තමුන්ලා වෙළෙන්දොද? හොරුද? | දිනමිණ

තමුන්ලා වෙළෙන්දොද? හොරුද?

මෙතෙක් ලැබී ඇති තොරතුරුවලට අනුව ජාතික කෞතුකාගාර සොරකමේ මහමොළකරු ලෙස සැලකිය හැකි ‘ලංසාගේ ප්‍රියන්ත මේදිස්‘සොයා එක් පසෙකින් කොළඹ අපාරධ කොට්ඨාසයද, අනෙක් පසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද දිවා රෑ නොබලා මෙහෙයුම් දියත් කර තිබිණි. ජාතික පුවත්පත්වල සිරස්තල මැවූ, රටේම අවධානයට ලක්වූ , මෑත යුගයේ ආන්දෝලනයට තුඩු දුන් වෙනත් සිද්ධියක් නැති තරම් වීමත්, පැවති ආණ්ඩුවේ ප්‍රබලයින් එල්ල කරගනිමින් පැතිර ගිය ආරංචි සුළුපටු නොවීමත් මෙහි පරීක්ෂණ කඩිනම් විය යුතු බවට කෙරුණු බලකිරීමක්ම විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයාත්, සහායක විමර්ශන

නිලධාරියත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස ගොස් ප්‍රියන්ත මේදිස් යන අයගේ මවගෙන් තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව බියගම ඇන්කර් හංදියට පැමිණියහ. ඒ ඔහුගේ සොයුරියගෙන් තොරතුරු දැනගැනීමටය.

“කලබල වෙන්න ඕන නෑ. අපි, පී.එච්.අයි ලා. පොඩි කටඋත්තරයක් ගන්න ආවා.

මේවායෙ පරීක්ෂණ සිදුවෙන බවක් පැමිණිලි කාරයින්ට දැනගන්ඩත් එපායැ.” පොලිස් පරීක්ෂකවරයා තමන් කවුදැයි කෙටියෙන් හඳුන්වා දුන්නේය.

“ඔව් සර් අපට තේරෙනවා. වාඩිවෙන්න“ඇය ඔවුන් ගෞරවයෙන් යුතුව පිළිගත්තාය.

“කෝ ගෙනාව කරවල නැද්ද?”

“කරවල ගෙනෙන්න යන්න හිටියෙ ගිය සතියෙ. ගෙනාපු තොග ඉවරයි. කඩවලින් කතා කරනවා. ඒත් යන්න විදිහක් නෑ. මල්ලී කොහේ ගියාද කියලා දන්නෙ නෑ. එයා තමයි කරවල ගෙනාවෙ. මොකක්ද සර් පැමිණිල්ල?”

“ආ..ඒක මේ කරවල වගයක විෂබීජයක් තිබුණා කියලා.”

ඕව ඊර්ෂ්‍යාවට කියන කතා සර්. අපේ මල්ලිලා ගෙනාවෙ නියම කරවල. මීගමුව, කල්පිටිය විතරක් නෙවෙයි යාපනයේ පැත්තෙ පවා ගිහින් රස්තියාදුවෙලා හොඳම බඩු තමයි ගෙනාවෙ. ඒකෙ ආයෙ සැකයක් නෑ. කවුරු හරි බොරුවට තරහට දාපු පැමිණිල්ලක්.”

“කවුරු එක්කද කරවල ගෙනෙන්න ගියේ. කාගෙද වාහනේ?”

“අපේ මහත්තයත් ඉදහිට ගියා. එයා එක එක යාළුවො එක්කත් යනවා. ලොරිය අපේ. ”

අපේ මහත්තයගෙ නෑදෑ වෙන පුතෙකුටයි අයිති. ඒත් ගිය මාසෙ ෆිනෑන්ස් එකවත් ගෙවාගන්න විදිහක් තිබුණේ නෑ. මාසෙකින් විතර බිස්නස් ගියේ නැහැ”

“මල්ලි කොහේද යන්න ඇත්තෙ?”

