අම්පාරේ අරුම පුදුම ඉස්කෝලයක් | දිනමිණ

අම්පාරේ අරුම පුදුම ඉස්කෝලයක්

සිසුන් නෑ විදුහල්පතියි ගුරුවරියයි විතරයි

පාසල් සිසුන් නැති දෙවසරක සිට විදුහල්පතිවරයකු සහ ගුරුවරියක් පමණක් සිටින පාසලක් අම්පාර අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පවත්වාගෙන යයි. මේ දෙමළ විද්‍යාලයට අන්තිමට සිසුවියක් පැමිණ ඇත්තේ 2014 වර්ෂයේදීය. 6 වැනි වසරේ අධ්‍යාපනය ලැබු එම සිසුවිය 2015 නොවැම්බර් තෙක් අධ්‍යාපනය හදාරා ඇත.

අම්පාර නගරයේ පාසල් 8ක් පමණ ඇත. දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් නැතිව මේ පාසල පමණක් හුදෙකලා වී ඇත. දෙමළ භාෂාව කතා කරන පවුල් කීපයක් අම්පාර නගරයේ සිටිය ද ඔවුහු සිංහල පාසල්වල අධ්‍යාපනය හදාරති.

1950දී ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය යටතේ සිටි දෙමළ සේවක දරුවන් මේ පාසලට ඇතුළත් කර ඇත.එහි දරුවන් බදවා ගනු ලැබු දිනය 1983 ජනවාරි මස 17 ලෙස සඳහන්ය.

පාසලේ පංති කාමර රජයේ කටයුතුවලට භාවිතා කරයි. විදුහල්පතිවරයාගේ කාර්යාලය සහිත ගොඩනැගිල්ල පමණක් පාසලේ කටයුතුවලට වෙන්කර ඇත. දිරාපත්වන පාසල් උපකරණ සහ විද්‍යාගාර උපකරණ භාවිතයට නොගැනීමෙන් මෙන්ම පෙළ පොත් වේයන් කෑමෙන් විනාශ වී ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් සදහා ගුරුවරුන් සහ විදුහල්පතිවරුනගේ විශාල අඩුවක් දක්නට ලැබෙන අතර එම පුරප්පාඩු අවරණය නොකර මේ ගුරුවරුන් දරුවන් නොමැති පාසලක සේවයට යොදවා තිබීම මානව සම්පත් නිසි පරිදි අධ්‍යාපනය සඳහා යොදවා නොගැනීම පිළිබඳ අවධාරණය කිරීමකි.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන පරිදි පාසලක් පවත්වාගෙන යාමේ වියදම් සහ වැටුප් ගෙවමින් මේ විදුහල්පතිවරයා සහ ගුරුවරිය වසර දෙකක කාලයක් නිකරුනේ රදවා ගෙන සිටී. රජයට සිදුවන පාඩුව පිළිබද මේ වනතෙක් සිදු කර නැති බව ද ඔවුහු පවසති.

2010 වර්ෂයෙදී පාසලේ අපොස සා/පෙළට සිසු සිසුවියන් 15ක් සිටි බව ද ඉන් පසු නැවතී ඇති බව ද  නාම ලේඛණ මගින් සනාථ වේ. 2010න් පසු වසර 4ක් තිස්සේ හිස් වූ පාසලට නැවත සිසුවියක් භාර ගනුයේ 2014 ජනවාරි මාසයෙදීය. ඇයද වසරකට පසුව පාසලෙන් ඉවත් වේ.

අම්පාරට කිලෝමීටර් 10ක පමණ දුරින් පිහිටි සම්මන්තුරේ ප්‍රා. ලේකම් කොට්ඨාසයට අයත් නවවලතාපිටිය සහ පැරැණි පවතාපිටිය ගම්මාන දෙකේ අංගසම්පූර්ණ දෙමළ පාසල් දෙකක් පිහිටා ඇත.

විදුහල්පති කදිරාමන් යෝගනාදන් මහතා මේ ගැන අදාළ ඉහළ නිලධාරීන්ට දන්වා තිබේ. 2014 වසරේ අම්පාර කාවන්තිස්ස විදුහලේ දෙමළ භාෂාව ඉගැන්වු ගුරුවරිය එක් දරුවකු වෙනුවෙන් ඉගැන්වීමට මේ පාසලට ස්ථාන මාරුවීම් දී තිබේ.

දිගාමඩුල්ල සමූහ
චන්දන ලියනආරච්චි

නව අදහස දක්වන්න