දකුණු පළාත ආසියාවේ ප්‍රමුඛතම අපනයන කේන්ද්‍රස්ථානය කරනවා | දිනමිණ

දකුණු පළාත ආසියාවේ ප්‍රමුඛතම අපනයන කේන්ද්‍රස්ථානය කරනවා

අකුරැස්ස සමූහ - තේජා විද්‍යාරූප

හම්බන්තොට විශාල කර්මාන්ත පුරයක් ඇති කරනවා වෙළෙඳකලාප කීපයක් එකතු කරලා . දැනටමත් තෙල් පිරිපහදුවකට, සීඑන්ජී විදුලි බලාගාරයකට,සිමෙන්ති කම්හලකට, වානේ කම්හලකට, නැව් තටාකයකට ඉඩම් ඉල්ලලා තිබෙනවා. මේවා දැන් වෙන්කරගෙන යනවා.අපි ඊයේ සාකච්ඡා කළා වෙළෙඳකලාප ආරම්භ කරන්න.මේවා ආරම්භ කරන්න වෙළද සමාගම් කීපයක් ඉදිරිපත් වෙලා තිබෙනවා

* අපි භාරගත්තේ ණය වැඩිවෙලා සංවර්ධනය අහිමිවෙච්ච රටක්
* අපේ පොරොන්දු සියල්ලම ඉටුවෙලා හැම කෙනෙකුටම ඉඩමක අයිතිය ලැබෙනවා
* දැන් අපිට පුළුවන් අපේ ආදායම්වලින් ණය ගෙවලා ඉතිරි මුදල් සංවර්ධනයට යොදවන්න

සිංහරාජ සංවර්ධනය, හම්බන්තොට කර්මාන්ත පුරය හා සංචාරක ව්‍යාපෘති තුළින් කොළඹට නොදෙවෙනි ආර්ථිකයක් දකුණට ලබාදෙමින් දකුණු ආසියාවේ ප්‍රමුඛතම අපනයන කේන්ද්‍රස්ථානය බවට මුළු දකුණම පත්කරනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 05 දා දෙනියායේ දී පැවසීය.

දෙණියාය මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති කඩිනම් ඉඩම් ඔප්පු ලබාදීමේ මහෝත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මෙසේද කීය.

සැප්තැම්බර් මාසේ මම මොරවකට ආපු වෙලාවේ මේ ඉඩම් ඔප්පු දෙන එක ඔක්තෝම්බර්වල කරන්න පුළුවන්ද කියලා මම සාගල ඇමැතිතුමාගෙන් සහ ගයන්ත ඇමැතිතුමාගෙන් ඇහුවා. ඒක ඔක්තෝම්බර්වල කරන්න බැරිවුනත් අපිට නොවැම්බරයේ දී කරන්න පුළුවන් වුණා. දැන් දෙණියායේ විතරක් නෙමෙයි හැම තැනම ගිහින් ඔප්පු ලබාදෙන්න ගයන්ත ඇමැතිතුමා පටන් අරන්. අපිට දැන් ඉතිරිවෙලා තියෙන්නේ සින්නක්කර ඔප්පු ලබාදෙන නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න විතරයි. ඒකත් කළාම අපේ පොරොන්දු සියල්ලම ඉටුවෙලා හැම කෙනෙකුටම ඉඩමක අයිතිය ලැබෙනවා. ඉඩම් වැඩකටයුතු කලට වේලාවට කෙරෙන්න ඕන.අපේ ජීවිතයක සුරක්ෂිතභාවය තමයි ඉඩමක අයිතියයි. ගෙයක් ලබාගැනීමයි.අපි ඉඩම් ලබාදුන්නාම ඒ සමඟම ඔප්පුවකුත් ලබාදෙන්න ඕන.නිවාස ඉදිකරන්න ණය පහසුකම් ඇතිව ලබාදෙන්න ඕන.ඒකයි අපේ ප්‍රධාන කටයුත්ත. ඉඩම ගත්ත වගේ නිවසක් හදන්නනම් ආදායමක් තියෙන්න ඕන. ඒ ආදායම් ලබලා දෙන්නේ මේ රටේ රැකියා ආදායම් මාර්ග වැඩිකරලා. රැකියා ආදායම් මාර්ග දියුණු කරලා. කාරණා දෙකක් තිබෙනවා. එකක් සුරක්ෂිතභාවයට ඉඩම් ලබාදෙන්න ඕන. නිවාස හදන්න අවස්ථාව දෙන්න ඕන. අනිත් අතට ඒ සඳහා වියදම් කරන්න ඕන ආදායම් මාර්ග අපි සකස් කරලා දෙන්න ඕන.