“ඒක නම් හරියට කියන්න බෑ සර්. එයාට රට හැමතැනම යාළුවෝ. සමහර අය හොඳ අයත් නෙවෙයි. මල්ලි මත්කුඩු එහෙමත් පාවිච්චි කරනවා. සමහර කාලවලට ඒකට තදින් ඇබ්බැහිවෙලා බලාගත්තු අත බලාගෙන ඉන්නවා. ඒ වගෙ කාලවල සතිය දෙක එක දිගට ගෙදර එන්නෙ නෑ. එයාට කිසිම දෙයක් හරියට කරන්න බැරි ඔය ජරා පුරුද්ද හින්දයි. අපි වැඩිය ඒ ගැන හිතන්නෙ නැත්තෙ ඒකයි. එයා ආයෙ ආවම තමයි බිස්නස් එක දුවන්න වෙන්නේ.” ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මීට පෙරාතුව සියඹලාපෙ සිල්ලර කඩයකින් ලබාගත්, අම්මාගෙන් තහවුරු කරගත් ජංගම දුරකථනයේ අංකය ඔහුගේම බැව් සොයුරිය විසින්ද, තහවුරු කළාය. එහෙත් එම දුරකථන අංකයට ඇමතුමක් ලබාදීමට දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය. දුරකථනය අක්‍රීය කොට හෝ අදාළ සිම්පත මේවන විට භාවිතා නොකරන බැව් එහි අදහසයි. ඒ නිසාම එම දුරකථන අංකයට අදාළ සියලුම විස්තර නීත්‍යානුකූල ලෙස අදාළ දුරකථන සමාගමෙන් ලබා ගැනීමට ඔවුහු ක්‍රියා කළහ.

දුරකථනයේ සිම්කාඩ් පත ලියාපදිංචි කර තිබුණේ ප්‍රියන්ත මේදිස් යන අයගේ නමට නොවේ. එහි සැබෑ හිමිකාරිය වූයේ ගල්ගමුව, දුම්රියපල පාර පිටුපස පදිංචිව සිටි ටිකිරි අප්පුගේ සුවිනීතා (සැබෑ නම නොවේ) නම් කාන්තාවකි. ආසන්න දිනවල එම දුරකථනය හා සම්බන්ධවූ ඇමතුම් පරීක්ෂා කිරීමේදී මෙම ජංගම දුරකථනය මීගමුව, පුත්තලම, හලාවත, කල්පිටිය, පුල්මුඩේ හරහා කෝකිලායි දක්වාම ගමන් කර තිබිණි.

අනාවරණය වූ තවත් විශේෂ කාරණයක් වූයේ කෞතුකාගාර සොරකම සිදුවූ දිනයේ හා ඊට පෙර මෙම දුරකථනය භාවිතා වී නොතිබුණු බවයි. පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදු කෙරුණු සාකච්ඡාවන්හිදී මෙම කරුණු කෙරෙහි අවධානය යොමුවිය. විමර්ශන බාර අධීක්ෂණ නිලධාරී පොලිස් අධිකාරී පාලිත පනාමල්දෙණිය කළ යුතු දේ ගැන කරුණු දැක්වීය.

“මේ සිම් එකේ අයිතිකාරිය සැකකරුගේ ඥාතියෙක් නොවන බව පැහැදිලියි. ඒත් එයාගෙ නමට තියෙන අංකයක් මොහුට දෙන්න තරම් දෙන්නා අතර තියෙන සම්බන්ධතාවය මොනවගේ එකක්ද කියන එක ගැන අපි දැන ගත යුතුයි.”

“ඔව් සර්. මොකක් හරි ලොකු සම්බන්ධයක් වෙන්න පුළුවන්”

“නොවෙන්නත් පුළුවන්. සමහරවිට ගල්ගමුව වගේ ගමක ඒ තරම් දැන උගත්කමක් නැති කාන්තාවක් නම් නොදන්නකමට සිම් එකක් ගන්න හැඳුනුම්පත ඕන කෙනෙකුට දෙනවනේ. ඒ වගේ ගත්ත එකක්ද දන්නෙත් නෑ. කොහොම වුණත් පිරිසක් ගල්ගමුවට ගිහින් එයා හම්බ වෙන්න ඕන. තවත් පිරිසක් මේ පුද්ගලයා ගනුදෙනු කරපු කරවල ව්‍යාපාරිකයන් හොයාගෙන ඒ දුරකථන විස්තර අනුව ඒ පැත්තට යා යුතුයි.”

පනාමල්දෙණිය මහතා උපදෙස් දුන්නේය.

සිද්ධියේ විමර්ශන බාර නිලධාරියා වූ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට සහ පිණිස එවක සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් තවත් කාර්යශූර නිලධාරියෙක් ලබාදෙන ලදී. ඔහු සාජන් මෙන්ඩිස්ය. ඒ අනුව දෙදෙනා පසුදින මෝටර් රථයකින් කරවල වෙළෙඳුන් ලෙස මීගමුව බලා පිටත්ව ගියහ. මීගමුවේ කරවල තොග වෙළෙඳුන් සමග මිල ගණන් කතා බහ කිරීමෙන් පසු තමන්ගෙ මිත්‍රයෙකු වූ ප්‍රියන්ත නමැති කරවල ව්‍යාපාරිකයා ගැනද විමසීමට ඔවුහු අමතක නොකළහ. එහිදී ඇතැමුන් ප්‍රියන්ත දන්නා බව පැවසූ අතර තවත් පිරිසක් ඔහු නොදන්නා බව කියා සිටියහ. දන්නා බව පැවසූ පිරිස් වෙත සැකකරුගේ ඡායාරූපය පෙන්වීමෙන් පසු ඒ ප්‍රියන්ත බැව් ඔවුහු තහවුරු කර සිටියහ.

