ෆෝමියුලා වන් ජාත්‍යන්තර අධිවේගී බෝට්ටු තරගාවලිය | දිනමිණ

ෆෝමියුලා වන් ජාත්‍යන්තර අධිවේගී බෝට්ටු තරගාවලිය

 සංචාරක ප්‍රවර්ධන අධිකාරිය හා ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කරන ලද බෙන්තොට ගංගා ආශ්‍රිතව සහ බෙන්තොට මුහුදු තීරය වර්ණවත් කරමින් පසුගියදා පැවැති ෆෝමියුලා වන් වර්ගයේ ජාත්‍යන්තර අධිවේගී බෝට්ටු තරගාවලිය බෝට්ටු තරග නරඹන්නන්ට නව අත්දැකීමක් ගෙන දුන්නේය.

පසුගිය 11 සහ 12 දෙදින පැවැති මේ තරගාවලියට තන්ඩර් කැට් වර්ගයේ අධිවේගී බෝට්ටු හා ගංගා පරිශ්‍රයේ පැවැති තරග සඳහා (අධිවේගී) පවර් බෝට්ටු යොදා ගත් අතර, ජර්මනිය, ස්විඩන්, එංගලන්තය, අයර්ලන්තය, බෙල්ජියම, නෝර්වේ, ඇතුළු යුරෝපීය රටවල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා 11 වැනිදා ආරම්භක අවස්ථාවට සහභාගි වූ අතර 12 වැනිදා තරග පැවැති අවස්ථාවේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහභාගි වූහ.

මේ විශේෂ බෝට්ටු එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් තම රටවල්වල සිට මේ සඳහාම මෙහි ගෙනැවිත් තිබූ අතර බෙන්තර ප්‍රදේශයට අලුත් අත්දැකීමක් ගෙන දෙමින් පැවැති මෙම තරග නැරැඹීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

තරගවලට සහභාගි වූ තරගකරුවන් ලෝකය වටේ සංචාරය කරමින් විවිධ රටවලදී මේ තරගවලට සහභාගි වන බවත්, මෙවැනි තරග පැවැත්වීමෙන් ලංකාවේ අනාගත ක්‍රීඩාවට මෙන්ම සංචාරක ව්‍යාපාරයට මහත් ශක්තියක් ලැබෙන බවත් තරගාවලියට එක් වී සිටි ඉංජිනේරු නීල් ස්ලෙනමන්ට් මහතා කීවේය.

ලබන වසරේ පෙබරවාරියේදී නැවතත් මෙවැනි තරගාවලියක් ලංකාවේ පැවැත්වෙන බවත්, එය බොහෝ දුරට බෙන්තොටදී හෝ පාසිකුඩා වලදී පැවැත්වීමට ඉඩ ඇති බවත් ඒ මහතා පැවසීය.

ඡායාරූප - ඉඳුරුව සමූහ ඇම්. පී. මුනිදාස

නව අදහස දක්වන්න