දරුවනේ මේ කාලේ හරියට වැඩ කරන්න! | දිනමිණ

දරුවනේ මේ කාලේ හරියට වැඩ කරන්න!

දුමින්ද සම්පත්

කුරුණෑගල මලියදේව බාලිකාව මුළු දිවයිනේ ම අවධානය තමන් වෙත යොමු කරගෙන තිබේ.

2017 වන විට; වෛද්‍ය පීඨවලට ඉංජිනේරු පීඨවලට විදුහලෙන් තේරී පත්වන ශිෂ්‍යාවන්ගේ ගණන දෙගුණ වී ඇත.

2015 කලා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා බිහි කළේ ද මේ විදුහල ය.

සංගීතයට - ක්‍රීඩාවට - නාට්‍ය කලාවට විදුහල ලබා ඇති සමස්ත ලංකා ජයග්‍රහණ ප්‍රමාණය අති විශාලය. මලියදේව බාලිකාව පරාජිතයන් නොව; විශිෂ්ට ජයග්‍රාහකයන් බිහි කරන විදුහල් මාතාවෙකි. මෙහි රහස කුමක්ද?

ඔබ ආ ගමන්මගේ සාර්ථකත්වයට හේතු මොනවාද ?

සහෝදර සහෝදරියන් හත් දෙනකුගෙ සෙවණේ අම්ම තාත්තගෙ ආදරයත් එක්ක හැදුණු වැඩුණු කෙනෙක් මම. මගේ ළමා කාලය ඉතා සුන්දරයි. පුදුම නිදහසක් තිබුණා. හැමෝගෙම අවධානය තිබුණේ මා ගැන. පවුලෙ බාලයා වීම නිසාම ලැබිච්ච ඒ සියල්ල මම හොඳින්ම ප්‍රයෝජනයට ගත්තා.

ඔබේ පාසල් අවධිය මතක් කළොත්?

පුංචිම කාලෙ ගියේ ගමේ ඉස්කෝලෙ. මෝදරවාන මහා විද්‍යාලයට. එකොළහ වසර වෙනතෙක් විතරයි ඒ ඉස්කෝලෙ පන්ති තිබුණේ. ගෙදර ඉඳන් දුර කිලෝමීටරයක් විතර. ඒ කාලෙ පාසල් යන්න වයස බැලුවෙ නැහැ. අම්ම මාව වඩාගෙන ඉස්කෝලෙට ගෙනිච්ච කියල පුංචි මතකයක් තියෙනව. ඉස්කෝලෙ පොතේ නම ලියවුණේ නැති වුණාට අපිට ඉගෙන ගන්න දුන්න.

පාසල් යන කාලෙ ඔබටත් ඉලක්කයක් තිබුණාද?

මම පාසල් යනකොට රැකියාවන් කරන සහෝදර සහෝදරියොත් හිටිය. ඒ අය හොඳට ඇඳ පැලැඳගෙන ගෙදරින් යනවා. හොඳට ඉගෙන ගෙන රස්සාවක් කරන්න ඕන කියන අදහස තිබුණා. ඒත් අද වගේ ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් වෙනව කියන බලාපොරොත්තු තිබුණේ නැහැ.

ඉහළ තැනකට යන්න ඕන කියන ඉලක්කය, සපුරගන්න සැලසුමක් තිබුණද?

හරියට වැඩ කළා. හැමදාම පාසල් ගියා. අධ්‍යාපන කටයුතුත් විෂය බාහිර කටයුතුත් නියම විදියටම කළා. වාර විභාගවලින් පළවෙනිය ගත්තා. දෙවැනිය වෙන්න කැමති වුණේම නැහැ. වැඩිපුර ලකුණු ගත්තම විදුහල්පතිතුමා අපිව අගේ කළා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඔබ විශේෂ උපාධියක් ලබාගන්නවා. ඒ කාලය ගැන මතක් කළොත්.

