පොත් පෙරළන කේතු | දිනමිණ

පොත් පෙරළන කේතු

බුදුන් වහන්සේගේ දේශනාවට අනුව අට‍ලෝදහම නැමැති ලෝක ධර්මතාවය සමඟ අප නිරතුරුව බැඳී සිටී. ඒ අනුව විටෙක සැප සම්පත් යස ඉසුරින් පිරුණු ජීවිතයක් අපට හිමිවෙයි. තවත් විටෙක ඒ සියල්ල පිරිහීගොස් දුක්ඛිත ජීවිතයක් අපට උරුම වෙයි. ජ්‍යෝතිෂයේ සඳහන් අන්දමට කේතුගේ දශා කාලයේ ද මෙම ධර්මතාවයේ සඳහන් කටුක අත්දැකීම් අපට සමීපවෙයි. එනම් අලාභ, අයස, අපහාස වැනි ජීවිතය දුකට පත්කෙරෙන දේය.

කේතු විවිධ ආකාරයෙන් අසුබ ප්‍රතිඵල හිමිකර දුන්නද අධ්‍යාපනය සම්බන්ධයෙන් යහපත් අයුරින් කටයුතු කරයි. කේතුගේ දශා කාලය තුළ අධ්‍යාපන අංශයෙන් මෙන්ම ගුප්ත ශාස්ත්‍ර අංශයෙන්ද ඉහළ දැනුමක් ලබා ගැනීමට හැකිවේ. කේතුගේ ශරීර ස්වභාවය පිළිබඳව විග්‍රහ කිරීමේදී මිනිසකුගේ හිසත් නාගයෙකුගේ සිරුරත් ඇති බව සඳහන් වෙයි. පාද නොමැති නිසා එක තැනකට වී සිටීමට ප්‍රිය කරයි. ජ්‍යොතිෂයේදී කේතු පොතේ ගුරා යන ආරූඨ නාමයකින් හඳුන්වයි. කේතු එක් තැනකට වී පොතක් අතේ තබා සිටින බුද්ධියට යම් සම්බන්ධකමක් දරන ග්‍රහයෙක් නිසා මෙසේ හඳුන්වන බව සිතිය හැකිය.

කේතු ප්‍රසිද්ධියට , මිත්‍ර සමාගමට එතරම් ප්‍රිය නොකරන අයෙක් වෙයි. එසේම රහස් කටයුතු, කුමන්ත්‍රණ කෙරේ දැඩි ඇල්මක් දක්වයි. හොර රහසේ අනියම් ප්‍රේම සබඳතා පවත්වාගෙන යාමටද කේතුගේ ස්වභාවය වෙයි. එක් තැනක සිටීමට ප්‍රිය අයෙක් වුවද සිතේ චංචල ගතියෙන් යුක්තය. සාධාරණයට කැමති ඉතා පිරිසිදු පරිසරයකට ප්‍රිය කරන අයෙක් ලෙසද කේතු හැඳින්වේ.

ජ්‍යොතිෂයේ දී කේතු ඡායා ග්‍රහයකු ලෙස හැඳින්වුවද එහි ක්‍රියාකාරීත්වය කෙරේ සලකා බැලීමේදී මිනිස් ජීවිතයේ පැවැත්මට දැඩි ලෙස බලපෑම් කෙරෙන අවස්ථාද බොහෝවිට දක්නට හැකියි. එනම් කේන්ද්‍රයක අසුබ ග්‍රහ පිහිටීමක් ලෙස සැලකෙන කාල සර්පයෝගය ඇති කිරීමට කේතුගේ නියෝජනයද ප්‍රබල වෙයි. එය යම් කේන්ද්‍රයක රාහුටත් කේතුටත් මැදිව අනිකුත් ග්‍රහයන් සත්දෙනා ඇතිවිට කාල සර්පයෝගය ක්‍රියාත්මක වේ. මෙහිදී රාහුගේ සර්ප හිසත් කේතුගේ සර්ප සිරුරත් එක්වීමෙන් සර්පයාගේ සිරුර සම්පූර්ණ වන බව දක්නට හැකියි.

