නීල හරිත තිරසර දැක්ම | දිනමිණ

නීල හරිත තිරසර දැක්ම

වසන්ත ප්‍රිය රාමනායක

මුදල් ඇමතිවරයා දැනට පවතින අපගේ සමහර නීති රීති ඉතා පැරණි හා පසුගාමී ඒවා ලෙසින් හැඳින්වීමට මැළි නොවේ. ඒවා වෙනස් කරමින් ආයෝජකයන් ඇදගන්නා ගමන් රටේ භූගෝලීය පිහිටීම ඇසුරින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වාණිජ මධ්‍යස්ථානයක් ලෙසින් සංවර්ධනය කිරීමට ඇවැසි ප්‍රතිසංස්කරණ යෝජනා කරන බව පෙනේ.

වත්මන් රජයේ සිව්වැනි අය-වැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ තමා දුප්පත් කෙනෙකුට මාළු කෑල්ලකට වඩා බිලී පිත්තක් දීමට සූදානම්ව සිටින බවයි. මෙය ප්‍රකට ආර්ථිකමය දැක්මක් සහිත කියමනකි. තිරසර සංවර්ධන දැක්මකි. සමස්ත අය-වැය ලේඛනය පුරාම ගෝලීය ආර්ථික දැක්මට අනුව මේ අදහස අන්තර්ගත කිරීමට මුදල් ඇමතිවරයා සමත්ව සිටී.

මෙදා මංගලගේ අය-වැය දේශාපාලන නොවන ආර්ථික විද්වතුන්ගේ සාපේක්ෂ ප්‍රසාදයට ලක්වෙමින් පවතී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිවරයා සාමාන්‍යයෙන් ආණ්ඩුවේ සිටිමින්ම ආණ්ඩුව විවේචනය කරන්නකු ලෙස ප්‍රකටය. ඔහු පවා අය-වැය සම්බන්ධයෙන් සිය විග්‍රහය ඉදිරිපත් කළේ අවමංගල කාරණා අඩු මංගල කාරණා වැඩි අය-වැයක් ලෙසිනි. එහෙත් ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සුපුරුදු විවේචනය අය-වැයට එරෙහිව ඉදිරිපත් කරමින් සිටී. එය සාමාන්‍ය සම්ප්‍රදායික විපක්ෂ කාර්යභාරයෙන් ඈතට ගිය බවක් නොපෙනේ. එහෙත් විපක්ෂයක විවේචන ආණ්ඩුවක් ඉදිරිපත් කළ අය-වැය ලේඛනයකට වැදගත්ය. එමඟින් ඉදිරිපත් වන සාධනීය විවේචන වෙත්නම් ඊට අනුකූලව යම් යම් සංශෝධන ගෙන ඒමට ද එවන් විවේචන වැදගත් වේ. එවන් සංශෝධන ඉදිරිපත් කිරීමේ හා ඒවා පිළිගැනීමේ සම්ප්‍රදායක් සාමාන්‍යයෙන් රටක අය-වැය සංස්කෘතිය තුළ පවතී.

එසේම රජයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම වෙනදාට වඩා සාධනීය දෘෂ්ඨියකින් මෙවර අය-වැය ලේඛනය දෙස බැලීමට පුරුදු වී සිටින බව මේ වන විට අය-වැය විවාදයට සහභාගි වී සිටින එම පක්ෂයේ කථිකයින්ගෙන් පළවන අදහස්වලින් ගම්‍ය වේ.

අය-වැය ඉතිහාසය

සාමාන්‍යයෙන් අය-වැය යනු ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය හා දැක්ම පිළිබඳ අදහසක් සහිත ලේඛනයකි. එහි දීර්ඝකාලීන, මධ්‍ය කාලීන හා කෙටි කාලීන යෝජනා අඩංගුය. මේ නිසා අයවැය යනු පවතින ආණ්ඩුවේ ආර්ථික දර්ශනයේ කැඩපත ලෙසින් සැලකේ.

එහෙත් අපේ රටේ අය-වැය ඉතිහාසය දෙස බලන විට අතීතයේ අය-වැයක් යනු ජනතාව තැතිගැන්මකට හා තිගැස්මට ලක්කරනු ලබන මොනවායින් මොනවා වේද යන සිතුවිලි ජනතාව තුළ ඇති කරනු ලබන ලේඛනයක් ලෙසින් ද ප්‍රකට වී තිබුණි. මෙම තිගැස්මට ජනතාව ආශා කරන බවක් ද දක්නට ලැබුණි. එසේම අඩුවන බඩු මිල හා වැඩිවන වැටුප් පිළිබඳව දැනගැනීමට අය-වැය සමඟින් ජනතාව යම් අවධානයකින් පසුවිය.

