දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කරන්නැයි කළ පෙත්සම පෙබරවාරි 26ට කල් තැබේ | දිනමිණ

දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කරන්නැයි කළ පෙත්සම පෙබරවාරි 26ට කල් තැබේ

නෙල්කා මැදගෙදර

මැදිහත් පාර්ශ්වකරුවන්ගේ පෙත්සම්වලට අවසර දීම ගැන විරෝධය

මහනුවර දළදා මාලිගාව ඉදිරිපස වසාදමා ඇති ඒ-26 මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම පෙබරවාරි මස 26 දින තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීරණය කෙළේය.

ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන, නලීන් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී. පෙත්සමෙහි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ඊයේ (13) අධිකරණයේ පෙනී නොසිටීම නිසා පෙත්සම සලකා බැලීම කල් තබන ලදී.

මෙම පෙත්සම විභාගයට අවසර දීමට පෙර මැදිහත් පාර්ශවකරුවන්ගේ පෙත්සම්වලට අවසර දීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා සිය විරෝධතාව පළ කෙළේය.

අතරමැදි පෙත්සම්වලට අවසර දෙනවානම් එය කළයුත්තේ පෙත්සම සම්බන්ධ කරුණු සලකා බැලීමෙන් අනතුරුව බව හෙ‍තෙම සඳහන් කෙළේය. මහනුවර ප්‍රදේශයෙහි පදිංචිකරුවන් සිව්දෙනකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

මෙම පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී ඊට මැදිහත් පාර්ශවකරුවන් ලෙස එක්වීමට අස්ගිරි, මල්වතු මහානායක හිමිවරු, දියවඩන නිලමේවරයා, සතර මහ දේවාලවල බස්නායක නිලමේවරු අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියහ. මහනුවර හිල්වුඩ් සහ මහාමායා බාලිකා විදුහල් සිසුන්ද පෙත්සමට මැදිහත්වීමට අවසර ඉල්ලා සිටියහ.

ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥවරුන් වන මනෝහාරද සිල්වා, සංජීව ජයවර්ධන යන මහත්වරු සහ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා මැදිහත් පාර්ශව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

‍නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියි.

නව අදහස දක්වන්න