ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගමාලාවේදී මැතිව්ස්ගේ භූමිකාව පිතිහරඹයට සීමා වෙයි | දිනමිණ

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගමාලාවේදී මැතිව්ස්ගේ භූමිකාව පිතිහරඹයට සීමා වෙයි

 පාදයේ ආබාධයක් හේතුවෙන් පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරග සංචාරය අහිමිවූ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් ඉන්දීය සංචාරයේදී පිතිකරුවකු ලෙස පමණක් යොදා ගැනීමට පුහුණුකාරීත්වය තීරණය කර තිබේ.

මැතිව්ස් යළි කණ්ඩායමට එක්වී සිටින්නේ පිතිකරුවකු ලෙස පමණක් බව ශ්‍රී ලංකා පිලේ වේගපන්දු පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ‘ක්‍රික්බස්‘ වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරය ආරම්භ කරමින් එරට ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග පැවැති පුහුණු තරගයේදී මැතිව්ස් යවනු ලැබුවේ ඕවර 5ක් පමණි. ‍එම පුහුණු තරගයෙන් පසුව සිය අදහස් පළ කළ රුමේෂ් රත්නායක මහතා කියා සිටියේ ටෙස්ට් තරගාවලියේදී මැතිව්ස් පන්දු නොයවනු ඇති බවය.

පසුගිය මාස 12ක කාලයක් පුරා පාදයේ ආබාධයෙන් පීඩා විඳින මැතිව්ස් මෙවර ටෙස්ට් තරගාවලියේදී පන්දුයැවීමට යොදා ගැනීමෙන් අවදානමක් මතුවිය හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරීත්වයේ විශ්වාසය වී තිබේ.

ඉන්දීය පිලේ පසුගිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර පැවැති එක්දින තරගාවලියේදී ඕවර කිහිපයක් පමණක් යැවූ මැතිව්ස් එහිදී පැවැති ටෙස්ට් තරගමාලාවේදී පිතිකරුවකු ලෙස පමණක් ක්‍රීඩා කළේය. ඉන්දීය ටෙස්ට් තරගමාලාවේ දී තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක, ධනංජය ද සිල්වා හෝ මැතිව්ස්ගේ පන්දු යැවීමේ කාර්ය භාරය ඉටු කරනු ඇතැයි ද රුමේෂ් රත්නායක මහතා කීවේය.

නව අදහස දක්වන්න