මේ වන විට එම අයවැය සම්ප්‍රදාය ක්‍රමයෙන් ඉවත්වෙමින් පවතී. ඒ වෙනුවට අය-වැය ලේඛනයක් යන්න පවතින ආණ්ඩුවේ ආර්ථික දැක්මට අදාළ ලේඛනය බවට පත්ව ඇත. වර්තමානයේ රටක අය-වැය යන්න ගෝලීය ආර්ථික සම්ප්‍රදායේම එක්තරා පිළිබිඹුවක් වාගේය. වත්මන් අය-වැය එම පිළිබිඹුව මනාව දක්නට ලැබෙන ලේඛනයකි. මෙහි තුන් අවුරුදු ආර්ථික සැලැස්මක් හා 2040 දක්වා දිවයන හරිත ශ්‍රී ලංකාවක් පෙරදැරි කරගත් දීර්ඝ කාලීන සැලැස්මක් ද අඩංගු කර ඇත.

ඒ අනුව 2040 වන විට පොසිල ඉන්ධන භාවිතා වන වාහන ධාවනයෙන් ඉවත්වන රටක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. ‘බ්‍රිටිස් පැට්‍රෝලියම්’ ආයතනයේ නවතම සමීක්ෂණයට අනුව තව වසර 49කින් ලෝකයේ සියලුම ඛනිජ තෙල් නිධි අවසන් වීමට නියමිතය. අපේ රටේ බොහෝ අයට මේවායේ වගේ වගක් නැත. ‘එදා වේල ටුවර්ස්’ ක්‍රමයට සිතන දේශපාලනය ද එසේමය. මේ නිසා පරිසර හිතකාමී හරිත ශ්‍රී ලංකාව වැනි කතා ගැන එතරම් අවධානයක් යොමු නොවේ. රටේ රාජ්‍ය නායකයා ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිතර නිතර සිය දේශන මඟින් මේ පිළිබඳව අවධානය යොමු කරන බව පෙනේ.

රජයක් වශයෙන් ද ඒ සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස කල්පනා කර තිබෙන බව මෙවර අය-වැය ලේඛනයෙන් පැහැදිලි වේ. ඩීසල් ත්‍රීවීලර් භාවිතය අඩු කිරීමට බදු පැනවීම, විදුලියෙන් ධාවනය වන වාහන ගෙන්වීම සඳහා බදු සහන ලබා දෙමින් දිරිමත් කිරීම, ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට කටයුතු කිරීම ආදී කාරණා නිදසුන් ලෙස දැක්විය හැකිය. විශේෂයෙන්ම 2025 වන විට ඉලක්කගතව රජයේ වාහන සංචිත සම්පූර්ණයෙන්ම ඉන්ධනවලින් තොර වාහනවලින් සමන්විත කිරීමට කටයුතු කිරීම හා 2040 වන විට මුළු රටම එම ඉලක්කයට ගෙනයෑම ස්ථිරසාර පිළිවෙතක් සේ පෙනේ. රටේ බදු පිළිවෙත ඊට අනුරූප ලෙසින් මෙහෙයවීමෙන් මෙම හරිත දර්ශනය ප්‍රායෝගික කරගත හැකි බවට ආණ්ඩුව විශ්වාස කරයි.

සුපුරුදු පරිදි හා ලෝක යථාර්ථයන්ට එකඟව ආණ්ඩුව විවෘත ආර්ථික ගමන් මාර්ගයේ තවදුරටත් පෙරටත් වඩා හොඳින් ගමන් කරන බව මෙවර අය-වැය මඟින් ද තහවුරු කර ඇත. පසුගිය දශකයේ එම පිළිවෙත ආපහු හැරවීමේ දිශාවකට යොමුවී ඇති බව සඳහන් කරන මුදල් ඇමතිවරයා දැනට පවතින අපගේ සමහර නීති රීති ඉතා පැරණි හා පසුගාමී ඒවා ලෙසින් හැඳින්වීමට මැළි නොවේ. ඒවා වෙනස් කරමින් ආයෝජකයන් ඇදගන්නා ගමන් රටේ භූගෝලීය පිහිටීම ඇසුරින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වාණිජ මධ්‍යස්ථානයක් ලෙසින් සංවර්ධනය කිරීමට ඇවැසි ප්‍රතිසංස්කරණ යෝජනා කරන බව පෙනේ.

