අභියෝග රැසක් මැද ශ්‍රී ලංකා පිල අද ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග බිමේ | දිනමිණ

අභියෝග රැසක් මැද ශ්‍රී ලංකා පිල අද ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග බිමේ

 ජාත්‍යන්තර ටෙස්ට් තරග බිමේ අංක එකේ කණ්ඩායම ලෙස පෙරමුණේ පසුවන ප්‍රබල ඉන්දීය පිල හමුවේ හැම අතින්ම බිංදුවට වැටී සිටියත් ඉන්දීය භූමියේ සිය පළමු ටෙස්ට් ජයග්‍රහණයේ සිහිනය සැබෑ කරගැනීමේ අධීෂ්ඨානයෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදි දෙපිල අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාවේ පළමු තරගය ආරම්භ කරයි.

පසුගිය දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානුවන් තරග 2-0කින් පූර්ණ වශයෙන් පරාජයට පත් කිරිම නිසා ඉහළ මානසිකත්වයකින් යුතුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමග අද තරගයේදී ඉතිහාසය වෙනස් කිරීමේ අභියෝගය ජයගැනීම නායක දිනේෂ් චන්දිමාල්ගේ එකම බලාපොරොත්තුව වී තිබේ.

පසුගිය ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දිය පිල හමුවේ ටෙස්ට් තරග 3කුත්, එක්දින තරග 5කුත්, විස්සයි20 තරගයකුත් වශයෙන් තරග 9න්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට ඉන්දීය භූමියේදි ඉන්දීය පිල පරාජය කිරීමේ අභියෝගය ජයගැනිම සුලුපටු කාර්යයක් නොවේ. එසේ වුවත් මේ තරගමාලාව සාර්ථකව ඇරැඹීමට නම් පළමු තරගයේ සිටම සත්කාරකයන් මෙල්ල කරගැනීමට සිදුවන බව හොඳින්ම දැන සිටින ශ්‍රී ලංකා පිලට‍ අද සිට පෙරළිකාර ක්‍රීඩා රටාවක නිරතවීමට සිදුවනු ඇත.

දෙපිල අතර මෙතෙක් පැවැති ටෙස්ට් තරග 41න් තරග 7ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වූවත් තරග 19ක ජය හිමිකරගනු ලැබුවේ ඉන්දීය පිල විසිනි. ඉන් තරග 10ක්ම ඉන්දියාව ජයගත්තේ ඉන්දීය භූමියේදීය. පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගමාලාව 3-0කින් ජයගැනීමත් සමග ශ්‍රී ලංකා භුමියේදී ඉන්දිය පිල ජයගත් ටෙස්ට් තරග සංඛ්‍යාව 9කි.

දෙපිල අතර මෙතෙක් පැවැති ටෙස්ට් තරග 41න් ශ්‍රී ලංකා පි‍ල ඉන්දීය භූමියේදී මීට පෙර ක්‍රීඩා කළ ටෙස්ට් තරග සංඛ්‍යාව 17කි. ඉන් තරග 7ක් ජයපරාජයෙන් තොරව නිමා කරගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වූවත් ඉතිරි තරග 10ම පරාජයට පත්විය. ඉන් තරග 8ක්ම ශ්‍රී ලංකාව පරාජයට පත්වූයේ ඉනිමකිනි. ඉතිරි තරග දෙකම පරාජයට පත්වූයේ ලකුණු 180කට අධික ප්‍රමාණයකිනි. එක් තරගයක් පරාජයට පත්වූයේ (දිල්ලි නුවරදී) ලකුණු 188කිනි. අනික (අහමදාබාද් නුවරදී ) ලකුණු 259කිනි. මේ තරග 2ම පරාජයට පත්වූ‍යේ 2005 දෙසැම්බරයේ පිට පිටමය.

එක් ටෙස්ට් තරගයකින් හැරෙන්නට අන් සියලු තරගවලදී ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරුවෝ ඉන්දිය භූමියේදි අන්තිම අසාර්ථක වූහ. වසර 2009 දී අහමදාබාද් නුවර පැවැති ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පිල කඩුලු 7කට ලකුණු 760ක් රැස් කිරිමට සමත්විය. ඉන්දීය භූමියේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ටෙස්ට් ඉනිම් 29කින් ඉනිමක ලකුණු 400 ඉක්මවීමට ශ්‍රී ලංකා පිල සමත්වූයේ අවස්ථා දෙකකදී පමණි. ඕනෑම රටකට ටෙස්ට් තරගයක් ජයගැනිමට නම් පළමු ඉනිමේ දී වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරිම තීරණාත්මක සාධකයකි. එසේ වුවත් ඉන්දීය භූමියේදී ශ්‍රී ලංකා පි‍ලේ පළමු ඉනිමේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 251කට වැඩි නොවේ.

