ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරු හතුරුසිංහ | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරු හතුරුසිංහ

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත් කරන්නේද යන්න පිළිබඳ අනාවරණය කිරීමට තවත් කාලය තිබෙන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. එසේවුවත් බංග්ලාදේශයේ පුහුණුකරු ලෙස ඔහු ලබන අමෙරිකානු ඩොලර් 40,000කට අධික වැටුප ඉවත දමමින් සියලු අභියෝග මැද තම මවුබිමට සේවය කිරීමට ඔහු පැමිණෙනු ඇත්තේ එතරම් විශාල වැටුපක් බලාපොරොත්තුවෙන් නොවන බව ද ක්‍රීඩා ඇමැතිවරයා පැවසීය.

‘ඔහුට බංග්ලාදේශයේ ක්‍රිකට් පාලක මණ්ඩලය සමග නිමා කරගත යුතු තවත් කටයුතු කිහිපයක් තිබෙනවා. එය නිමවූ විගස ඔහු ගැන අපිට නිවැරැදිව යමක් ප්‍රකාශ කළ හැකියි. තවම ඔහුගේ පත්වීම ගැන යමක් සඳහන් කිරිමට මා හදිස්සි වෙන්නේ නෑ.‘ දයාසිරි ජයසේකර මහතා ඉඟියක් පළ කරමින් එසේ සඳහන් කළේය.

චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස පැමිණෙන්නේ නම් තමා ඉතා කැමැත්තෙන් ඊට අනුමැතිය ලබා දෙන බවත්, ඔහු ඉතා ආදරයෙන් පිළිගන්නා බවත් ක්‍රීඩා ඇමැතිවරයා කියා සිටියේය.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මේ අදහස් පළකළේ ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘චන්දිකට මුලින්ම රටට එන්න ඉඩදෙන්න. ඊට පස්සේ තනතුර ලබා දීම ගැන කතා කරමු. ඔහුගේ කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීරත් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස එක්වී සිටිනවා. ඒ කාලයේ ක්‍රිකට් පුටුවල රජකරගෙන සිටි අය චන්දිකව එළෙව්වා. අද ඔහුට නිසි තැන ලබාදීමට අපි කටයුතු කරනවා.‘ දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

නව අදහස දක්වන්න