ශ්‍රීලනිපයේ විජයග්‍රහණයට පක්ෂයට නැවත එන්න | දිනමිණ

ශ්‍රීලනිපයේ විජයග්‍රහණයට පක්ෂයට නැවත එන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විජයග්‍රහණය සඳහා ඒකාබද්ධය ඇතුළු විසිර සිටින පක්ෂයේ සියලු දෙනාට නැවත පක්ෂයට එක්වන ලෙස ඇරයුම් කරන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා සඳහන් කෙළේ ය.

බත්තරමුල්ල ජයන්තිපුර කාර්යාලයේ ඊයේ ( 14) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පියසේන ගමගේ මහතා එම අදහස් පළ කෙළේ ය.

හෙතෙම එහිදී මෙසේ ද සඳහන් කෙළේ ය.

එජනිසයේ මෙන්ම ශ්‍රිලනිපයේ ජ්‍යෙෂ්ඨයකු ලෙස මට ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරවීමට ශක්තියක් වීමට හැකියාව අද ලැබී තිබෙන්නෙ නැවත පාර්ලිමේන්තුවට පත් වූ නිසයි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරවීමට අපට හැකියාව තිබෙනවා.

ද්විත්ව පුරවැසි බව ඇති නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට නීතියෙන් ඉඩක් නැති බවට මෙතෙක් සිටි මන්ත්‍රීවරියට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් පසු පුරප්පාඩු වූ එම ධුරයට මා පත් කළේ. ගාල්ල එජනිස මන්ත්‍රී ලෙස මා දිවුරුම් දුන්නා. කෙසේ වුවත් මෙම තීන්දුව ඓතිහාසික තීන්දුවක්. මීට පෙර කිසි දිනක මෙවැනි තින්දුවක් ඉතිහාසයේ ලබා දී නැහැ. මේ සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් වුවත් මේ තීන්දුව කිසිදු බලපෑමකින් තොරව ලබා දුන් සාධාරණ තීන්දුවක්. මෙය සමස්ත සමාජයේම ඇගයීමට ලක්වන අවස්ථාවක්. සාධාරණ තීන්දුවක් හරහා මා නැවත පාර්ලිමේන්තුවට පත් වුණේ. 1989 සිට 2015 දක්වා එක දිගටම මා ගාල්ල එජනිස සංවිධායක ලෙස විවිධ තනතුරුවලට පත් වෙමින් කටයුතු කළා. ගිලිහි ගිය අවස්ථාව නැවත මට ලැබී තිබෙනවා ඒ අනුව මගේ ආසනය වූ හිනිදුම ජනතාවට සතුටු විය හැකි අවස්ථාවක්. එදා 1989 භිෂණ යුගයේ දිත් අපේ ආසනයට මන්ත්‍රිවරු තිදෙනෙක් පත්ව සිටියා. 2004දිත් එසේ පත් වුණා.

මෙවර දින සියයේ වැඩපිළිවෙළ නිසා අපේ මන්ත්‍රීවරු කිහිප දෙනකුට තම ධුර අහිමි වීමේ ඉරණමට මුහුණ දීමට සිදු වුණා. මටත් එයමයි අත්වුනේ. 2004 සිට 2015 දක්වා ඇමැතිවරු සිව් දෙනෙක් සිටියත් ඉන් පසු එක් අයෙක් වත් නැති ලෙස ආසනය හිස් වුණා. නැවත මෙවර මට ඒ අවස්ථාව ලැබී තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව නිසා අපේ දිස්ත්‍රික්කයට ලොකු ශක්තියක් ලැබුණා. එදා අප ලැබූ ජයග්‍රහණය තවදුරටත් ඉදිරියට ගෙන යාමට මෙය විශාල ශක්තියක්.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

මේ තීන්දුව ලබා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණයෙන් විමසීමෙන් පසුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමෙන් පසුවයි. ඕනම අයකුට විවිධ මත දැරිය හැකියි. අදාල නාම ලේඛන ලැයිස්තුව මේ නිසා ප්‍රතික්ෂේප වීමේ නීතියක් නැහැ. එය ප්‍රතික්ෂේප වන නිර්ණායක කිහිපයක් තිබෙන නමුත් මැතිවරණ නිලධාරීන් මෙවැනි අවස්ථාවක අධිකරණයෙන් තීන්දුවක් බලාපොරොත්තු වෙනවා. නමුත් මැතිවරණ නීතිය අනුව එවැනි ගැටලු අවස්ථාවකදී අදාල ලැයිස්තුව ප්‍රතික්ෂේප වීමක් වන්නේ නැහැ.

ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විසිර ඇති අපේ පක්ෂයේ කණ්ඩායම නැවත එකතු විය යුතුය යන මතයේ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටිනවා. මේ බෙදීම ප්‍රතිවාදියාගේ ජයග්‍රහණයක්. එය අතීතයේ අප අත්විඳ තිබෙනවා. කැඩුණු බෙදුණු අවස්ථාවල පසුබෑමකට ලක්වීමට සිදුව තිබෙනවා. ඒ අනුව සියලු දෙනා එක් වූ විටයි ජයග්‍රහණය ස්ථිර වන්නේ යන්න මගේ මතය මෙන්ම වැඩි දෙනකුගේ ද අදහස එයයි. බෙදී සිටින අය අපේම අය අපි එකට එක්ව කටයුතු කිරීම සිදුවිය යුත්තක්. ඒ අනුව අප පක්ෂයෙන් වෙන් වු අය සියලු දෙනා නැවත එක්ව මැතිවරණයට මුහුණ යුතුයි.

මේ අනුව තවමත් සාකච්ඡා පැවැත්වෙනවා. එවැනි සාකච්ඡාවලට මා සහභාගි නොවුණත් වැඩි දෙනෙක් මේ එක් වීමට එකඟයි. කොටසක් දැඩි මතයක සිටිනවා. පක්ෂ නායක ලෙස ජනාධිපතිවරයා සෑම විටම පක්ෂයට ඒමට එය විවෘතකර තිබෙන්නේ. ගෙවී ගිය වසර දෙක තුළ අපි විවිධ ගැටලුවලට මුහුණ දුන්නා. පක්ෂ නායකත්වය විවේචනය කරනවා. නමුත් විනය විරෝධී වැඩ කළත් ඒවා ගැන විනය පරීක්ෂණ පැවැත්වූවේ නැහැ. මේ සියලු දේ කරන්නෙ බෙදීම තව දුරටත් වැඩ නොකර අඩුකර ගැනීමේ බලාපොරොත්තුවෙන්. ඒ වගේම වෙන් වූ අය නැවත එක්කර ගැනීමේ අපේක්ෂාවෙන්.

පළමු වර රැවටුණාට දෙවන වර රැවටෙන්නෙ නැහැ කියන කතාව අපැහැදිලියි. ඇයි එසේ කියන්නෙ කියා මා දන්නෙ නැහැ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කාලය තිබියදී කලින් ඡන්දයක් පැවැත්වීම නිසා අපයි රැවටුණේ අමාරුවෙ වැටුණෙ.

පළමු හෝ දෙවැනි වර කියා දෙයක් නැහැ අපි කියන්නේ සියලු දෙනා එකට එක්වෙමු කියායි.

ඒකාබද්ධය කියන්නෙ එකට වැඩකළ අපේම සහෝදර කණ්ඩායම. එජාපය සමඟ ආණ්ඩුවක් කිරිමේ ඒකාබද්ධ වීමේ තීරණය ගත්තෙ ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව, පක්ෂ විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාවත් එය අනුමත කළා. මහ මැතිවරණයෙන් එක් පක්ෂයකටවත් වැඩි බලයක් ආවෙ නැති නිසයි සභාග ආණ්ඩුවකට යන්න අපට සිදු වුණේ. මෙය සියයට සියයක් හොඳ නැති වුණත් ජනතා අභිලාෂ ඉටු කිරීමට රටට යහපතක් කිරීමට මෙයින් හැකි වුණා.

මා 1969 දී ශ්‍රීලනිපයට බැඳුනෙ. සිරිමාවෝ මැතිනිය මා පත් කළේ. ඒ අනුව මා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ලෙස අත්දැකීම් ලබා තිබෙනවා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් පසුයි ද්විත්ව පුරවැසි බව පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බව තීරණය වුණේ. එය අදාල පාර්ලිමේන්තුවට පමණක් නිසා අනෙකුත් තනතුරුවලට එය අදාල වේ යැයි මා සිතන්නෙ නැහැ.

මම පාර්ලිමේන්තුවට නැවත පත් වුණාට විශේෂ බලාපොරොත්තු කිසිවක් නැහැ. පක්ෂය ජයග්‍රහණය සඳහා මා ක්‍රියාත්මක වෙනවා. වෙනත් පැත්තකට මා කිසි විටෙක යන්නෙ නැහැ . අග්නිදිග ආසියාවේ රටවල ඇති දේශපාන පක්ෂවලින් දැවැන්ත සාමාජික සංඛ්‍යාවක් සිටින පක්ෂයක් ශ්‍රිලනිපය. මෙය මා දමා යන්නෙ නැහැ. මේ පක්ෂයෙන් වෙන්ව විසිර සිටින අනෙකුත් අයටත් මා කියන්නේ මේ දැවැන්ත පක්ෂයට එක්ව පක්ෂය රැක ගනිමින් ඉදිරි මැතිවරණ විජයග්‍රහණය කරන්න එක්වන ලෙසයි.

චන්ද්‍රිකා පෙරේරා, නිමාෂා සඳරුවනි
ඡායාරූප - සිරිපාල හල්වල 

නව අදහස දක්වන්න