පළමු අවුරුද්දෙ උපාධියෙන් පස්සෙ විශේෂ උපාධියට තෝරගන්න විභාගය තියනවා. මම භූගෝලය, ආර්ථික විද්‍යාව විෂයන් දෙකෙන්ම විශේෂ උපාධි තෝරාගැනීම් විභාගය සමත් වුණා. මම තෝරගත්තෙ ආර්ථික විද්‍යාව විශේෂ උපාධිය. අපි විශ්වවිද්‍යාලෙදි පාන්දර තුනට නැගිට්ටා. යාළුවො තුන්දෙනෙක් එකතුවෙලා හොස්ටල් එකේ කෑම උයාගෙන කෑවේ. හරිම විනෝදයි. එක්කෙනෙක් උදෙන්ම හොට්ප්ලේට් එක අරගෙන උයන තැන මුලින්ම වෙන්කර ගන්න කුස්සියට දුවනවා. උදෙන්ම උයාගෙන උදේ හය වෙනකොට පුස්තකාලයට යනවා. එහෙමයි පාඩම් කළේ. කවදාවත් විභාගයක් ගැන සරලව හිතුවෙ නැහැ. හොඳින් සූදානම් වුණා.

උපාධියෙන් පස්සෙ ඔබ හිතපු විදියට රැකියාවක් ලැබුණද?

ඉංග්‍රීසි ගුරු පත්වීමකට ඉල්ලුම් කළා. ඩෙලික් පාඨමාලාවට තේරුණා. ගොවිකටයුතු පර්යේෂණ ආයතනයේ පුහුණු පර්යේෂකයෙක් විදියට රැකියාවක් ලැබුණා. ඒ කාලෙ රජයේ තනතුරුවලට විභාග හරියට තිබුණා. මම තොර ගත්තේ අධ්‍යාපන පරිපාලනය.

අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රය තෝරගන්න විශේෂ හේතුවක් තිබුණද?

බදු නිලධාරී ගියාම ගොඩක් දෙනෙක් කිව්වෙ ඒ රස්සාව කාන්තාවකට ගැළපෙන්නෙ නැහැ කියලා. අධ්‍යාපන ක්ෂේත්‍රය කාන්තාවකට වඩා හොඳයි කියල හැමෝම කිව්වා.

පළමු ශ්‍රේණියේ විදුහල්පතිනියක් දක්වා ආපු ගමන ගැන සතුටු ද?

ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. අධ්‍යාපන පරිපාලන සේවය සමත්වෙලා. රස්සාවක් අරන් විවාහ වෙනකොට වයස තිහ පැනල. ඉගෙන ගන්න කාලෙ හොඳින් ඉගෙන ගත්තා. ඉන් පස්සෙත් අධ්‍යාපනය අත හැරියෙ නැහැ. අධ්‍යාපන කළමනාකරණ විදුහල්පති පුහුණුවීම් හැම දේකටම සහභාගි වුණා. හොඳ වෘත්තීය පුහුණුවක් ලැබුවා.

භාරධුර කාර්යයන් කරන ගමන් ගෙදර කටයුතු සමබරව කරගත්තෙ කොහොම ද?

ඒක බොහොම අසීරු කාර්යයක්. උදෙන්ම ගෙදර වැඩ ටික ඉවර කරගත්තහම ආයිත් හවස තමයි ගෙදර වැඩ ගැන බලන්නෙ. මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් රැකියාවක් කරනවා. එක්කෙනෙක් වෛද්‍යවිද්‍යාලයෙ. අනෙක් දරුවා ඉන්දියාවෙ පන්ජාබ් විශ්වවිද්‍යාලයේ. ඒ නිසා දැන් ගෙදර කටයුතු ගැන එච්චර ගැටලු නැහැ. ගෙදර වැඩ හැමෝම බෙදාගෙන කළා. ඒ නිසා අපි පවුලක් විදියටත් සාර්ථක වුණා.

කාන්තාව රැකියාවට යාම නිසා ගෙදර දොර කටයුතු දරුවන්ගෙ කටයුතු අතපසු වීමෙන් සමාජ ගැටලු මතුවන බවට සමාජ මතයක් තිබෙනවා?