“2025 වන විට ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වීමට නම් ශ්‍රී ලංකාවට බාධාවලින් තොර ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අවශ්‍ය වෙනවා. මෙහිදී ආර්ථික ලිහිල්කරණය හා ගෝලීයකරණය යන දෙඅංශය වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවට සැබවින්ම හිමි විය යුතු වෙළෙඳ හා වාණිජ කේන්ද්‍රස්ථානීය තත්ත්වය අත්කර ගැනීමට නම් රටෙන් වියැකී ගිය තරගකාරී විභවතා යළි ප්‍රබෝධවත් කළ යුතුය. දැඩි ආරක්ෂණවාදී මෙන්ම අභ්‍යන්තරයට නැඹුරු වූ ආර්ථික පිළිවෙත්වලින් ශ්‍රී ලංකාව ඉවත් විය යුතුය”. (2018 අය-වැය කතාව)

ජාත්‍යන්තර වෙළෙඳාම

මේ සමඟම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාම පූර්ණ වෙනසකට ලක් කළ යුතු යැයි යෝජනා කරන මුදල් ඇමතිවරයා රටේ ආර්ථික වර්ධනය දිරිමත් කරන ප්‍රතිසංස්කරණ යෝජනා කරයි. එසේ නොවුණහොත් සිදුවිය හැකි පසුබෑම පිළිබඳව ඔහු තම විග්‍රහය ඉදිරිපත් කරන්නේ මෙලෙසිනි.

“ජාත්‍යන්තර වශයෙන් හුවමාරු කළ නොහැකි භාණ්ඩ නිෂ්පාදන මත අධික ලෙස රඳා පැවතීම නිසා ඉදිරි දශකයේ දී ශ්‍රී ලංකාව ආර්ථික වර්ධන ප්‍රවණතා අභියෝගයට ලක් විය හැකිය” (2018 අය-වැය කතාව)

මේ වන විට සමස්ත ගෝලීය ආර්ථිකයම තම රටවල සංවර්ධනය හා ආර්ථික සෞභාග්‍යය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මත රඳවාගෙන සිටින බව පෙනේ. ඒවායේ වර්ධනය සංවර්ධිත මෙන්ම සංවර්ධනය වන්නා වූ රටවල ආර්ථික සමෘද්ධි ලෙසින් සැලකේ. ඊට හේතුව පසුගිය සමයේ ලොව මුහුණ දුන් ගෝලීය ආර්ථික අර්බුදය විය හැකිය. මේ නිසා මහා පරිමාණයේ කම්හල් පැවැති රටවල ආර්ථික අර්බුදය උග්‍ර විය. ඇමරිකාවේ පවා පෞද්ගලික බැංකු රජයට පවරා ගැනීමට ඔබාමා පාලනයට සිදුවිය.

වර්තමානය වන විට ලොවේ සංවර්ධන හා සංවර්ධනය වන්නා වූ රටවල ආර්ථිකයට සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත මඟින් කරනු ලබන දායකත්වය ඉහළ ප්‍රතිශතයක් ගනී. සාමාන්‍යයෙන් යුරෝපා සංගමයට අයත් රටවල සියලු සමාගම්වලින් 99%ක් සුළු හා මධ්‍ය පරිමාණ ගණයට අයත් වේ. සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රය විවිධ රටවල ජාතික ආර්ථිකයට කරනු ලබන බලපෑමේ ප්‍රතිශතය මෙලෙසින් සඳහන් කළ හැකිය. ඇමෙරිකාව 60%යි. ජර්මනිය 76%යි. ඉන්දියාව 37%කි. ශ්‍රී ලංකාවේ 32%ක් යැයි ගණන් බලා තිබේ. මේ වන විට අපේ ආර්ථිකයේ කොඳුනාරටිය ලෙසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය අය-වැය මඟින් හඳුනාගෙන ඇත. ප්‍රාග්ධන පිරිවැය, ණය ලබාගැනීමට තිබෙන අපහසුව, විවිධ ඇප කොන්දේසි මත ණය පහසුකම් ප්‍රතික්ෂේප වීම ආදී කාරණා සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ වර්ධනයට බලපාන බව මේ වනවිටත් රජය හඳුනාගෙන තිබේ. මේ සඳහා ආනයන අපනයන අංශයක් ද සහිත සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට මෙවර අය-වැය මඟින් යෝජනා කර ඇති අතර පසුගිය අය-වැය මඟින් යෝජනා කර තිබෙන අඩු පොලී ණය යෝජනා ක්‍රම 8 එලෙසින්ම පවත්වා ගෙන යෑමට මෙවර අය-වැය මඟින් ද යෝජනා වී ඇත. එසේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය මඟින් කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීමට ද බලාපොරොත්තු වේ.

