අඩුපාඩුවලින් අඩු නැති දමන ප්‍රාදේශීය රෝහල සායන ගස් යට | දිනමිණ

අඩුපාඩුවලින් අඩු නැති දමන ප්‍රාදේශීය රෝහල සායන ගස් යට

කාලයක් තිස්සේ දමන ප්‍රාදේශීය රෝහලේ පවතින අඩුපාඩු සපුරා දෙන්නැයි ප්‍රදේශවාසීන් මෙන්ම එහි කාර්ය මණ්ඩලය ද අදාළ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ප්‍රධාන උප නගරය වන්නේ දමනයි. ග්‍රාම නිලධාරි වසම් 33ක් පුරා 30000කට අධික ජනගහනයක් මෙහි වාසය කරති. පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යලය, ප්‍රාදේශීය සභාව, මහා විද්‍යාලය, තැපැල් කාර්යලය ඇතුළු රාජ්‍ය ආයතන රාශියක් දමන උප නගරයේ පිහිටා ඇත.

දමන ප්‍රාදේශීය රෝහල රජයේ බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ කර ඇත්තේ 50 දශකයේ ගල්ඔය සංවර්ධන මණ්ඩලයෙනි. ඉන් පසු 1987 වර්ෂයේ රජයේ මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ වී පසුව මාතෘ නිවාසයක් හා ග්‍රාමීය රෝහලක් ලෙස වැඩි දියුණු වී වර්තමානයේ ප්‍රාදේශීය රෝහලක් ලෙස දියුණු වී ඇත. සතියකට වරක් කායික රෝගී සායනයක්, බෝ වන රෝගී සායනයක් හා මාතෘ හා ළමා රෝග සායනයක් ද පැවැත්වේ. මෙහි බාගිර රෝගී අංශයන් කාර්තුවකට රෝගීන් 12,000කට අධික ප්‍රමාණයක් ද 600කට අධික නේවාසික රෝගීන් ප්‍රමාණයක් ද ප්‍රතිකාර ලබා ගනී. ඊට අමතරව දන්ත සායන හා රසායනාගාර සේවවන් ද පැවැත්වෙනක අතර ඒ සදහා මාසිකව 1,000කට අධික සංඛ්‍යාවක් සේවය ලබා ගනී. නමුත් ඔවුන්ට ගැටලු රාශියක් ඇති බව රෝහල් කාර්ය මණ්ඩලය කියති. මෙහි බාහිර රෝගී අංශය සදහා ප්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම් නැත. දැනට පවත්වාගෙන යන්නේ ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලය මගින් ඉදි කරන ලද පැරැණි කුඩා ගොඩනැගිල්ලකය. මෙහි රෝගීන් 25කටවත් ඉඩකඩ මදිය. සායන සඳහා කිසිඳු ගොඩනැගිල්ලක් නැත. දිනකට පැමිණෙන රෝගීන් 300ක් පමණ දරු මල්ලන් සමඟ තමන්ගේ වාරය එනතුරු රැදී සිටින්නේ මිදුලේ ඇති ගස් යටය. එමෙන්ම කුඩා ළමුන් සඳහා වාට්ටුවක් හෝ එක්ස්-රේ පහසුකම් නැත. කාර්ය මණ්ඩලයට නේවාසිකාගාර පහසුකම් නැත.

මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමුකර මෙහි පවතින අඩු පාඩු සපුරා ප්‍රදේශයේ අසරණ රෝගීන් සදහා වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීමට කටයුතු කරන්නැයි ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

අම්පාර සමූහ රවීන්ද්‍ර මැද ගෙදර

නව අදහස දක්වන්න