දරුවන්, ගෙදර අය හැමෝම අවබෝධයෙන් කටයුතු කළොත් ඔය තත්ත්ව ඇතිවෙන්නෙ නැහැ. අපේ ගෙදර නම් දරුවන්ට අසාධාරණයක් වෙන්න තිබුණ ඉඩකඩ අඩුයි. කොහොම හරි අපි හවස ගෙදර හිටිය. උදේ පාන්දර රාජකාරි කළත් හැන්දෑවෙ දරුවන්ට අවශ්‍ය සෙනෙහස, මාර්ගෝපදේශ, අධ්‍යාපනික දැනුම සියල්ල ලබාදුන්නා.

දැඩි අධ්‍යාපන තරගය නිසා අද දරුවන්ට ළමා කාලය නැතිවෙලා නේද?

අද ළමයින්ට නිදහස් ඉගෙනුමක් නැහැ. අපි ඉගෙන ගත්තෙ ඉස්කෝලෙ ගුරුවරයගෙන්. අවශ්‍යම වෙලාවක විතරයි පන්ති ගියේ. අද එක විෂයකට පන්ති තුන හතරකට යනවා. මේ විභාගකරණය නිසා දරුවො පීඩනයකට ලක්වෙලා. දරුවන්ට මේ තරගයෙන් ජයගන්න වුවමනාවක් තියෙනවා.

කුරුණෑගල මලියදේව බාලිකා විදුහල ප්‍රධාන පාසල් අතරට ඇවිත් තියෙනවා. මේ ගමන සාර්ථක වෙන්න හේතු මොනවද?

සියලු කාර්යයන් විමධ්‍යගත කරලයි තියෙන්නෙ. තම තමන්ගෙ වගකීම් හරියට අඳුරගෙන හැම දෙනාම වැඩ කරනවා. අපි කරන්න යන්නෙ හොඳ වැඩක් කියන එක ගුරුවරුත් දරුවොත් තේරුම් අරගෙන ඉන්නෙ. ගුරුවරුන්ව හරි පැත්තට මෙහෙයවා ගන්න ඕන. මම නියෝග, අවවාද දෙනවා. ඒ අයත් එක්ක සුහදව කටයුතු කරන නිසා හැම කෙනාම මාව තේරුම් අරගෙන තියෙනවා.

පාසල ලබාගත්තු ජයග්‍රහණ ගැන කිව්වොත්?

2017 අපිට සුවිශේෂයි. පහුගිය වසරෙ ගණිත අංශයේ පළවෙනියා, 2015 කලා අංශයේ පළවෙනියා, ඊට අමතරව විද්‍යා අංශයේ දිස්ත්‍රික් පළවෙනියා, දෙවෙනියා බිහි වුණා. අපේ පාසලෙන් වෛද්‍ය පීඨයට, ඉංජිනේරු පීඨයට ඇතුළුවන දරුවන්ගේ වාර්ෂික වැඩිවීමක් තියෙනවා. විෂය සමගාමි පැත්තෙන් පාපන්දු ජාතික පාසල් සමස්ත ශුරතාව, චෙස් සමස්ත ශුරතාව, අපේ පාසල ලබාගත්තා. නාට්‍ය සමස්ත ලංකා ප්‍රථම ස්ථානය, සංගීත ප්‍රථම ස්ථානය, බටහිර තූර්යවාදක, අපරදිග තූර්යවාදක, ශිෂ්‍යභට සමස්ත ලංකා තෙවන ස්ථානය ලබාගත්ත. ශිෂ්‍ය භට ඛණ්ඩය සමස්ත ලංකා ප්‍රථම ස්ථානය පිට පිට වාර 4ක් ගත්තා. හැම ඉසව්වකටම අපි ළමයින් ඉදිරිපත් කරනවා.

ඡායාරූප - නිරෝෂ් බටේපොළ 

නව අදහස දක්වන්න