අත්අඩංගුවේ පසුවන අමෙරිකානු ක්‍රීඩකයන්ගේ ප්‍රශ්නය විසඳා දෙන්නැයි ට්‍රම්ප් චීන ජනපතිගෙන් ඉල්ලයි | දිනමිණ

අත්අඩංගුවේ පසුවන අමෙරිකානු ක්‍රීඩකයන්ගේ ප්‍රශ්නය විසඳා දෙන්නැයි ට්‍රම්ප් චීන ජනපතිගෙන් ඉල්ලයි

වර්නන් ගුණසේකර

චීනයේ තරග සංචාරයක නියැලෙමින් සිටියදී සාප්පුවලින් බඩු සොරකම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කැලිෆෝනියා, ලොස් ඇන්ජලීස් සරසවියේ පිරිමි බාස්කට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනාගේ ප්‍රශ්නය විසඳීම සඳහා මැදිහත් වන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ ජනාධිපති සි ජින්පිං ගෙන් පෞද්ගලික ඉල්ලීමක් කර තිබේ.

කණ්ඩායම නැවතී සිටි හෝටලයට යාබදව පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයේ සාප්පුවකින් අව් කණ්ණාඩි සොරකම් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ක්‍රීඩක ලිඇන්ජලෝ බෝල් සහ ඉදිරි පෙල ක්‍රීඩකයන් වන කොඩී රිලී හා ජැලන් හිල් චෝදනා ලැබ සිටිති. මේ තිදෙනාම ආධුනික ක්‍රීඩකයන් වන අතර ලිඇන්ජලෝ බෝල් අමෙරිකාවේ ජනප්‍රිය බාස්කට්බෝල් කණ්ඩායමක් වන ‘ලොස් ඇන්ජලීස් ලේකර්ස්‘ නියෝජනය කරන නවක ආරක්ෂක ක්‍රීඩක ලොන්සෝ බෝල් ගේ සොහොයුරෙකි.

ක්‍රීඩකයන් චෝදනා ලැබ දිනයකට පසුව බෙයිජිං නුවරට පැමිණි අමෙරිකානු ජනාධිපතිවරයා සිය දෙදින නිල සංචාරය අතරතුරදී චීන ජනාධිපතිවරයාගෙන් මේ ඉල්ලීම කර තිබේ.

ෂැංහයි නුවර පැවැති තරගය ජය ගත් තම කණ්ඩායමට ක්‍රීඩා නොකළ මේ ක්‍රීඩකයන් තිදෙනා පෙරළා සිය රට ගිය කණ්ඩායම සමග ගමන් කලේද නැත. ක්‍රීඩකයන් අව් කණ්ණාඩි සොරකම් කරන දර්ශන ඇතුළත් වීඩියෝ පථ බළධාරීන් සතුව තිබෙන අතර මේ ක්‍රීඩකයන්ට තව සති දෙක තුනක් චීනයේ රැඳී සිටීමට සිදුවනු ඇත.

ට්‍රම්ප් විසින් මේ කාරණය මතු කිරීමෙන් පසුව, සිද්ධිය පිළිබඳව සොයා බලා ක්‍රීඩකයන්ට සාධාරණ අයුරින් සැලකීමටත්, කඩිනම් විසඳුමක් ලබා දීමටත් ජින්පිං පොරොන්දු වී තිබේ.

ක්‍රීඩකයන්ට එරෙහිව තිබෙන චෝදනා ලිහිල් කර ඇති බවත් සිද්ධිය ඉක්මන් බේරුමක් කරා යමින් තිබෙන බවත් අමෙරිකානු නිළධාරියෙකු පවසයි.

අමෙරිකානු ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෝන් එෆ්. කෙලි ක්‍රීඩකයන්ගේ පවුල් සමග සාකච්ඡා කර ඇති බවත් චීන බළධාරීන් සමග ඔහු නිරන්තරයෙන් සම්බන්ධව සිටින බවත් එම නිළධාරියා කියයි.

චීනයේ නීතියට අනුව යුආන් 2,500කට (ඩොලර් 380) වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ සොරකම් කිරීමේ වරදට සිර දඬුවම් පැමිණවීමේ අවස්ථාව තිබෙන අතර යුආන් 7,000 සිට 10,000 (ඩොලර් 1,050 සිට 1,510) වටිනාකමින් යුත් බඩු සොරකම් කර හසුවන පුද්ගලයෙකුට වසර දෙකේ සිට තුන දක්වා සිර දඬුවම් කාලයක් නියම විය හැක.

එහෙත් මේ සිද්ධියට සම්බන්ධ ක්‍රීඩකයන් තිදෙනා තවමත් තරුණ වියේ පසුවන අය බැවින් හා ඔවුන් වරද පිළිගෙන පාඩුව ගෙවා දැමීමට ඉදිරිපත් වීම යන කරුණු මත දඬුවම ලිහිල් කිරීමේ අවස්ථාව තිබේ.

‘කැලිෆෝනියා, ලොස් ඇන්ජලීස් සරසවිය’ යනු අමෙරිකාවේ තිබෙන එක් ප්‍රධානතම පාසල් බාස්කට්බෝල් වැඩසටහනකි. චෝදනා ලැබ සිටින එක් ක්‍රීඩකයෙකු වන ලිඇන්ජලෝ ගේ පියා ලා වා බෝල් ඇතුළු බෝල් පවුල එරට ක්‍රීඩා ලෝකයේ ජනප්‍රිය නාමයක් බවට පත්ව තිබේ.

(විදෙස් පුවත් ඇසුරිණි) 

නව අදහස දක්වන්න