව ණය මහින්ද ආණ්ඩුව කාලයේ අරගෙන තිබුණා. රට දරුණු තැනකට තල්ලු කර තිබුණා. අපනයන ආදායම සියයට 38 සිට සියයට 18 දක්වා අඩු කර අපනයනකරුවන්ට හානි පමුණ වූවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප) - බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ තොරතුරු බොහොමයක් වැරදි. ජාත්‍යන්තර දූෂණ දිනය යෙදී තිබෙන්නේ දෙසැම්බර් මස 09 වැනිදාට. බන්දුල ගුණවර්ධන මහතා කීවේ ඊයේ (09) කියලා.

ගමගේ මහතා - බන්දුල ගුණවර්ධන මහතා තනිකර මේ රට නොමඟ යැව්වා. සියයට 232 ක් ණය ප්‍රමාණය මහින්ද කාලයේ වැඩි කර තිබෙනවා. මැදමුලන බද්ද කියලා නම් කළ යුතුයි කියලා මුදල් ඇමැතිවරයා කීවා. එය නිවැරදියි. රටේ ආර්ථිකයට විශාල අඩිතාලමක් මේ අයවැයෙන් දමා තිබෙනවා. පක්ෂ දෙක එක් වුණාම මං ගොඩක් සතුටු වුණා. නමුත් ශ්‍රීලනිපයේ කොටසක් විපක්ෂයේ වාඩි වී සිටීම ගැන මම කනගාටු වෙනවා. ඔවුන් අපේ කකුලෙන් අදිනවා.

අපනයන ආදායම වැඩි කරන්න පියවර ගෙන තිබෙනවා. ධීවර කර්මාන්තය, අධ්‍යාපනය දියුණු කිරීමට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. 28000 ක පමණ ගුරු හිඟයක් තිබුණා. ගුරු පුහුණුව ලබා දී පාසල්වලට යොදවනවා. රැකියා දස ලක්ෂයක් ඇති කරනවා කියා කීවා. රැකියා ලක්ෂ පහකට පමණක් මේ වන විට ලබා දී තිබෙනවා. පිටරට නොගොස් ලංකාවේ සිට රැකියා උත්පාදනය කළ හැකියි.

බිමල් රත්නායක මහතා මුලසුනට පැමිණියේය.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති චන්දිම වීරක්කොඩි මහතා - කෘෂිකාර්මික රටක් විදියට මෙරට කෘෂිකර්මය දියුණු කිරීමට තිබූ ප්‍රධාන අභියෝගයක් තමයි දේශගුණය. එය ජයග්‍රහණය කරමින් කෘෂිකර්මය නඟා සිටුවීමට මේ රජයෙන් පියවර ගෙන තිබෙනවා. අධ්‍යාපන නීතිවල වෙනසක් අවශ්‍යයි. අධ්‍යාපන පහසුකම් දියුණු කර දරුවන්ට දක්ෂතාව මත නිපුණතාව ලබාදීමට විශාල මුදලක් අයවැයෙන් වෙන් කර තිබෙනවා. දරුවන්ට දිරි දීම මේ අයවැයෙන් සිදු කර තිබෙනවා. ආපදා ගැන දැනුමක් දරුවන්ට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා (එජාප) - බිංගිරිය ආයෝජන කලාපයට මුදල් වෙන් කිරීම නිසා විරැකියාවට හොඳ විසඳුමක් ලැබී තිබෙනවා. ගමේ ආර්ථිකය ශක්තිමත් කරන ගමන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන අයවැයක් විදියට මෙය හඳුන්වා දෙන්න පුළුවන්.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා (එජනිස) - යහපාලන රජය ඉදිරිපත් කරන හතරවැනි අය-වැය විදියට මෙය හඳුන්වන්න පුළුවන්. 2017 අය-වැය පොරොන්දුවලින් සියයට 80 ක්වත් ඉටු කරලා නැහැ.

ඉරාන් වික්‍රමරත්න මහතා- කුළුණුවලට බද්ද ගහන්නේ රටේ පරිසරය ගැන හිතලා. ඒ බද්ද අය කරන්නේ ආයතනවලින් විතරයි ජනතාවගෙන් නොවේ.

නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය - පරිසර හිතකාමී අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙනවා. 2040 වන විට රටේ වාහන දෙමුහුන් වාහන භාවිත කිරීමට මූලික අඩිතාලම දා තිබෙනවා. ධාරිතාව අඩු මෝටර් රථ සඳහා සහන ලබා දී තිබෙනවා. විදුලිය ආරෝපණයටත් රජය සහන ලබා දී තිබෙනවා. රජයෙන් බදු සහන වසර පහකට ලබා දී තිබෙනවා. සූර්ය බලය හරහා ඉන්ධන භාවිතයට බදු සහන ලබා දී තිබෙනවා.

පරිසර හිතකාමී බෑග් නිෂ්පාදනයට හා භාවිතයට අවධානය යොමු කිරීම සතුටක්. මානව සම්පත සංවර්ධනයට ද මෙමඟින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. දරුවකුගේ ජීවිතයේ පළමු අවුරුදු පහ තුළ දරුවාගේ මොළය රටට හිතකර විදියට නිර්මාණය කිරීමට පියවර ගත යුතුයි. අඩු බර උපත් ප්‍රතිශතය සියයට 16 ක්. දරුවා වැඩෙන කළලයට පෝෂණය මව හරහා ලබාදීමෙන් නිරෝගි දරුවකු රටට දායාද කළ හැකියි.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා - යල් පැන ගිය නීති තමයි අපට තිබෙන්නේ. රටක් ඉදිරියට යන විට ඒවා වෙනස් විය යුතුයි. මේ අධ්‍යාපනයට නීතිමය ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි කියලා බන්දුල මහතා අධ්‍යාපන ඇමැතිවරයාව සිටිය දී ප්‍රකාශ කළා. එසේ කී ඔහු දැන් මෙහෙම කතා කරන්නේ ඇයි කියලා අපට ගැටලුවක්. නිදහස් අධ්‍යාපන පනත සම්මත වූ දා සිට අධ්‍යාපනය දියුණු කිරීමට රජයන් කටයුතු කර තිබෙනවා.

2015 වසරේදි අපි ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් තමයි රට බාර ගත්තේ. අපේ ශක්තියෙන් රට ගොඩගත යුතුයි. 2014 වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම වැඩි කර ගන්නට අපට හැකි වුණා. ඵලදායි ආදායම් මූලාශ්‍ර බවට රටේ සම්පත් පත් කර ගත යුතුයි. අය-වැය ඉදිරිපත් කරන විට අපට හුරුව තිබෙන්නේ කීයක් පඩිපතට එකතු වෙනවාද, බඩු මිල කොපමණ අඩු වෙනවාද යන කරුණු. නමුත් මංගල ඇමැතිවරයාගේ මේ අය-වැය ලේඛනය වෙනස්. පාර්ලිමේන්තු ඉතිහාසයේ නොමැකෙන අය-වැය ලේඛනයක් කියලා මම ප්‍රකාශ කරනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා (එජාප) - උතුරේ ජනතාව ගැනත් හිතා මේ අය-වැය හදා තිබෙනවා කියලා විපක්ෂ නායකවරයා ඉදිරිපත් කර තිබෙනවා. අය-වැය විවේචන අඩුයි.

