මම නිතර වෙනස් කරන්නේ වචන විතරයි | දිනමිණ

මම නිතර වෙනස් කරන්නේ වචන විතරයි

සුසෑන් ජොයින්සන්

ලොව ප්‍රකට නවකතාවක් වූ “A Lady Cyclist’s Guide to Kashgar” හි කතුවරිය වන සුසෑන් ජොයින්සන් සමඟ writers and artists වෙබ් අඩවිය කළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ. ඇය, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ මැදපෙරදිග, උතුරු අප්‍රිකාව, චීනය සහ යුරෝපය වැනි ශාඛාවල රැකියාවේ නිරත වූ තැනැත්තියකි. 2007 වසරේදී ලොව හොඳ ම නිර්මාණශීලී තාත්වික රචනයට, ඇයගේ ලයිලා අහමද් කෘතිය තේරී පත් විය. ඇය මේ මොහොතේ නිර්මාණශීලි රචනය පිළිබඳ ආචාර්ය උපාධිය සඳහා ඉ‍ගෙනීම් කටයුතු කරමින් සිටී.

“A Lady Cyclist’s Guide to Kashgar” කෘතිය සදහා ඔබ පෙලඹවූ කාරණය කුමක්ද?

ඒක අහඹු සිදුවීමක්. එක් දවසක මම අවශ්‍ය කරන දේවල් ටිකක් මිලදී ගැනීමට වෙළෙඳසැලට ගියා. ඒ යන අතරතුරේ වෙළෙඳසැලට එළියෙන් ඉන්දියානු පිරිසක් සඟරා වැනි දෙයක් විකුණමින් හිටියා. එතැන වැඩිමහල් කාන්තාවක් සහ එක ගැහැනු දරුවකු සිටියා. මම ඒ වෙලාවේ මොකුත් නොසිතාම එම සඟරා මිලට ගත්තා. මම ඉන් පසු යන ගමන් එය කියෙව්වා.

එහි තිබුණේ ඉන්දියාව පිළිබඳ විස්තර. මට ඒ මොහොතේ අර කාන්තාව සමඟ කතා කළ යුතු යැයි හිතුනා. මම මගේ අවශ්‍ය දේවල් මිලදී ගෙන ආපසු එන අතරේ, ඇය හමු වුණා.

මම ඇයගෙන් විස්තර ඇහුවා. ඇය ටිකෙන් ටික තම ජීවිත කතාව මා ඉදිරියේ පාපොච්ඡාරණය කළා. එම කාන්තාව ඉන්දියාවේ උපත ලද කෙනෙක්. එංගලන්ත පවුලක් ,දරුකමට හදා වඩා ගැනීමට එයා මෙහෙට රැගෙන ඇවිත් තිබෙනවා.

මේ එංගලන්ත වැසියන් දෙදෙනා ඇය නැවත බාර නොගැනීම නිසා, ඇය එංගලන්තයේ දරුවන් බලා ගන්නා තැනකට වැටෙනවා. එතැනින් පසුව ඇයට මුහුණ දෙන්නට සිදු වූ අත්දැකීම්වලින් මා කම්පනය කළා. ඇය මවක් වන තුරු මුළු කතාවම ඇය මා හට පැවසුවා.

ඇයට සිදු කරන සාධාරණයක් විදිහට තමයි මම ඇගේ ජීවිත කතාව ලිව්වේ. එය තමා “A Lady Cyclist’s Guide to Kashgar” විදිහට එළිදකින්නේ.

ඔබ මුලින්ම ලියන්න පටන් ගත්තේ කවදාද?

මට මතක ඇති අවධියේ පටන් මම ලියනවා. මම වයස හත වගේ කාලයේ පටන් ම දිනපොතක් පාවිච්චි කළා. කුඩා කාලයේ මගේ මතකයේ වඩාත්ම රැඳුණු කතාවක් තිබෙනවා. මම වයස 14 දී විතර හොල්මන් කතාවක් ලියලා, ඒක මගේ පාසලේ ළමයින් අතරේ බලෙන් බෙදා හැර තිබෙනවා. මුලින්ම බොහෝ දෙනකු එයට අකමැති වුණත්, පසුව බොහෝ දෙනා එය කියවූ පසු ඒ ගැන මට බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා. බොහෝ අය අතර එය ජනප්‍රිය වුණා.

කොහොමද ඔබ ඔබගේම ලිවීමේ විධියක්, හැඩයක් ගොඩනගා ගන්නේ?

එය මුලින්ම තීරණය කරන්න බැහැ. එය අත්දැකීම් මත ගොඩනැගෙන්නක්. ඒත්, භාෂා හැකියාව සහ ඔබ නියෝජනය වන සංස්කෘතිය ආදියෙන් ඔබගේ අනන්‍ය වූ ලිවීමේ හැඩය නිර්මාණය වෙනවා කියා තමයි මං විශ්වාස කරන්නේ.

සංස්කරණ අදියර දැන් නිම කළ යුතුයි කියලා කොහොමද ඔබ දැන ගන්නේ?

ඒක නම් මට බොහොම අමාරු වැඩක්. මම අන්තිම මොහොත වෙනකන් ම වෙනස්කම් කරනවා. ඒත් , කිහිපවතාවක් ගියාට පස්සේ මටම එය දැනෙනවා. මම නිතරම වෙනස් කරන්නේ වචන විතරයි. බොහෝ වෙලාවට සංකල්පයක්ම වෙනස් කරන අවස්ථා අඩුයි.

ඔබගේ නිර්මාණ ප්‍රකාශනයට යැවීමට පෙර, ඒවා ඔබගේ මිතුරන්ට ලබා දෙනවාද?

ඔව්. මට ඉන්නවා පෞද්ගලික උපදේශකවරයෙක් වගේ ඉන්න හොද යාළුවෙක්. ඇය සාරා මේට්ලන්ඩ්. ඇයත් කතුවරියක්. ඇය මට වැරැදි අඩුපාඩු කෙළින්ම කියනවා. ඒ අනුව මම මගේ ග්‍රන්ථයෙහි වෙනස්කම් කරනවා.මේ කාර්යය ඇය නොපිරිහෙලා ඉටු කරනවාට,මං ඇයට බොහෝ සේ ස්තූතිවන්ත වෙනවා. එය මට ඉතා වැදගත්. ඇයත් ගත් කතුවරියක් නිසා, මගේ ග්‍රන්ථවල වැරැදි අඩුපාඩු ඇයට හොඳින් පෙනෙනවා.

නවක කතුවරයන්ට ඔබට දෙන්න තිබෙන උපදෙස මොකක්ද?

මම පොඩි ඉඟියක් දෙන්නම්. මම සාමාන්‍යයෙන් නිදාගන්න යද්දී, මම එදා දවසේ ලියපු කොටසේ අවසන් පරිච්ඡේද කිහිපය කියවනවා. පසු දිනයේදී කතාව තුළම නිර්මාණශීලිව ජීවත් වීමට එය උපකාරී වෙනවා කියලා මම හිතනවා . ඒක ඇත්තම ඉඟියක්. සරලවම කිව්වොත්, ඔබ කරන දේ තුළ ඔබ ජීවත් වෙන්නම ඕනැ. ඔබ එය තුළ ජීවත් වෙනවා නම්, නිසැකවම ඔබගේ පාඨකයාත් එය තුළ ජීවත් වේවි.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න