“එයා සතියකට හමාරකට සැරයක් හිටි ගමන් කඩාගෙන එනවා. ආයෙ යනවා. වෙලාවට දිනේට වැඩකරලා පුරුද්දක් නෑ” එක් ව්‍යාපාරිකයෙක් කියා සිටියේය.

“ආයෙ කවදා දිහාට මේ පැත්තට එයිද දන්නෙ නෑ නේද?”

“කවුද ප්‍රියන්තද? අසල තවත් ව්‍යාපාරිකයෙක් කතාවට හවුල් විය.”

“ඔව්. මේ එයාගෙ කොළඹ යාළුවෝ කට්ටිටක්”

“එයා අනිද්දට එනවා කියල මට පණිවිඩයක් තිබ්බා“ඔහු අනාවරණය කළේය. ”

සැකයක් නොසිතෙන පරිදි කතා බහ කොට පසෙකට වූ පොලිස් පරීක්ෂකවරයා සහ සාජන් මෙන්ඩිස් සැනසුම් සුසුම් හෙළුවේ තව දින දෙකකින් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවෙනු ඇතැයි විශ්වාස කළ බැවිනි.

කරවල ව්‍යාපාරිකයින් සමඟ මිත්‍රවූ මොවුන් දෙදෙනා කරවල වාඩිවල රැය පහන් කළහ.

කරවල වේළීම, පාර්සල් කිරීම, වාහනවලට පැටවීම ආදියෙන් ඔවුන්ට සහය වූහ. ඒ වෙනුවෙන් නිසි දීමනාවක් නොවුණත් කොළඹින් පැමිණි අලුත් කරවල ව්‍යාපාරිකයින් දෙදෙනාට නියමිත වේලාවට ආහාරපාන ටික ලබා දීමටත්, ඔවුන්ගේ දෛනික අවශ්‍යතා ඉටුකර දීමටත් මීගමුවේ කරවල ව්‍යාපාරිකයෝ නොපැකිළිව ඉදිරිපත් වූහ. එහෙත් විමර්ශන නිලධාරීන් විශ්වාස කළ පරිදි සැකකරු නියමිත දිනයේ පැමිණියේ නැත. ඔහු පැමිණෙන බව කියූ කරවල ව්‍යාපාරිකයා තවත් දිනකට පසු කීවේ මෙවන් කතාවකි.

“ප්‍රියන්තගෙ හැටි ඔහොම තමයි. වෙලාවට වැඩක් කරන මිනිහෙක් නෙවෙයි. ඔය කොයි වෙලාවක හරි ආයෙම පාත්වෙයි”

එම ප්‍රකාශයෙන් පසු සැකකරු කෙරෙහි තවත් බලාපොරොත්තු තැබිය හැකි නොවේ.

එහෙත් රාජකාරිය ඉටු නොකොට පසුබා යාමට හැකියාවක්ද නැත. පෙර ලබාගත් දුරකථන සංඥා කුළුණු තොරතුරු අනුව පුත්තලම, හලාවත, කල්පිටිය, පුල්මුඩේ, කෝකිලායි දක්වාම ඔවුහු ප්‍රියන්ත සමග ගනුදෙනු කළ කරවල ව්‍යාපාරිකයන් සොයා ගියහ. එහිදී ඔවුහු කරවල ව්‍යාපාරිකයින් හා කරවල කර්මාන්තයේ යෙදෙන්නන් ලෙස පෙනී සිටියද, ඇතැමුන්ට ඔවුන් පිළිබඳ සැක සිතුණු අවස්ථා නොතිබුණාද නොවේ. තම කර්මාන්තයේ යෙදෙන තමන් වැන්නන් පිළිබඳ හොඳ ඉවක් තිබුණු ඇතැමෙක් මොවුන් ගැන අවධානයෙන් සිටියහ. එකී අවධානය තීරණාත්මක වූ මොහොතක නාවික හමුදා

අනු ඛණ්ඩයකට ද ඒ පිළිබඳ දැනුම්දී තිබුණි. ඒ නිසාම එක් රාත්‍රියක වෙරළ ආරක්ෂාව සම්බන්ධයෙන් පරීක්ෂාකාරීව සිටි නාවික භට පිරිසක් පැමිණ නිශාන්තත්, මෙන්ඩිසුත් රැගෙන ගියහ.