නියෝජ්‍ය කාරක සභා සභාපති එස්. අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා (එජනිස)- පසුගිය වසර දෙකේ ලක්ෂ 4 ක් රැකියා ජනනය කරන්න රජය කටයුතු කළා කීවත් එහි සත්‍යයක් නැහැ.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මුලසුනට පැමිණියේය.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (එජාප)- විදේශීය මෙන්ම දේශීය ආයෝජකයින්ට අවස්ථාව දිය යුතුයි. විදේශවල වැඩ කරලා මුදල් රැස් කර ගෙන මෙරටට පැමිණෙන තරුණ කොටසක් සිටිනවා. ආයෝජකයින් ලෙස ඔවුන්ට ඉදිරියට එන්නට අවස්ථාව ලබාදීමට පියවර ගත යුතුයි. පාර්ලිමේන්තුවේ දක්ෂ එහෙත් පැත්තකට වී සිටින මන්ත්‍රිවරුන් සිටිනවා. ඔවුනුත් සම්බන්ධ කර ගෙන රට සංවර්ධනයට පියවර ගත යුතුයි. හොර බොරු කරන මන්ත්‍රීවරුන් අතරෙත් දක්ෂ අය හැංගී සිටිනවා. ඔවුන්ව හඳුනාගෙන ඒ අයටත් අවස්ථාව දී රට යහපත් සංවර්ධනයක් කරා යොමු කරමු.

ඉඩම් රාජ්‍ය ඇමැති ටී.බී. ඒකනායක මහතා- චීනයේ ජනගහනය වැඩියි. ලබන වසර වන විට චීනයට සාපේක්ෂව ඉන්දියාවේ ජනගහනයත් වැඩි වෙනවා. චීනයේ උපත්පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. නමුත් ඉන්දියාවේ එහෙම වන්නේ නැහැ. කලාකරුවන්ට සෞඛ්‍ය සංරක්ෂණ වැඩසටහනක් අපි ක්‍රියාවට නංවනවා. උරුමය හා සංස්කෘතිය ක්ෂේත්‍රය තුළ විවිධ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.

සංචාරකයින්ගේ සිත් ගන්නා ලෙස ස්ථාන නිර්මාණය කරනවා. මෙරටට පැමිණෙන සංචාරකයින් රට වටා එක්ක ගෙන යන්නේ සමාගම් කිහිපයක් පමණයි. සමාගම්වලට ඕන ස්ථානවලට විතරයි ඔවුන් එක්කගෙන යන්නේ. සංචාරකයින්ට ඕන තැන්වලට ඔවුන් එක්කගෙන යන්නේ නැහැ. එය වෙනස් කළ යුතුයි.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා (එජාප)- අධ්‍යාපනයට වැඩිපුරම මුදල් වියදම් කළේ එජාපය. මධ්‍යම මහා විද්‍යාල සංකල්පය ගෙනාවේ එජාපය. ජනතාවට සහනයක් මේ අය-වැය මඟින් ලැබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී. චානක මහතා (එජනිස) - ඉතිහාසයේ සිටම පක්ෂ මාරු වන විට ප්‍රතිපත්ති වෙනස් වෙනවා. එමඟින් රටට හානි වෙනවා. අවුරුදු තුනක් තුළ දී මේ ආණ්ඩුව ප්‍රතිපත්ති නවයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා ආර්ථිකය කඩා වැටී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප) - දුප්පත් ජනතාව වෙනුවෙන් සහන ලබා දී තිබෙනවා. සාමාන්‍ය ජනතාවට බරක් නොවන අයවැයක්

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මුලසුනට පැමිණියේය.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එජාප) - මේ කාලය තුළදි අපට අති දැවැන්ත ණය කන්දරාවකට මුහුණදීමට සිදු වන කාලයක්. ඒ සඳහා මුහුණදීමට හැකි ශක්තියක් මේ අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. නීල හරිත අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. අධ්‍යාපනට මුල් තැනක් ලබා දී තිබෙනවා. මහපොළ ශිෂ්‍යත්ව, නව විද්‍යා පීඨ තුනක්, නව තාක්ෂණික පීඨ හතක් ආරම්භ කිරීමට යෝජනා කර තිබෙනවා. අධ්‍යාපනය සඳහා නව වෙනසක් මෙමඟින් ඇති කර තිබෙනවා. දොම්පේ වෙදගම ආයුර්වේද රෝහලක් ආරම්භ කර ඉදිරියට ගෙනයාමට අපිට හැකි වී තිබෙනවා.

පාර්ලිමේන්තුව පසුගියදා (11) උදෑසන 9.30 ට නැවත රැස්විය.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර සහ සන්ධ්‍යා කරුණාරත්න 

 

නව අදහස දක්වන්න