රාශීන් අතර කේතුගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සැලකීමේදී කේතු වෘශ්චිකයේ උච්ච වේ. එසේම කේතුගේ ස්වක්ෂේත්‍ර වන්නේ මීනයේ දීය. කේතුගේ නීච රාශිය සෙල සැලකේන්නේ වෘෂභයයි.

කේතුගේ මිතුරු ග්‍රහයන් ලෙස සඳු, ගුරු, කුජ, නෙප්චූන් සහ ප්ලුටෝ හැඳින්වෙන අතර රවි බුධ හා රාහු සමග්‍රහයෝ වෙයි. කේතුගේ සතුරු ග්‍රහයන් වන්නේ සිකුරු, ශනි යුරේනස්ය. මහ දශා කාලය පිළිබඳ සැලකීමේ වසර 07ක කාලයේ කේතුට හිමි වේ.

කේතු දශාවේ කේතු අන්තරය (මාස 04 දින 27)

යහපත් පිහිටීමක් ඇතිවිට අධ්‍යාපන කටයුතු කෙරේ උනන්දුව, ගුප්ත කටයුතුවලින් ලාභ ප්‍රයෝජන, රහසිගත තිබූ වස්තුවක් හිමිවීම වැනි සුබ ප්‍රතිඵල හිමිවේ. එහෙත් කේතු දශාවේ සැප සම්පත් හීන කිරීමටත් රෝග ව්‍යාධි ඇතිවීමටත් හේතු වේ.

විශේෂයෙන්ම බෙහෙත්වලින් අනතුරුවීම විෂ සහිත ආහාර ශරීරගත වීම, උණරෝග ගෙඩි වණ කඩුවේගන් ඇතිවීමට හේතුවේ. ව්‍යාපාර කටයුතුවලටද යහපත් කාලයක් නොවේ. ව්‍යාපාර පිරිහීම, කොටස් වෙ‍ළෙඳපළ ගණුදෙනුවලින් අලාභ ඇතිවේ. ජන්මියාගේ සුපුරුදු කටයුතුවලට බාධා එල්ලවීම, නිදහස නැතිවීම හිතේ නොසන්සුන්භාවය, බිය ඇතිවීමටත් කේතු අන්තරය බලපානු ඇත.

නෑදැයන් සමඟ විරසක වීම නැතිනම් නෑයන්ගෙන් වෙන් වීම වැනි සිතට වේදනාව ඇතිවන දේ සිදුවේ. සිතේ ප්‍රීතිය නැතිවේ. කේතු අන්තරය ලැබූවිට බොහෝදෙනෙක් එක් ස්ථානයකට වී කටයුතු කිරීමට කැමතිය. දුර ගමන් බිමන් යෙදෙන්නේ කලාතුරකිනි.

කේතු දශාවේ ශුක්‍ර අන්තරය (වර්ෂ 01 මාස 02)

ග්‍රහයන් දෙදෙනාම සුබ දෘෂ්ටියට ලක්වීම හෝ සුබ පිහිටීමක් ඇතිවිට යහපත් ප්‍රතිඵල ඇතිකරයි. සිතේ ප්‍රීතිය, නැති වූ වස්තුවක් හෝ ධනය ලැබීම සුවපහසු පරිසරයක ජීවත්වීමට අවස්ථාව සැලසීම. දේපල යානවාහන ලැබීම. සුවපහසු ලෙස ජීවත්වීම‍ට අවශ්‍ය භෞතික සැප සම්පත් ලැබීම රූමත් කාන්තාවන්ගෙන් උපකාර ලැබීම. යහපත් දේ ලැබීම යනාදියයි.

ශූක්‍ර අනත්රය අයහපත්වූ විට දරුණු උණරෝග, පාචනය, දරුවන්ට රෝග, භාර්යාවට කරදර සහ රෝග ඇතිවීම සිදුවේ. දුක කනස්සල්ල ගෙනදෙන කරුණු කාරණා යෙදේ. චිත්ත පාලනය අසීරුවේ. නිතර කෝපයෙන් කටයුතු කිරීම අන් අය සමඟ දබර කරගැනීම වැනි අයහපත් දේට මුහුණ දීමට සිදුවේ. සැනසිල්ල අඩු කාලයකි.