“තමුසෙලා කරවල වෙළෙන්දොද? හොරුද?”

“අපි හොරුවත් කරවල වෙළෙන්දොවත් නෙවෙයි“පොලිස් පරීක්ෂකවරයා තමාගේ සහ අනෙක් නිලධාරියාගේ රාජකාරි හැඳුනුම්පත් නාවික හමුදාවට ලබා දුන්නේය.

“සමාවෙන්න. ඔය මහත්තුරු ගැන සැකයි කියලා අපට පණිවිඩ ගොඩක් ලැබුණා.

අපෙන් මොකද කෙරෙන්න ඕන“නාවික නිලධාරියා විමසුවේය.

“මේ යකා අල්ලගන්න උදව් කරන්න. අපි හැමෝගෙන්ම ඉල්ලුවෙ ඒකයි” පොලිස් පරීක්ෂකවරයා ඒ ගැන අවධාරණය කළේය.

මෙම සිදුවීමෙන් ඉක්බිතිව උපාය උපක්‍රම වෙනස් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට සිදුවිය. ඒ නිසාම ඔවුන් අවශ්‍ය තැන්හිදී තමන් කවුරුන්දැයි නිල වශයෙන් හඳුන්වාදී සැකකරුගේ ඡායාරූපය සහිත විස්තර පත්‍රිකාව ලබාදී සැකකරු දුටුවොත් හෝ ඔහු පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් වහා දැනුම්දිය යුතු බවට දැනුම්වත් කරන ලදී. තවත් තැනක ප්‍රාදේශීය පොලිස් නිලධාරීන්ගේද සහය ඇතිව තමන් සිවිල් ඇඳුමෙන් රාජකාරි කරන පොලිස් නිලධාරීන් බැව් පෙන්වාදී සැකකරු ගැන විමසන්නටත්, එසේ නොවන අවස්ථාවන්හිදී පුරුදු ලෙස මිතුරු කරවල ව්‍යාපාරිකයෙකු ගැන සොයන බවට සැකකරුගේ ඡායාරූපය පමණක් පෙන්වා තොරතුරු ලබාගැනීමටත් උත්සාහ කරන ලදී. සැකකරු මෙම ප්‍රදේශවල සැරිසරන බවට ඒ වන විටත් තොරතුරු තහවුරුවී තිබුණු බැවින් සැකකරුට සැඟවී සිටීමට හැකියාවක් නොවන තැනට ඔහු ප්‍රසිද්ධියට පත් කිරීමේ උපක්‍රමය මේ වන විට ක්‍රියාවට නැංවී තිබිණි.

මේ සියල්ල සිදුවෙමින් පවතිද්දී මාළු හා කරවල ව්‍යාපාරිකයින් සමග හැරුණුවිට ස්වර්ණාභරණ ආයතන හෝ ව්‍යාපාරිකයින් සමග සම්බන්ධවී තිබුණු දුරකථන ඇමතුම් ඔස්සේ එකී පුද්ගලයින් කවුරුන්දැයි සෙවීමද ආරම්භවී තිබුණි. එලෙස විමර්ශන සිදුකරමින් යද්දී එප්පාවල ප්‍රදේශයේ ස්වර්ණාභරණ ආයතනයක් සමග සහසම්බන්ධවූ අවස්ථාවන් කිහිපයක් පිළිබඳ විමර්ශන නිලධාරීන්ට කරුණු තහවුරු විය. ඒ අනුව විමර්ශන නිලධාරීන් දෙදෙනා එප්පාවල පිහිටි එකී ස්වර්ණාභරණ ආයතනයට පැමිණියහ.

“ප්‍රියන්ත කියලා පුද්ගලයෙක් මෙන්න මේ දුරකථනයෙන් ඔයාට කතා කරලා තියෙනවා. කවුද ඒ? මොකක්ද එයත් එක්ක තිබුණු සම්බන්ධය?”

තමන් කවුරුද යන්න හඳුන්වා දීමෙන් පසු පොලිස් පරීක්ෂකවරයා විමසුවේය.

“දවසක් ඔය මනුස්සයා රත්‍රන් බඩු වගයක් අරන් ආවා.දේවාලයක නිධානයක් හාරලා ගත්තා කියලා කාසි වගයක් පෙන්නුවා. ඒ මනුස්සයා කළුයි. කොටයි. දැක්කොත් අඳුරගන්න පුළුවන්” ස්වර්ණාභරණ ආයතනයේ තරුණ හිමිකරුවා කියා සිටියේය.

