‍මො‍හොමඩ් ඉසාඩ් දරුවා දැන් මාලිගාවත්ත චන්දකිත්ති හිමි | දිනමිණ

‍මො‍හොමඩ් ඉසාඩ් දරුවා දැන් මාලිගාවත්ත චන්දකිත්ති හිමි

අරණායක විහාරස්ථානයකට පැමිණ පිරිවෙන් අධ්‍යාපනයට යොමු වූ වයස අවුරුදු 10ක් වයසැති කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ඉස්ලාම් දරුවෙක් ගිහි ජීවිතය අතහැර සසුන්ගත වීමේ පුවතක් අපට පසුගිය දිනක අරණායකින් වාර්තා විය.

මේ ඉස්ලාම් දරුවා දැනට වැඩ සිටින්නේ පූජාවලිය ග්‍රන්ථයේ නිර්මාතෘ බුද්ධ පුත්‍ර හිමියන් වැඩ වාසය කළ ලංකාවේ එකම ටැම්පිට සංඝාවාසය ඇති මොරාගම්මන ශ්‍රී මයුරපාද රජමහ විහාරස්ථානයෙහිය.

දරුවාගේ නම මොහොමඩ් ඉසඩ් සමීර් සුවෙර් ය. මව චිත්‍රා ශ්‍රීමති චලිවර් වන අතර වයස අවුරුදු 36කි. පියා මොහොමඩ් ඉසඩ් සුවෙර්, වයස අවුරුදු 33කි.

මේ දරුවා දැන් හඳුන්වන්නේ මාලිගාවත්ත චන්දකිත්ති යන නාමයෙනි.

මොරාගම්මන ශ්‍රී මයුරපාද රජමහ විහාරයේ විහාරාධිපති පුවක්මොටේ ධම්ම රතන නාහිමි,

මේ හිමියන් ලැබු‍ණේ මාගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේනමක් වන ජඹුරේවල චන්ද්‍රරතන හිමියන් වහන්සේගෙන්. උන්වහන්සේ තමයි මට කිවේ මෙ වාගේ අසරණ දරුවෙක් ඉන්නවා පුළුවන්ද මම ගෙනත් දුන්නොත් අධ්‍යාපනය ලබා දෙන්නට කියලා. මාගේ කැමැත්ත ලැබුණාට පස්සේ දරුවා උන් වහන්සේ විසින් එක්කරගෙන විත් මට භාර කළා. ඊට පස්සේ දරුවා පිරිවෙන් අධ්‍යාපනයට යොමු ක‍ළේ අරණායක පොල්අඹේගොඩ පිරිවෙන් විහාරස්ථානයට.

දරුවා පිරිවෙන් ගිහින් ආපු මුල් දවස්වල පටන්ම මා සමඟ සහ අපේ පන්සලේ පිරිවෙන් යන අනිකුත් හිමිවරුන් දෙනමක් ඉන්නවා ඒ අයටත් කියලා තිබුණේ මහණ වෙන්න කැමැති කියලා. ඉස්ලාම් දරුවකු වන නිසාත් මෙ සඳහා මවුපියන්ගේ අවසරයක් ලැබෙන්නේ නැති නිසාත් මහණවීමට අවශ්‍ය නැති බව අපි මේ පුතණුවන්ට කුඩා කාලයේ කීවත් මේ පුතා නිතරම කීවේ මහණවිමට කැමැති බවයි.

මට මහණ ‍වෙලා බණ කියන්න ඕනෑ කියනවා. දානේ පන්සලට ගෙනත් දෙන අයට පිං වාක්‍ය කියන්න දෙන්න කියලා කියනවා. ‍මේ නිසාම අවසානයේ දරුවා පැවිදි කරන්නට අවශ්‍ය කටයුතු සකස් කෙරුණේ මවුපියන්ගේ අවසරයෙන්. මහණ කිරිමට මත්තෙන් මාපියන්ටත් අපි කීවා දරුවා පැවිදි කරනවාද නැද්ද කියලා තීරණය ගන්න කියලා. මාපියොත් දරුවාට මහණ වෙන්න එපා කීවත් දරුවාගෙන් කැමැත්ත ගන්න බැරි වුණා. පස්සේ කරගන්නම දෙයක් නැති තැන සියලුදෙනාගේම කැමැත්තෙන් මේ දරුවා මහණ වුණා.

පොඩි හාමුදුරුවන් ගැන විස්තර අහන්න අප එහි පැමිණි බව පැවසූ ලොකු හාමුදුරුවෝ උන් වහන්සේගෙන් අවශ්‍ය දෑ අසා දැන ගන්න අවසර දුන් පසු උන්වහන්සේද සිය කැමැත්තනේම අදහස් දැක්වුහ.

“මම ගොඩාක් කැමැතියි පන්සලේ ඉන්න. පිරිවෙන් යන්න. ඒ දවස්වල මගේ යාළුවෝ තමයි චමිඳු, මල්දු, ටිකිරි, සුරේෂ්, කවිත ඒ අය එක්ක මම හවසට සෙල්ලම් කරනවා. ඉතින් මම සෙල්ලම් කරන්න ගියාම සමහර දවස්වල තාත්තාගෙන් ගුටි කනවා. වැඩිපුරම මම ගුටි කන්නේ අපේ අම්මාගෙන්. මට හිතෙනවා එහෙම ගුටි කකා ඉන්නවාට වඩා මෙ පන්සලේ ඇවිත් මහණ වුණ එක හොඳයි කියලා. මම පිරිත් කියන්න බණ කියන්න වාගේම පිරිවෙනේ උගන්වන්නත් කැමැතියි.

විහාරස්ථානයේ නායක හිමියෝ මෙසේද පැවසූහ.

“දැන් පොඩි හාමුදුරුවෝ අවදි වෙන්නේ පාන්දර 5.30 ට ඒ කරලා ටික වේලාවකින් පොත පතේ වැඩ කරනවා. විහාරස්ථානයේ දායක දායිකාවන් සමඟත් හොඳ ඇසුරක් පවත්වාගෙන යන අතර ඉතා දක්ෂ ලෙස තම කටයුතු කරනවා. සෑම දෙයක්ම හොඳින් මතකයි. කට පාඩමින් බොහෝ දේවල් කියනවා. ගථා කිහිප වතාවක් සජ්ජායනා කරපුවාම පොඩි හාමුදුරුවෝ ඒවා කට පාඩමින් කියනවා. වැඩිපුරම බණ කියන්න කැමැතියි” උන්වහන්සේ සිනා මුසු මුහුණින් පැවසූහ.

ස්තූතිය.

හෙම්මාතගම නියෝජ්‍ය විද්‍යායතනාධිපති දුනුකේවුල්ලේ රාහුල හිමියන්ට, ශාස්ත්‍රපති එළගිපිටියේ රතන ජොති හිමියන්ට

මාවනැල්ල සමන් විජය බණ්ඩාර 

 

නව අදහස දක්වන්න