සාමාන්‍යයෙන් අයවැය ලේඛනයක් සකස් කිරීමේ දී දීර්ඝ කාලීන හා මධ්‍ය කාලීන යෝජනා ක්‍රම මෙන්ම කෙටිකාලීන ජනතා සහන ද අඩංගු විය යුතුය. නොඑසේ නම් එය න්‍යායාත්මක පත්‍රිකාවක ස්වරූපයක් ගනු ඇත. විශේෂයෙන්ම වර්තමානයේ පවතින බඩු මිලේ ප්‍රශ්නයට ජනතාව අය-වැය මඟින් විසඳුමක් අපේක්ෂා කිරීම ස්වාභාවිකය. ඊට න්‍යායාත්මක කතාකීමෙන් පලක් නොවේ.

මේ නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයකම බදු අඩු කරමින් ඒවායේ මිල මට්ටම පහත දැමීමට අය-වැයට පෙරදිනම කටයුතු කර තිබුණි. එය සුපුරුදු පරිදි අය-වැය මඟින්ම ප්‍රකාශයට පත් කෙරෙන සහන මල්ලක් ලෙසින් හැඳින්වීමේ සම්ප්‍රදායෙන් බැහැරව මුදල් ඇමතිවරයා එම කාර්යය වෙනම මාධ්‍ය සාකච්ඡාවකින් දැනුම් දුනි.

එහෙත් ඒ සඳහා විශේෂිත මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණාද යන්න ප්‍රශ්නයකි. රජයේ දැනුම් දීමට අනුව මේ වන විට අල, පරිප්පු, කරවල, හාල්මැස්සන්, ලොකුලූනු ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩුවීමක් සිදුවිය යුතුය. සමහර තැනක පවතින පැරණි තොග නිසා එසේ සිදු නොවන බවක් ද අසන්නට ලැබේ. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩුවීම සොයාබැලීමේ පසුවිපරමක් අත්‍යාවශ්‍යය. එවැන්නක් සිදු නොවන බවක් ද පෙනේ.

වියදම සහ විසඳුම

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කීපයකම මිල අඩු කිරීමේ පැකේජය වෙනුවෙන් රජය රු. ද.ල. 1500ක පාඩුවක් අත්පත් කරගෙන ඇත. එවන් පාඩුවක් ලබන්නේ නම් එහි නිසි පල ප්‍රයෝජන ජනතාවට උපරිමයෙන් ලැබිය යුතුය. මේ පිළිබඳව විධිමත්ව සොයාබැලීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාවයක් පවතී.

ජීවන වියදමේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට අමතරව රටේ සුබසාධන කාර්යයන් සඳහා ද 2017 ට වඩා වැඩි මුදලක් වෙන්කිරීමට ද රජය වගබලාගෙන තිබේ. සහනාධාර හා පැවරුම් වෙනුවෙන් වෙන්කරනු ලබන මුදල් ප්‍රමාණය රු. බිලියන 507කි. මෙය ගියවරට වඩා රු. බිලියන 40ක වැඩිවීමකි. පාසල් නිල ඇඳුම්, නොමිලේ පාසල් පොත්, පොහොර සහනාධාරය ආදී සහනාධාර වැඩ සටහන් වෙනුවෙන් මෙම මුදල වැයවේ. මෙම සහනාධාර පැකේජයට අමතරව නොමිලේ අධ්‍යාපනයට හා සෞඛ්‍යයට කරනු ලබන වියදමේ ද වැඩිවීමක් මිස අඩුවක් දක්නට නොලැබේ.

සාමාන්‍යයෙන් අය-වැය මඟින් ඉදිරිපත් කරනු ලබන යෝජනා වසර අවසානයේ නිසි පරිදි ක්‍රියාත්මක වූවාදැයි සොයාබැලීමේ නිසි පසුවිපරමක් පසුගිය සමයේ දක්නට නොලැබුණි. මේ නිසා අය-වැය යෝජනා ක්‍රියාත්මක නොවන ඒවා ලෙසින් හඳුන්වා දීමට ද විපක්ෂයට අවස්ථාවක් සැලසේ. ඒ පිළිබඳව සොයා බැලීමේ පසුවිපරම් කමිටුවක් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවීමට මෙවර අය-වැය මඟින් යෝජනා කර තිබේ. එය යෝජනාවක් ලෙසින් නොව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වීම ප්‍රශංසනීයය.

පවතින සමාජ, ආර්ථික, දේශපාලන පසුබිම යටතේ ඉදිරිපත් කළ හැකි යහපත් අය-වැය ලෙසින් වත්මන් රජයේ 2018 අය-වැය ලේඛනය හැඳින්විය හැකිය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...