බෞද්ධාගම පිළිබඳ වත්මන් ව්‍යවස්ථා වගන්තිය එලෙසම ආරක්ෂා වෙනවා | දිනමිණ

බෞද්ධාගම පිළිබඳ වත්මන් ව්‍යවස්ථා වගන්තිය එලෙසම ආරක්ෂා වෙනවා

අසේල කුරුළුවංශ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හෝ රටේ ඒකීය භාවයට කිසිදු හානියක් සිදු නොවන බවත් බෞද්ධාගම සම්බන්ධ වත්මන් ව්‍යවස්ථාවේ වගන්තිය ඒ ආකාරයෙන්ම ආරක්ෂා වන බවත් ජාතික සහජීවනය,සංවාද හා රාජ්‍යය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවෙහි පැවසුවේය.

ජනපති හා අගමැති මේ සම්බන්ධව රටට පැහැදිලි ප්‍රකාශයක් සිදුකර තිබෙන බවත් මේ නිසා නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවය හෝ බෞද්ධාගමට හිමි තැන අහෝසි වේයැයි අනියත බියක් ඇතිකර නොගත යුතු බවද ඒ මහතා කීය.

කොළඹදී දෙසැම්බර් මස පැවැත් වීමට නියමිත සර්ව ආගමික සමුළුව සඳහා ආරාධනා කිරීම පිණිස මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේදී අමාත්‍යය මනෝ ගනේෂන් මහතා මේබව ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා හා සෙසු ආගමික නායක පූජකතුමන්ලා දැනුවත් කිරීමට රජය ඉදිරියේදී කටයුතු කරන බවද හෙතෙම කීවේය.

මෙරට සිංහල හා දෙමළ ජනතාව අතර කිසිදු බේදයක් නොතිබූ බවත් දේශපාලනඥයින් තමන්ගේ බලය තහවුරු කර ගැනීම පිණිස ජාතික අසමඟියක් ගොඩනැගූ බවත් මෙහිදී මහනාහිමියෝ කීහ. ආත්මාර්ථකාමී දේශපාලනඥයින් ජාතික සමඟිය බිඳ වැටීමට වගකිව යුතු බවද නාහිමියෝ අවධාරණය කළහ. 

නව අදහස දක්වන්න