අපි භාරගත්තේ ණය වැඩිවෙලා සංවර්ධනය අහිමිවෙච්ච රටක්. 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ ණය අඩුවෙන්න තිබුණා සංවර්ධනය වැඩිවෙන්න තිබුණා.ඒත් යුද්දෙන් පස්සේ අපේ ණය වැඩිවුණා. සංවර්ධනය නැවතුණා.ණය අරගෙන අරගෙන 2013 වෙනකොට ණය ගෙවන්න අපේ ආදායම මදිවුණා.සාමාන්‍ය පුද්ගලයෙක් මෙහෙම ණය වුණානම් එයාලගෙන් භාගයක් තුන්කාලක් ගිහින් සියදිවි නසාගන්නවා.නමුත් රටකට ඒක කරන්න බෑ.රටකට සියදිවි නසාගන්න බැරි නිසයි ජනතාව අපිට ආණ්ඩුව බාරදුන්නේ.අපි මේ ණය ගෙවන්නනම් ශීඝ්‍ර අපනයන සංවර්ධනයක් කරන්න ඕන.ශීඝ්‍ර සංවර්ධනයක් කියන්නේ අපනයන වෙළෙඳපොළ අල්ලගෙන කරන සංවර්ධනයක්. ණයවෙලා ණය ගෙවන්න බැරිනම් රටේ ආර්ථිකය අස්ථාවර වෙනවා. ණය ගෙවන්න කියලා තමයි අපි අවුරුදු දෙකක් කාලය ගතකළේ. ආදායම් වැඩිකරලා ණය ගෙවන්න. දැන් අපිට පුළුවන් අපේ ආදායම් වලින් ණය ගෙවලා ඉතිරි මුදල් ටික සංවර්ධනයට යොදවන්න.

ණය ගන්නවා වගේම ණය ගෙවන්නත් ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.දැන් අපි ණය ගෙවන එක ආරම්භ කළා. 2016 දී වැට් වැඩිකරන්න සිදුවුණා.උද්ඝෝෂණයක් ඇතිවුණා.කොහොම හරි අපේ ආර්ථිකය වැඩිකරගෙන යනවා.සංස්ථාවලට කියලා තියෙනවා අලාභ ලබන්නේ නැතුව ලාභ ලබන්න කියලා. අපිට වැඩියෙන්ම ණය ගෙවන්න තියෙන්නේ එන අවුරුද්දෙයි.2019 දියි.මේ අවුරුදු දෙකේ අපිට රුපියල් කෝටි ලක්ෂ තුනක් ආපසු ගෙවන්න තියෙනවා. ඒ විශාල ණය ගෙව්වොත් අපිට ඉදිරියට යන්න පුළුවන්. සමහරු කියනවා මේ ණය ගෙවන එක කල්දාන්න කියලා. ඒක කරන්න බෑ.එහෙම කළොත් අපි ණය ගෙවන එක අපේ කාලේ නෙමෙයි ඊළඟ පරම්පරාවට භාරදෙනවා. මට ඕන නෑ මේ ණය ගෙවන එක ඊළඟ පරම්පරාවට භාරදෙන්න.අපි මේ ණය ගෙවලා ඉතිරි මුදල් රටේ සංවර්ධනයට සමාජ දියුණුවට යොදවනවා.

දැන් ණය ගෙවන ගමන් සංවර්ධනයත් කරනවා.ඒ සංවර්ධනයෙන් තමයි අපේ ආදායම් මාර්ග වැඩිකරගන්න තියෙන්නේ. මේක ලංකාවේ ඉන්න මිලියන 23ක වෙළඳපොළෙන් කරන්න බෑ.අපි මුළු ලෝකෙම අල්ලගන්න ඕන.අපි දැනටම යූරෝපීය වෙළඳපොළට ඇතුළුවෙන්න ජීඑස්පී ප්ලස් ලබාගෙන තියෙනවා.අනිත් වෙළඳපොළ අල්ලගන්න යනවා. මේ සියල්ලම කරන්න අපනයන සංවර්ධනයක් ඇතිකරන්න අපිට කරන්න පුළුවන් එකම දේ පුද්ගලික ආයෝජනය.රජයේ සංස්ථා, සමාගම් දාලා මේවා කරන්න බෑ.පුද්ගලික ව්‍යාපාර කරන්න අපි දෙශීය ආයොජකයන්ට විතරක් කතා කරලා මදි. ඒ සඳහා අපි විදේශීය ආයෝජකයන් ගෙන්න ගන්න ඕන.ලබන වසරේ අප්‍රේල් 01 දා ඉදලා අපනයන හා සංවර්ධන වැඩ කරන සමාගම්වලට බදු සහන ලබාදෙන්න දිරිගැන්වීම් ලබාදෙන්න අළුත් නීතිය ක්‍රියාත්මක වෙනවා.

