කොක්නහර-වටිනාගල පාර කිඹුලන්ට ගිහින් | දිනමිණ

කොක්නහර-වටිනාගල පාර කිඹුලන්ට ගිහින්

අම්පාර මැතිවරණ කොට්ඨාසයේ දමන ප්‍රාදේශීය ලේකම් සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් 5 වැනි පාලමේ සිට 4 වැනි පාලම දක්වා මාර්ගයේ කිලෝමීටරයක පමණ ප්‍රමාණය ඉතා අබලන් පවතී.

අම්පාර, දමන, කොක්නහර හරහා වඩිනාගල දක්වා ඇති මේ ප්‍රධාන මාර්ගය වැසි දිනවල යා නොහැකි ලෙස මඩවගුරක් බවට පත්ව ඇත. මේ නිසා ගම්වැසියන් මෙන්ම වාහන ද දුෂ්කරතාවට පත් වේ. මේ ස්ථානය වංගු සහිතවීම නිසා ද මේ ගැටලුව තවත් වැඩි වී ඇත.

අම්පාර පහළලන්ද පාදාගොඩ පුරාණ රජමහ විහාරාධිපති තලාගංගොඩ ධම්මරතන හිමි - මේ පාරේ කිලෝමීටරයක් පමණ මී හරක් නෑවිය හැකි තරමට ඉතා ගැඹුරට වළවල් හෑරීලා. යන එන අයට මේක මහත් බාධාවක්. අම්පාර දමන රාජ්‍ය ආයතන සහ විවිධ රැකියාවන්වලට යන අයටත් පාසල් දරුවන්ටත් මේක මහත් පීඩාවක්. කාපට් කර ඇති මාර්ගයේ ඉතිරිව ඇති මේ කිලෝමීටරයක පමණ ප්‍රමාණය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

දමන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දේවලහිද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහලප්ති පී. එස්. එස්. උපුල් කාන්ත මහතා - මාර්ගය කාපට් කිරීමට ඉතිරිව ඇති කොටසේ විශාල වළවල් හෑරීලා. ඒවා කුඩා වැව් වගේ. මේක ගමනාගමනයට මහත් බාධාවක්. දකුණු ඇළේ ඉන්නා කිඹුලන් රාත්‍රීයේ මේ විශාල වළවල්වල සිටිනවා. උන් මගීන් පසු පසු හඹා ගිය අවස්ථා ද තියෙනවා. මාර්ගය හරස් කර ජනතාව විරෝධතාවක් ද කරා කඩිනමින් මාර්ගය යථාවත් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන් හට බලකර සිටිනවා.

ඉඟිනියාගල සමූහ ජේ. ඩී. ලයනල් ප්‍රේමසිරි

නව අදහස දක්වන්න