ඉක්බිතිව අනෙක් නිලධාරියා සතුව පැවති සැකකරුගේ ඡායාරූපය පෙන්වීමෙන් පසු ඒ ඔහුම බැව් තරුණයා හඳුනාගන්නා ලදී.

“එයා ඊට පස්සෙ අපේ නම්බරයත් ඉල්ලගෙන ගිහින් විටින් විට කෝල් කළා. දවසක් මල්ලි කඩේ ඉඳිද්දී එයාට කතා කරලා නිධානයකින් ගත්තු බඩු වගයක් තියෙනවා කියලා ඒවා ගන්න රාජාංගණයට එන්න කියලා තිබුණා.”

“ඉතිං ගියාද?”

“මල්ලිගෙ නම් කැමැත්ත තිබුණෙ යන්නමයි. මිනිහත් ඔය ඇන්ටික් බඩුවලට කැමතියි. ඒත් මේ මනුස්සයා වැඩිය අඳුන්නෙත් නැති නිසා දවසක් දෙකක් කතා කරපු පළියට ඔය වගේ වැඩකට සල්ලිත් යහමින් අරන් රාජාංගණය වගේ දුර ගමනක් යන එක හොඳ මදි කියලා මං මලයට පැහැදිලි කරලා දුන්නා. ඒ හින්දා එයා ගියේ නෑ. ඊට වැඩිය දෙයක් නම් අපි ඒ ගැන දන්නෙ නෑ.”

ස්වර්ණාභරණ ආයතන හිමිකරුවා අවධාරණය කළේය. ඔහු සමග තවත් තොරතුරු බොහෝ කතා බස් කළද, සැබවින්ම ඔහුත් සමග සැකකරුගේ වැඩි ගනුදෙනුවක් පැවතී නොමැති බව විමර්ශන නිලධාරීන්ට ඒත්තු ගියේය.

එයින් පසු සැකකරු සොයා වෙනත් මාර්ගයකට පිවිසිය යුතු බව තීරණය කළ පොලිස් පරීක්ෂකවරයා එතැනින් යන්නට හැරුණේය. ඒ මොහොතේ ඔහුගේ ජංගම දුරකථනයට කොළඹ කාර්යාලයෙන් ඇමතුමක් ලැබිණි. ඒ සිද්ධියේ විමර්ශනවලට සහය දෙන කණ්ඩායමේ නිලධාරියෙකුගෙනි.

“සර්. අර නම්බරය දාලා තිබ්බ ෆෝන් එක වැඩ. ඒත් වෙන නම්බරයකින්?”

“කොහේද? කවුද? විස්තර දෙන්න“ පොලිස් පරීක්ෂකවරයා විමසුවේය.”

“වාරියපොළ-රඹා වැව.” කොළඹින් තවත් විස්තර ලැබුණි. වෙනත් සිම්කාඩ් පතක් සමග සැකකරුගේ ජංගම දුරකථනය භාවිතා කරන්නේ කවුරුන්දැයි සොයා විමර්ශන නිලධාරීන් දෙදෙනා එතැනින් වාරියපොළට පැමිණියහ.

වාරියපොළ- රඹාවැව ප්‍රදේශයේ එම දුරකථනය හිමි තරුණයා සොයා විමර්ශන නිලධාරීන් පැමිණෙන විට ඔහු උසස් පෙළ විභාගයට තව වරක් පෙනී සිටීමට සූදානමින් පාඩම් කටයුතුවල නියැළී සිටියේය. ඔහුගේ පියා විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන වැදගත් අයෙකි. සැලකිය යුතු හොඳ පවුල් පසුබිමකින් යුතු මෙම උදවිය සිදුව ඇත්තේ කුමක්දැයි උඩබිම බලන්නට වූහ. තරුණ සිසුවා ඉගෙනුම ලබා ඇත්තේද, කුරුණෑගල ජනප්‍රියතම පාසලෙනි.

“කලබල වෙන්න අවශ්‍ය නෑ. පුතා ඇත්තම ඇත්ත කීවොත් පුතාටත් කරදරයක් නෑ. අපේ රාජකාරියටත් පහසුයි.”

පොලිස් පරීක්ෂකවරයා සිසුවාගේත්, පවුලේ උදවියගේත් බිය සැක තුනී කරමින් කතා කරන්නට විය.

හෙට-‘ප්‍රියන්ත මේදිස්‘ ‘කංගැට්ටා‘වෙයි.

රංජිත් විජේබණ්ඩාර

 

නව අදහස දක්වන්න