ළමයින්ට සිදුවන අපරාධ ගැන කටයුතු කිරීමට මෙහෙයුම් කමිටුවක් පත් කරනවා | දිනමිණ

ළමයින්ට සිදුවන අපරාධ ගැන කටයුතු කිරීමට මෙහෙයුම් කමිටුවක් පත් කරනවා

කමනි අල්විස්

ළමයින්ට සිදුවන අපරාධ පිළිබඳව කඩිනම්ව ක්‍රියා කරමින් නීතිමය හා අධිකරණ පද්ධතිය තුළින් ළමයින්ට ප්‍රමුඛස්ථානය ලබාදීම පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය විමසා බලා තීන්දු තීරණ ගැනීමට මෙහෙයුම් කමිටුවක් කඩිනමින් පත් කරන බව අධිකරණ හා විදේශ රැකියා පිළිබඳ ඇමතිනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

අප රටේ දරුවන්ගේ අධිකරණමය කටයුතු පිළිබඳව ඊයේ (14) එළිදැක්වූ යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවේ නිර්දේශ සැළකිල්ලට ගනිමින් ඒ අනුව ක්‍රියාකිරීම සඳහා මෙහෙයුම් කමිටුව පත් කරන බවත් ඇමතිනී නීතිඥ අතුකෝරළ මහත්මිය පැවසුවාය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ළමා ආරක්ෂණ අධිකාරිය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය යනාදි අංශවල නියෝජිතයින්ගෙන් හෙබි මෙහෙයුම් කමිටුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනිසෙෆ් ආයතනයේ සහාය ලබාගන්නා බවත් ඇමතිනි අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

යුනිසෙෆ් ආයතනය සම්පාදනය කරන ලද ශ්‍රීලංකාවේ දරුවන් පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා නිකුත් කළ ‘ළමයින් සඳහා වන අධිකරණ පද්ධතියේ නීතිමය සහ ආයතනගත තක්සේරුව සම්බන්ධ යුනිසෙෆ් වාර්තාව ඊයේ (14) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී එළිදැක්වුණි. එම අවස්ථාවේ ඇමතිනි අතුකෝරළ මහත්මිය මේ බව පැවසුවාය.

නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය යුනිසෙෆ් නියෝජිත ටිම් සට්න් මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න