හරි දිසාවට ලිප | දිනමිණ

හරි දිසාවට ලිප

වාස්තු විද්‍යාවේ සඳහන් වන පරිදි නිවෙසක තිබිය යුතු ප්‍රධාන අංග කිහිපයකින් වැදගත්ම එකක් වන්නේ ගෙයි වර්ගළුලය. වාස්තු විද්‍යාවේ එන පරිදි නිවෙසේ වර්ගළුලය මත ගෙයි ආයුෂ කාලය, ලැබීම, වැය වීම, ගෙ හිමියාගේ නිරෝගී බව ආදී කරුණු යි.

වාස්තු විද්‍යා කටයුතු කරන සමහරුන් මෙය රහසක් හැටියට තබාගෙන සිටී. ඒත් එය සරල ගණිතමය ගැටලුවක්. ඔබට වැඩි කරන්න, බෙදන්න, එකතු කරන්න පුළුවන් නම් ඔබේ නිවෙසේ වර්ගඵලය අනුව සුබ අසුබ ඔබටම දැනගන්න පුළුවන්. නිවෙසක දිග හා පළල එකට වැඩි කිරීමෙන් තමයි වර්ගඵලය ලබා ගන්නේ.

අද බොහෝ දෙනා ගෙවල්වල දිග, පළල මනින්න උපයෝගී කරගන්නේ අඩි අඟල් වශයෙන්.ඉස්සර ගෙවල්වල දිග, පළල මැන්නේ වඩු රියන් ගණන‍ට. ඉතින් ඒ වඩු රියනට මැන්නත්, අඩි අඟල්වලින් මැන්නත් කමක් නැහැ. කොහොම ගත්තත් නිතරම ගෙයක දිග, පළල ගත යුත්තේ (ඔත්තේ ගණන්වලට සිටින ලෙසයි.)

පොදු වශයෙන් වඩු රියනට සම්මත අඟල් ගණන වන්නේ අඟල් 31යි. ඉතින් ඔබේ නිවෙසේ දිග, පළල මනින විට වඩාම සරල පහසු ක්‍රමය අඟල් 31 දිග, ඇද නැති කෝටුවක් මිනුම් දණ්ඩ ලෙස පළමුව සකසා ගන්න. මෙලෙසම පළලත් මැන ගන්න.

ඒ අනුව ඔබේ නිවෙසේ දිග වඩු රියන් 7,9,11,13,15,17 ආදී වශයෙන් යෙදේ නම් දිග පළල සුදුසු ලෙස යෙදී ඇත. කිසි විටෙකත් නිවෙසක් හරි හතරැස් නොහොත් දිගත්, පළලත් හරි සමානව නොගත යුතුයි. එමෙන්ම ගෙයි දිග, පළල මෙන් 3 ගුණයකට වඩා දිග නිවසද සුබ ඵල නොදෙන නිවසක්.

නිතරම පළල රියන් 9ක් දිග 11ක් 13ක් හෝ පළල රියන් 11ක් නම්, දිග රියන් 17ක්, 19 වශයෙන් හෝ පළල රියන් 13 නම් දිග 21,23 වශයෙන් ගැනීම සුදුසුය. මෙම දිග හා පළල එකට වැඩි කිරීමෙන් ගෙයි වර්ගඵලය ලැබෙනවා.

වාස්තු විද්‍යාවේ නියමයට අනුව රියන් 9,11 හෝ රියන් 9,13 හෝ රියන් 11,17 හෝ රියන් 13,21 වශයෙන් ලබා ගැනීම ඉතා සුදුසුම ගැළපෙන දිග, පළල ලෙස වාස්තු විද්‍යාවේ සඳහන්.

මෙසේ ඔබේ නිවසේ වඩු රියන් ක්‍රමයට මැන දිග පළල එකට වැඩි කර ලැබෙන උත්තරය පළමුව 8න් වැඩිකර 12න් බෙදන්න. එවිට ඉතුරු වන ශේෂය 6ට වැඩි නම් එය ඉතා සුබය. ලැබීම සහිත නිවසකි. උත්තරය 6ට අඩු නම් ලැබීම අඩු නිවසකි. එසේම ඔබ ලබාගත් ක්ෂේත්‍ර ඵලය 9න් වැඩි කර 10න් බෙදන්න. එවිට ඉතුරුවන ප්‍රමාණය 5ක‍ට අඩු නම් නිසසේ වර්ගඵලය ශුභයි. වැය අඩු නිවසකි. 5ක් ඉතුරු වුණේ නම් වැයපස වැඩියි.