කේතුගේ රවි අන්තරය ( මාස 04 දින 06)

ඥාන ශක්තිය වර්ධනය කෙරෙන කටයුතුවලට යොමුවේ. උගත් පුද්ගලයන් සමඟ ඇසුර ලැබේ. පොත පත කෙරේ උනන්දුව වැඩිවේ. එසේවුවත් කේතුගේ රවි අන්තරය එතරම් යහපත උදාවන කාලයක් නොවන බව ජ්‍යොතිෂයේ දැක්වේ. එදිනෙදා සාමාන්‍ය කටයුතු වුවද නිසියාකාරව කරගෙන යාමට නොහැකිවේ. වියදම් පාර්ශ්වය ඉහළ යයි. ඥාතීන් නිසාද මුදල් වැයවේ. නීතිමය ගැටලු නිසාද මුදල් වැයවේ. දඩ ගෙවීම්, රජයේ බදු මුදල් ගෙවීමට සිදුවේ. බන්ධනාගාර ගතවීම් ද මෙම කාලයේ දී සිදුවන අයහපත් දේ ලෙස සැලකේ. ගෘහ ජීවිතය එපාවන වැඩ කටයුතු යෙදේ. නිවස හැරයාම, පිට පළාත්වලට යාම මෙන්ම එක්තැනකට වී වැඩි කාලයක් නිකරුනේ ගතකිරීමට සිතේ. රවිගේ ශුක්‍ර අන්තරය තුළ ඇතිවන රෝග ව්‍යාධි අතර උෂ්ණ රෝග ප්‍රධාන වේ. ඊට අමතරව උණරෝග, ශරීර වේදනාවද, ඇස් අමාරුද ඇතිවිය හැකිය.

කේතුගේ චන්ද්‍ර අන්තරය (මාස 07)

යහපත් ග්‍රහ පිහිටීමක් ඇතිවිට සැප සම්පත් ඇතිවන කාලයකි. ඉඩකඩම් යානවාහන ලැබේ. ධනය ලැබෙන විවිධ මාර්ග පෑදේ. කරන කියන වැඩ කටයුතු නොසිතූ ලෙස සාර්ථක වෙයි. වතුපිටිවලින් ලාභ ප්‍රයෝජන නව ආයෝජන ඇතිවේ. එහෙත් දුර්වල ග්‍රහ පිහිටීමක් ඇතිවිට වස්තුව හානිවේ. සිතේ සතුට හීන වී යයි. කලකිරීම් ඇතිවීමට ඉඩ ඇත. මව්රට එපා වී විදේශ ගතවීමට කටයුතු කෙරෙයි. පිත්රෝග, සෙම්රෝග ඇතිවේ.

කේතු දශාවේ කුජ අන්තරය ( මාස 04 දි 27)

යාන වාහන ලැබීමට මෙන්ම රියදුරු වෘත්තියේ යෙදෙන අයට අතමිට සරුවෙයි. අත්හැර දැමූ පතපොත සම්බන්ධ කටයුතුවලින් ලාභ ලැබේ. එහෙත් තේකු‍ගේ කුජ අන්තරය රෝගාබාධ තරමක් බහුල කාලයක් වෙයි. රෝගාබාධ නිසා මුදල් වියදම් වෙයි. ශරීරයේ ලේ විෂ වීමෙන් ඇතිවන රෝග, ලේ ධාතුව සම්බන්ධ රෝග ඇති වේ. විභාගවලින් අසමත්වීම, අධ්‍යාපනය කඩාකප්පල් වීම සිදුවිය හැකිය. හදිසි අනතුරුවලට ලක්වීමටද ඉඩ ඇත. සිතේ නොසන්සුන් බව, කනගාටුව ඇතිවේ. නඩුහබවලට පැටලේ. ස්ථාන මාරුද මෙම කාලයේ ඇතිවන අනිකුත් අයහපත් ප්‍රතිඵල වේ.

(ඉතිරි කොටස ලබන සතියට)

ජ්‍යෙතිෂවේදී
මහේන්ද්‍ර පල්ලේබැද්ද

නව අදහස දක්වන්න