මල්වතු පාර්ශ්වය කඩන්න හැදූ අය අද ශාසනයේ ආරක්ෂකයන් වෙලා | දිනමිණ

මල්වතු පාර්ශ්වය කඩන්න හැදූ අය අද ශාසනයේ ආරක්ෂකයන් වෙලා

එදා මෙදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් පස්දෙනකු මේ රට පාලනය කළා. ඔවුන් අතරින් එක් අයකු හැරෙන්නට ඉතිරි හතරදෙනා තම පෞද්ගලික වස්තුව පවා ජනතා යහපතට යොදවමින් මේ රටේ දුක් විඳින ජනතාවගේ යහපත සඳහා ක්‍රියාකරමින් රට පාලනය කළා යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. ඒ මහත්මිය මේ අදහස් පළකළේ වත්තල පුරහලේ පැවැති උත්සවයකදීය.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඩෝල්ටන් ජානක සූරියබණ්ඩාර, වත්තල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ලෙස පත් කිරීමෙන් පසුව ඒ මහතා පිළිගැනීම සඳහා මේ උත්සව සභාව සංවිධාන කර තිබිණි.

වැඩිදුරටත් කතා කළ හිටපු ජනාධිපතිනිය මෙසේ ද කීවාය.

මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාලකයින්ගෙන් ඒකාධිපති පාලනයක් ගෙන ගියේ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදීයි. තමන් විවේචනය කළ ජනමාධ්‍යවේදීන් අමු අමුවේ මරා දැම්මා, නැත්නම් අතපය කඩා දැමුවා. අද ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ගැන කතා කරනවා.

දහඅටවන ආණ්ඩුක්‍රම සං‍ශෝධන පනත අග්‍රවිනිශ්චයකාරිනිය ඉවත් කිරීමේ පනත ආදි පනත්වලදී මැති ඇමතිවරුන්ගේ හෘදය සාක්ෂියට බලපෑම් කළා. එතුමා අද මැති ඇමතිවරුන්ට හෘදයසාක්ෂියට අනුව ඡන්දය පාව්චිචි කරන්න නිදහස ලබාදෙන්න යයි අගමැති හා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රෙදි ඇඳගෙන ද?

කිසිදාක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයකු ලෙස රට පාලනය නොකළත් හිටපු ජනාධිපතිවරයා මේ රටේ ජනාධිපති පමණක් නොව රජෙක් යයි සිතා පාලනයක් ගෙන ගියා.

හිටපු අගමැතිනිය තමන් වයස්ගතවෙද්දී පාලනය අතහැරියා. එහෙත් හිටපු ජනාධිපතිවරයා මැරෙනතුරු මේ රටේ නායකයා ලෙස සිටීමට පනත් සම්මත කරගත්තේ විපක්ෂයට අදහස් පැවසීමට පවා ඉඩ ප්‍රස්ථා නොදෙමිනුයි. මල්වතු පාර්ශ්වය දෙකඩ කිරීමට පිඹුරුපත් ඇන්ද ඔහු අද නායක හිමිවරුන්ගේ ආරක්ෂකයා වෙලා එදා මෙම ඒකාධිපති වියරුව ඉවසාගත නොහැකිවූ ජන නායකයින් හා සිවිල් සංවිධාන මගෙන් ඉල්ලා සිටියා මේ පාලනය අවසන් කිරීමට මැදිහත් වෙන ලෙසට. ඒ නිසා තමයි මා මැදිහත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට පියවර ගත්තේ.

2015 ජනවාරි 08දා මේ රටේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 60ක් එදා හිටි ජනාධිපති ප්‍රතික්ෂේප කළා.

එසේ ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයකුට මේ රටේ නායකත්වයට පත්වීමට සදාචාරාත්මක අයිතියක් තිබේදැයි සලකා බැලිය යුතුයි.

බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ මේ රටේ පොදු ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට මිස මේ රටේ මහජන මුදල් කොල්ලකා පොදු ජනතාව සූරාකමින් අපහසුතාවට පත් කිරීමට නොවෙයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා කරන විමල්ලා, ගම්මන්පිලලා, දිනේෂ්ලා, බන්දුලලා, ජී. එල්ලා, බැසිල්ලා පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ද කියා සොයාබලන්න කියා මා ඉල්ලා සිටිනවා.

අද අප පළමුව සිතාබැලිය යුත්තේ රට ගැන හා රට සංවර්ධනය කර ලෝකයේ කැපීපෙනෙන රටක් කිරීම ගැනයි. දෙවනුවයි පක්ෂය ගැන හිතිය යුත්තේ. අප පළමුවෙන්ම මේ රට සංවර්ධනය කරන සැලැස්මක් හැදුවා. අප ඒ සැලැස්ම තමයි දින 100න් කළේ.

අප ඡන්දයට බය නැහැ. කොට්ඨාස ඡන්දයක් තියෙන කොට ඒ කොට්ඨාස අසාධාරණයක් නොවන පරිදි බෙදිය යුතුයි. ඒකයි පමා වූයේ ජනවාරි මාසයේදී නගර සභා, ප්‍රාදේශීය සභා ඡන්ද තියනවා. සිංහල අවුරුදුවලට පෙර පළාත් සභා ඡන්දය තියනවා. මැතිවරණ වියදම් අවම කරගෙන එකම දිනයකදී රට පුරාම ඡන්දය තියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිමිනුයි. එහෙම නැතිව කෑලි කෑලිවලට ඡන්දය තබමින් ඡන්ද දායකයින්ට බලපෑම් කරමින් ඡන්ද තියන්නේ නැතැයි ද පැවසුවාය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.

ජුලියන්‍ කෝරාළ

නව අදහස දක්වන්න