ඇෆ්ගනිස්තාන යොවුන් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දමති | දිනමිණ

ඇෆ්ගනිස්තාන යොවුන් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දමති

ඩාර්විෂ් රසූලි

පසුගිය වසරේ ශූරයෝ අනුශූරයෝ අවසන් පූර්ව වටයෙන් ඉවතට

අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ මූලික වටයේ අවසන් තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 134ක දැවැන්ත ජයක් වාර්තා කළ ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබූ බලාපොරොත්තු බිඳ දැමුවේය. ඊයේ තරගයේ ලකුණු ලබාගැනීමේ වේගය මත තරග 2ක් ජයගෙන සිටින ඇෆ්ගනිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්වුයේ තරග 2ක් ජයගෙන සිටින ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට ඇද දමමිනි.

මේ අනුව පසුගිය වසරේ මේ තරගාවලියේ අනුශූරතාව දිනූ ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර පසුගිය වසරේ ශූරයන් වූ ඉන්දියාවත් තරගාවලියෙන් ඉවත් කරමින් ඊයේ පැවැති ‘ඒ‘ කාණ්ඩයේ අවසන් තරගයේදී ඉන්දියාවට එරෙහිව කඩුලු 8ක ජයක් අත්පත් කරගනිමින් අවසන් පූර්ව වටයට සේන්දුවීමට බංග්ලාදේශය සමත්විය.

වර්ෂාව හේතුවෙන් ඕවර 20කට සීමාවූ ඇෆ්ගනිස්තාන - එමිරේට්ස් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය කඩුලු 3ක් දැවී ලකුණු 224ක් රැස්කළ අතර පිළිතුරු ලෙස එමීර් පිලට කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 90ක් පමණි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ ඩාර්විෂ් රසූලි නොදැවී ලකුණු 105ක් රැස්කළේ පන්දු 38ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 7කින් හා හයේ පහර 10කින් වර්ණවත් විය. රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 39කින් ලකුණු 59ක් ඉනිම එක් ක‍ළේය.

‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 187කට සීමා කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඕවර 28කදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 2ක් පමණක් අහිමිකර ගනිමිනි. ඒ සමගින් බංග්ලාදේශය මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස අවසන් පූර්ව වටයට පිවිසි අතර සත්කාරක මැලේසියාව සමග පැවැති තරගයෙන් ජයගත් නේපාලය එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්විය.

ඒ අනුව බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය සහභාගීවන තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (16) හා අනිද්දා (17) පැවැත්වෙයි. 

 

නව අදහස දක්වන්න