හම්බන්තොට විශාල කර්මාන්ත පුරයක් ඇති කරනවා වෙළෙඳකලාප කීපයක් එකතු කරලා . දැනටමත් තෙල් පිරිපහදුවකට, සීඑන්ජී විදුලි බලාගාරයකට,සිමෙන්ති කම්හලකට, වානේ කම්හලකට, නැව් තටාකයකට ඉඩම් ඉල්ලලා තිබෙනවා. මේවා දැන් වෙන්කරගෙන යනවා.අපි ඊයේ සාකච්ඡා කළා වෙළෙඳකලාප ආරම්භ කරන්න.මේවා ආරම්භ කරන්න වෙළද සමාගම් කීපයක් ඉදිරිපත් වෙලා තිබෙනවා.මේවාට දෙන්න අක්කර 2000ක් ඉතිරිවෙලා තියෙනවා. අක්කර 2000ක් කියන්නේ කටුනායකයි, බියගමයි. සීතාවකයි, කොග්ගලයි හතරම එකතු කළත් එච්චර නෑ.රබර් කර්මාන්තයක් පටන්ගන්න එක සමාගමක් අක්කර 300ක් ඉල්ලා තිබෙනවා.ඒකට අවශ්‍ය රබර් ලංකාවෙත් නෑ. මොනරාගලත් අපි තව රබර් වවන්න බලාපොරොත්තු වෙනවා.මේ භාණ්ඩ සියල්ලම එකතු කරලා හම්බන්තොට වරායෙන් චීනෙට යවනවා.අපිට විසදගන්න බැරි ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ සූරියවැව ක්‍රීඩාංගණය. අනිත් ප්‍රශ්න ක්‍රමානූකූලව විසදාගෙන යනවා.

මත්තල කටුනායක අතර මාර්ග පද්ධතිය බලනකොට සංචාරකයන්ට හොඳම කලාපය ගාලු දිස්ත්‍රික්කය. ගාලු දිස්ත්‍රික්කයේ විශාල සංචාරක කලාපයක් ඇති කිරීමේ කටයුතු සංචාරක අමාත්‍යාංශයත් දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයත් කරගෙන යනවා. විශාල සංචාරක කලාප හතරක් ගාල්ලේ ඇති කරනවා. මාතර ගාලු නගරවල සංචාරක ව්‍යාපෘති ඇතිකරනවා.කුඩා සංචාරක ව්‍යපෘතිවලට උදව් කරනවා. දෙවනුව වැලිගම චාලි මවුන්ට් එකේ කර්මාන්ත පුරයක් ඇති කරනවා.තෙවනුව සිංහරාජ ව්‍යාපෘතිය ආරම්භ කරනවා.මේවා කෙරෙනකොට ඒවායින් දකුණට සම්පූර්ණයෙන් අළුත් ආර්ථිකයක් ඇති වෙනවා.අපනයන සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල පත්වෙනවා.අද අපි ක්‍රියාකරන්නේ ණය ගෙවන්න පුළුවන් සංවර්ධනය ඉදිරියට ගෙනියන රටක මහවැලියෙන් පස්සේ විශාලම සංවර්ධනයක් ඇතිවන්නේ මේ දකුණේ.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා.- මේ ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවේ ඉඩම් භුක්ති විඳපු අයට ඉතා කෙටි කලකින් ඔප්පු ලබාදෙන්න පුළුවන් වුණා. මේ වැඩපිළිවෙළ රටපුරාම අරන් යනවා.අපි ලබන වසරේ ඉදලා ලක්ෂ ගණනින් ඉඩම් ඔප්පු ලබාදෙනවා. මේ ජනතාවට ඉඩම්වල වගාකළත් භුක්ති වින්දත් සංවර්ධනය කළත් තමන්ටම කියලා ඔප්පුවක් තිබුණේ නෑ.පාසලට ළමයෙක් ඇතුල් කරන්නත් ඔප්පුව තියෙන්න ඕන. 2020 අපි ඡන්දෙට එන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඉඩම් ඔප්පු ලබාදුන් රජයක නියෝජිතයන් හැටියටයි.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා. - අවුරුදු 30ක් තිස්සේ පරම්පරා දෙකක් තිස්සේ ඉඩම්වලට ඔප්පු නැතුව ජනතාව විශාල දුකක් වින්දා දැන් ඔවුන්ට මේ ඔප්පුවත් සමඟ හිතේ හයිය සමඟ සුරක්ෂිතභාවයත් ඇතිවෙනවා.මේක බැංකුවකට තියලා ණයක් වුණත් ගන්න පුළුවන්.

ඡායාරූප-අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය

නව අදහස දක්වන්න