එසේම මේ ක්‍රමයට ඔබේ නිවස ලැබීම් සහිතද? පාඩු සහිතද? කියා දැන් ඔබටම නිගමනය කර ගන්න පුළුවන්.

යම් විදිහකින් ලැබෙන ඵලය අසුබ නම් ඒ අනුව දිග හෝ පළල ස්ථානයට අනුව සුදුසු පරිදි වැඩිකර ගැනීමෙන් හෝ අඩු කර ගැනීමෙන් ඔබට ඵලදායී නිවසක් සකසා ගත හැක.

වාස්තු විද්‍යාව අනුව නිවසේ අය වැය සුබව පිහිටීම ඉතා වැදගත්. අද බොහෝ දෙනකු නිවෙස් සකස් කිරීමේදී වහල උළුඅහු, දිග, පළල පාද ආදිය ගැනම සිතනවා විනා වාස්තු විද්‍යාව අනුව නිවසේ කාමර, ලිප ආදිය ඉදිකළ යුතු දිශාව පිළිබඳ වැඩි සැලකිල්ලක් නොදක්වනවා.

නිවසට ඉතා වැදගත් තැනක් වන්නේ මුළුතැන්ගෙයි ලිප බැඳිය යුතු දිශාව ය. නිවෙසේ වැසියන්ට ප්‍රාණය රැකදෙන, බුද්ධිය, වර්ණය,ශක්තිය, ප්‍රබෝධය ගෙන දෙන ප්‍රධානම දෙය ආහාරයි. මේ නිසා ආහාර පිසීමට උපයෝගී කරගන්නා ලිප තැනිය යුතු දිශාව ඉතා වැදගත්.

මේ අනුව ලිප බැඳීමට සුදුසුම දිශාව වශයෙන් වාස්තු විද්‍යාවේ සඳහන් වන්නේ ගිනිකොණ දිශාව. නිවැසියන්ගේ සෞඛ්‍යයත් රැකගැනීමට ඉතා වැදගත් වන ලිප ගිනිකොණ දෙසට මුහුණලා ආහාර පිසින ලෙස ඉදිකිරීමෙන් සැප සම්පත් උදාකරයි.

ඔබ ලිප ගිනි මොලවන්නේ දකුණු දිගට මුහුණලා නම් නිතරම ‍ශෝකය හා හානි පැමිණේ. උතුරට මුහුණලා ලිප ගිනි මොලවන්නේ නම් අඹු සැමි භේද.

ඊශාන දිශාව බලා ලිප ගිනි මොලවන්නේ නම් දිළිඳු බව ඇති කරයි. නිරිත හා වයඹ දිශාව ද ලිප ගිනි මෙලවීමට අසුබ දිශා වන්නේ.

දැන් ඔබේ නිවසේ මුළුතැන් ගෙය නිරිත දිගින් සාදා සුදුසු දිශාව බලා ගිනි මෙලවීමට හැකිවන සේ ලිප හෝ පෝරණුව බැඳ ගැනීම වඩා සුදුසුම ක්‍රමය.

අද බොහෝ නිවෙස්වල ආහාර පිසීමට පාවිච්චි කරන්නේ ගෑස් උදුන් හෝ විදුලි උදුන් හෝ භූමිතෙල් උදුන් නිසා මෙය ඔබට පහසුවෙන් සුදුසු දිශාව බලා ලිප දැල්වීමට හැකි වන සේ ලිප ඒ ඒ දිශා ගතකිරීමට හැකියාව තියෙනවා. වැඩි වෙහෙසකින් තොරව එය කර ගැනීමෙන් ඔබට සැප සතුට හිමිය.

ජ්‍යෙතිෂවේදී
මංජුලා පුෂ්පකාන්ති

නව අදහස දක්වන්න