මාතුලාගල රන්මිණි ‍‍‍ලෙන් විහාරය පුරාවිද්‍යා ඇස ඉක්මනින් ‍‍යොමු‍වේවා | දිනමිණ

මාතුලාගල රන්මිණි ‍‍‍ලෙන් විහාරය පුරාවිද්‍යා ඇස ඉක්මනින් ‍‍යොමු‍වේවා

රඹුක්කන විශේෂ ඔස්වල්ඩ් ගොඩකුඹුර

වළගම්බා රජුගේ අගබිසවක වූ මාතුලා දේවිය සැඟවී සිටි “මාතුලාගල ලෙන” ගලපිටමඩ,ඒබිඩිගල ප්‍රදේශයේ පිහිටා ඇති ස්වභාවික ලෙනකි. වළගම්බා රජු සතුරන්ගෙන් බේරී සිටීමට සැඟව සිටි ස්ථාන කීහිපයක් පිළිබඳවම ඉතිහාසයේ සඳහන් වුවද රජුගේ අග බිසවක සැඟව සිටි ස්ථාන ‍මේ හැර වෙනත් නැතැයි පැවසේ.

කොළඹ - මහනුවර මහා මාර්ගයේ නෙළුන්දෙණිය හන්දියෙන් හැරී ගලපිටමඩ මාර්ගයේ ගමන්කර මෙම ස්ථානයට ළඟාවිය හැකිය.

දර්ශනීය කඳුගැටයක් මධ්‍යයේ පිහිටි මෙම ස්ථානයට යාමට ඉදිකර තිබූ ඉපැරණි ගල් පඩිපෙළ මේ වන විට විනාශයට ලක්වෙමින් පවතී. කඳු ගැටය මතට නැගි විට ‍ඓතිහාසික ලෙනගල හා සල්ගල ද, අහස පැහැපත් දිනෙක සමනළ කන්ද ද මනාව දිස්වෙයි.

ලෙන තුළ ගලින් නෙළන ලද දිගින් අඩි විසි පහක් පමණ වන දර්ශනීය සැතපෙන බුදු පිළිමයකි.

ගලපිටමඩ පදිංචි අයි.එච්.දයානන්ද මහතා මාතුලා ලෙන පිළිබඳව ‍මෙ‍සේ පැහැදිලි ක‍‍ළේය.

“මෙය ස්වභාවික ලෙනක්.ලෙනගල හා සල්ගල වළගම්බා රජතුමා සැඟව සිටි ස්ථාන බව ඉතිහාසයේ සඳහන් වෙනවා.වළගම්බා රජතුමාගේ අගබිසව මාතුලා දේවිය සැඟව සිට ඇත්තේ සල්ගල හා ලෙනගල ආසන්නයේම පිහිටි මෙම ලෙන තුළයි. පිළිම වහන්සේ නෙළා ඇත්තේ කවර කාලයකදීදැයි නිශ්චිතව කිව නොහැකි වුවත්,ලෙනතුළට වැටෙන වැසි ජලය වැළැක්වීම සඳහා කොටා ඇති කටාරම් වළගම්බා රජ සමයට අයත් බවට පුරාවිද්‍යාඥයන් අනුමාන කර තිබෙනවා.”

ලෙනට සම්බන්ධ ගල හාරා පිළිමය මතුකර ඉදි කළ පිළිම වහන්සේ ඇති ස්ථාන අවම බව පවසන දයානන්ද මහතා රංගිරි දඹුල්ල වැනි ලෙන්තුළ බුදු පිළිම මැටියෙන් ඇඹීමෙන් හෝ ශෛලමය පිළිම වඩා හිදුවා තිබුණ ද මෙහි ඇත්තේ ගලින්ම නෙළා මතුකරගත් සැතපෙන බුදු පිළිමයක් වීම සුවිශේෂී බව පවසයි. මෙම ස්ථානයේ පුරාවිද්‍යා කැණීම් සිදුකරන්නේ නම් සල්ගල,ලෙනගල ‍‍සෙල්ලිපි වැනි සෙල්ලිපි හමුවිය හැකි බවද පෙන්වාදෙන ඔහු මෙම ස්ථානය “මාතුලාගල රන්මිණි ලෙන් විහාරය” නමින්ද සමහරුන් හඳුන්වන බව පවසයි.

සමහර දිනවල සවස හයට හතට විතර මෙම ලෙන් විහාර භූමියෙන් රන්මිණි සෙලවෙන හඩක් ඇසෙන බව ගම්වාසිහු පවසති. රෑ අට පමණ වන විට ක්‍රමයෙන් ඒ මිණි හඬ වැඩිවී නවය පමණ වන විට නෑසී යන බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.

සැතපෙන බුදු පිළිමය අසලින් ලෙන තුළට ගමන්කිරීමට අතීතයේදී මාර්ගයක් තිබී ඇතත්,මීට වසර කීපයකට පෙර එම මාර්ගය වැසෙන සේ බිත්තියක් බැඳ ගුහාව වසා දමා තිබෙන අයුරු දැකිය හැකිය. එයින් ලෙනෙහි ‍ඵෙතිහාසික වටිනාකම විනාශවී ඇත. බුදු පිළිම වහන්සේ පිටුපසෙහි තිබෙන ගලේ තීන්ත ආලේප කිරීමෙන් එම නිර්මාණයත් විකෘති වී තිබේ.

මෙම ගල්ලෙන පිහිටි කඳු මුදුනේ අක්කර දෙකක පමණ තැනිතලා භුමියක් තිබෙන බවද,ගලේ එක් පැත්තක සිට මෙම ලෙන තුළට උමගක් තිබෙන බවද ප්‍රදේශවාසීහු පවසති. අතීතයේදී මෙම ස්ථානයේ රහතුන් වහන්සේ වැඩ සිටි බවටද ප්‍රදේශවාසින්ගේ විශ්වාසයක් පවතී.

ගල්ලෙන වෙත පාසල අසල සිට පැරැණි ගල් පඩිපෙළක් තිබුණද එම මාර්ගයට හානි වන පරිද්දෙන් පාසලේ වැසිකිළි ඇතුළු විවිධ ඉදිකිරීම් සිදුකර ඇති බව පෙන්වා දෙන ඔවුහු මෙම ‍ඵෙතිහාසික ස්ථානයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය කඩිනමින් යොමු විය යුතු බව පවසති.

 

නව අදහස දක්වන්න