එබැවින් ඉන්දීය භුමියේදී ටෙස්ට් තරගයක් ජයගැනිමට අසමත්ව සිටින රටවල් 3 වන ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා සිම්බාබ්වේ පිල අතරින් ඉදිරියෙන් පසුවන කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවට ඉතිහාසය වෙනස් කිරිමට නම් වැඩිම වගකීම පවරා ගැනීමට සිදුවනු ඇත්තේ ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ටය.

'පාකිස්තානයට එරෙහිව අපි හොඳින් ක්‍රීඩා කළා. ක්‍රීඩකයන් දැන් හොඳ මානසික මට්ටමකයි ඉන්නේ. ' ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් ඊයේ කීවේය.

'අපි දන්නවා ඉන්දියාව මේ මොහොතේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම බව. අන්තිම අවුරුදු 2දී ඔවුන් සාර්ථක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා. මේක අපිට අභියෝගාත්මක ටෙස්ට් තරගමාලාවක්. අපි කවදාවත් ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් ජයගෙන නෑ. ඉතිං මේ අවස්ථාවේදී ටෙස්ට් තරගයක් ජයගැනීම අපේ හීනයක්. ' ඔහු පැවැසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ අංශය ශක්තිමත් කරමින් හිටපු නායක ඇන්ජෙ‍‍ලෝ මැතිව්ස් යළි කණ්ඩායමට එක්වී සිටී. ඔහු මේ තරගමාලාවේදී පන්දු නොයවන බැවින් වැඩි අවධානය පිතිහරඹයට යොමු කරනු ඇත.

අනිත් අතට පාකිස්තානු තරගමාලාවේදී වැඩිම ලකුණුලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ගෙන දෙනු ඇත.

අවසන් වතාවට 2009දී ඉන්දියාවේ සංචාරය කරමින් ටෙස්ට් තරගමාලාවකට එක්වූ ශ්‍රී ලංකා පිලේ අද තරගයට ක්‍රීඩා කිරීමට ඉතිරිව සිටින්නේ ඇන්ජෙලෝ මැතිව්ස් සහ සුපිරි දඟපන්දු යවන්නා වන රංගන හේරත් පමණි. ඉන්දීය කණ්ඩායමේ එවර නායකයා ලෙස කටයුතු කළ මහේන්ද්‍ර සිං දෝනි දැන් ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටින අතර එවර තරගමාලාව වෙද්දී වත්මන් නායක විරාත් කෝලි ටෙස්ට් වරම් ලබා සිටියේ ද නැත. එවර තරගමාලාවෙන් අද ඉතිරිව ඇත්තේ ඉෂාන්ත් ෂර්මා සහ මුරලි විජේ පමණි.

මේ තරග‍මාලාවේදී පිතිකරුවන්ට වැඩි වගකීමක් පැවැරී තිබුණත් පන්දු යවන්නන්ට ඉටු කිරිමට ඇති වගකීමත් සුලුපටු නොවේ. ඉන්දීය ටෙස්ට් පිලේ පිතිහරඹ ලැයිස්තුව ඉතා ශක්ති සම්පන්න බැවින් ශ්‍රී ලංකා පි‍‍ලේ පන්දු යවන්නන්ට උපරිම අයුරින් ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත. ඉන් වැඩිම කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි කවුරුත් බලාපොරොත්තු තබා සිටින්නේ දඟපන්දු යවන රංගන ‍හේරත් කෙරෙහිය. ඔහු පසුගිය කාලයේ ශ්‍රී ලංකා ටෙස්ට් පිටියේ තරග දිනවන්නා බවට පත්ව සිටියේය. ශ්‍රී ලංකාව ජයගත් පාකිස්තානු ටෙස්ට් තරගමාලාව පුරා ඔහු විසින් බිඳ දමනු ලැබූ කඩුලු සංඛ්‍යාව 16කි. ඉන් 11ක්ම ඔහු බිඳ දැමුවේ අබුඩාබි නුවර පැවැති පළමු ටෙස්ට් තරගයේදීය.

ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම මුහුණුවරකින්ම ඉදිරියෙන් සිටින පිතිකරු ලෙස නායක විරාත් කෝලි සිය පෞද්ගලික දස්කම් මෙන්ම සමස්ත කණ්ඩායමේ දස්කම් ද ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගමාලාවේදී නැවත මුවහත් කරගැනීමට බලා සිටී.

ඔහුගේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකා පිල බිමට ඇද දමා ටෙස්ට් පිටි‍යේ අංක එක ස්ථානය තවදුරටත් රැක ගැනීමය. අනිත් අතට වසර 2015දී දකුණු අප්‍රිකාව හමුවේ එක්දින තරගාවලියෙන් පරාජය වූවාට පසුව ඉන්දීය පිල ඔවුන්ගේ භූමියේදී මෙතෙක් ටෙස්ට්, එක්දින හෝ විස්සයි20 තරගාවලියක් පරාජය වී නැත. ඒ වාර්තාවත් තව දුරටත් රැකගැනීම කෝලිගේ අභිලාෂය වනවාට සැකයක් නැත.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න