බෞද්ධ පුස්තකාලයක් ඉදිකිරීමේ අය-වැය යෝජනාව විශිෂ්ටයි | දිනමිණ

බෞද්ධ පුස්තකාලයක් ඉදිකිරීමේ අය-වැය යෝජනාව විශිෂ්ටයි

කමනි අල්විස්

රුපියල් බිලියන 50 ක වියදමින් ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයක් කොළඹ නගරය මැද ඉදිකිරීමට ඇමැති මංගල සමරවීර මහතා සිය මංගල අයවැයෙන් පියවර ගැනීම අති විශිෂ්ට ක්‍රියාවක් බව ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ ප්‍රකාශ කළහ.

මිනිසාගේ ආධ්‍යාත්මික දියුණුවට කදිම පිටිවහලක් එමඟින් ලබා දෙන බවත් උන්වහන්සේ පැවසූහ. මංගල ඇමැතිතුමාගේ අයවැයේ ඇතැම් යෝජනාවල යම් සාධනීය තත්ත්වයක් පවතින බවත්, ඒවා අගය කරමින් ස්තූතිය පළකරන බවත් උන්වහන්සේ පැවසූහ.

හරිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා වැදගත් යෝජනා බවත් පැවසූ උන්වහන්සේ බරපතළ විවේචනයට ලක්වන යෝජනා තිබෙන බවත් පෙන්වා දුන්හ.

මද්‍යසාර භාවිතය සම්බන්ධයෙන් ඇමැතිවරයා වෙත ලැබී තිබෙන්නේ වැරදි සංඛ්‍යාලේඛන බව උන්වහන්සේ ප්‍රකාශ කළහ. බියර් මිල පහත දැමීම පිළිබඳව රාමඤ්ඤ මහා නිකායේ විරෝධය පළකළ උන්වහන්සේ බීර මිල පහත හෙළීමේ තීරණය ගැනීමට පෙර ජනාධිපතිතුමා හා අගමැතිතුමාගෙන් විමසීමක් කළා ද? කැබිනට් මණ්ඩලයේ අදහස් ලබාගත්තා ද? සෞඛ්‍ය ඇමැතිගෙන් විමසීමක් කෙරුවාද යන්න පිළිබඳව සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය හා දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ අධිකාරියෙන් විමසීමක් කර තිබුණාදැයි පිළිබඳව දැනගැනීමට අවශ්‍ය බවත් උන්වහන්සේ පැවසූහ.

දන්නා තරමින් ජනාධිපතිතුමා මේ පිළිබඳව විරෝධය පළකැර ඇති බව පැවසූ උන්වහන්සේ ඇමැති මණ්ඩලය මෙය අනුමත කර නැති බවත් පැවසූහ. ඇමැති රාජිත සහ ඇමැති පාඨලී මේ පිළිබඳව විරෝධය පළකර තිබෙන බවත් උන්වහන්සේ පැවසූහ.

බියර් මිල පහත හෙළීම දුම්කොළ ආශ්‍රිත නිපැයුම්වලට නව බලපත්‍ර දීම, සුරාසල් අභිනවයෙන් ඉදිකිරීමට නව බලපත්‍ර දීම යන යෝජනා වහාම ඉවත් කර ගත යුතු බව ද පැවසූ ඕමල්පේ සෝභිත නාහිමියෝ අත්දැකීම් බහුල මංගල ඇමැතිතුමා වෙත දැනුම් දෙන්නේ ‍එම යෝජනා ඉවත් කර ගන්නා ලෙසට යැයි ද ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ ප්‍රකාශ කළහ.

ශාන්ති පදනමේ සභාපති කොටපොළ අමරකිත්ති නාහිමි, වජිරාරාමවාසී ඥානසීල ස්වාමීන් වහන්සේ මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූහ. විද්වත් සංඝ සභාවේ පස්සරමුල්ලේ දයාවංශ ස්වාමීන් වහන්සේ සහ බුදුගල දිනවංශ ස්වාමීන් වහන්සේ ඇතුළුව සම්මාජීව පදනමේ සභාපති චතුර ලියනගේ මහතා මෙම අවස්ථාවට සහභාගි විය. 

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න