රිදී තිරයට හරි ගියාට දේශපාලනයට ගීතා හරි නැහැ | දිනමිණ

රිදී තිරයට හරි ගියාට දේශපාලනයට ගීතා හරි නැහැ

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ

ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය අහිමි වීම හේතුවෙන් නැවත පාර්ලිමේන්තු ඒමට ලැබීම, පසුගිය මැතිවරණයෙන් පරාජය වීමට ‍හේතුව, අයවැය, තනතුරු බලාපොරොත්තුව, ශ්‍රීලනිපයෙන් විපක්ෂයට එක්වීමට පිරිසක් ඇති බව කියැවෙන මතය ආදිය ගැන අදහස් පළකරමින් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මැති හමුවට එක්වේ.

* මහින්ද අපට වඩා නිළියන්ට සැලකුවා
* ශ්‍රීලනිපයෙන් කවුරුත් යන්නෙ නෑ
* ගෙදර හිටිය කාලෙ මිනිස්සු හඳුනගත්තා

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා යළිත්වරක් ඔබට පාර්ලිමේන්තුවේ දොරටු විවර වුණා. ඔබට සතුටුයිද දැන්?

පාර්ලිමේන්තුවට එනවා කියන එක ඇත්තටම සතුටක් තමයි. ඒක කියන්න දෙයක් නෑ. මම 1989 වසරේ ඉඳල 2015 මැතිවරණය දක්වා අඛණ්ඩව දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරුවා. පසුගිය මහ මැතිවරණයේ දී මට එරෙහිව ආපු ඇතැම් බලවේග නිසා ඒ අවස්ථාව ගිලිහී ගියා. මට විතරක් නෙවෙයි හැම දිස්ත්‍රික්කයකම පක්ෂය වෙනුවෙන් කැපවුණු දරදිය ඇද්ද බොහෝ දෙනෙකුට පාර්ලිමේන්තුවට එන්න හැකියාවක් ලැබුණේ නෑ.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වූ පසු එතුමාගේ දින සියයේ ආණ්ඩුවේ අපි ඇමැතිකම් දැරුවා. ජනාධිපතිතුමාට සහාය වුණා. ඒ අයගෙන් බොහෝ දෙනෙකුට පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට එන්න හැකියාවක් ලැබුණේ නෑ. මට, එස්බීට, විජිත් විජයමුණිට, ඩිලාන්ට, ලක්ෂ්මන් යාපා, මහින්ද සමරසිංහ ,ජගත් පුෂ්ප කුමාර අපි කාටවත් පාර්ලිමේන්තුවට එන්න බැරි වුණා. ඒකට හේතුව තමයි අපි දිනුවොත් යුඑන්පියට එකතුවෙනවා කියලා පක්ෂය අභ්‍යන්තරයේ කුමන්ත්‍රණයක් ගෙනයෑම.

ගීතා කුමාරසිංහ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නවක සංවිධායකවරියක්. ඔබ වැනි වසර විසිපහක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ගාල්ල දිස්ත්‍රික්කයේ නායකත්වය දරපු අයෙක් ප්‍රතික්ෂේප කර ගීතා කුමාරසිංහ වැන්නියක් කරළියට ගේන්න ජනතාව කටයුතු කරන්න ඇත්තේ ඇයි?

සිනමා ක්ෂේත්‍රයෙන් ගත්තොත් ගීතා අග්‍රගන්‍ය නිළියක්. ඒත් දේශපාලන ක්ෂේත්‍රයේ නම් ඇගේ භූමිකාව අසාර්ථක බවයි පේන්නේ. ඒ බව ඇය දැනටමත් ඔප්පු කරලා හමාරයි. හැබැයි මම මෙතනදී ඉගෙනගත්ත දෙයක් තමයි පාරවල් හැදුවට, ලයිට් දුන්නට, රස්සාවල් දුන්නට, ඉස්කෝල හැදුවට, ගම් හැදුවට අවසානයේ මැතිවරණයේ දී ඡන්දදායකයෝ මේවා ගැන හිතුවේ නෑ. එයාලා රැල්ලට රැවටුණා. ඒ වෙලාවේ ආපු බලවේගවලට හසු වුණා. මංමුලා වුණා. ඡන්දෙන් මාව ප්‍රතික්ෂේප වෙන්න කිසිම හේතුවක් නෑ. මම වැරදි වැඩ කරලා නෑ. කරපු තරම් කරලා තියෙන්නේ හොඳ වැඩ. සමහරු අපේ පාක්ෂිකයන්ගේ ඔළුව විකෘති කළා. ගීතලා කියන්නේ ක්ෂණිකව ජනප්‍රිය වෙන අ‍යනේ. ඒ ජනප්‍රියත්වයට අපේ දේශපාලන නායකයොත් ප්‍රධාන අවස්ථා සලසා දුන්නා. පක්ෂය බලයට ගේන්න දර දිය ඇද්දේ අපියි. සමහරු පක්ෂය නිසා හිර ගෙවල්වල ලැග්ගා. ඒ වගේ අයට ගීතලා වගේ අය දැමීම නිසා අසාධාරණයක් වුණා. මට විතරක් නෙවේ පක්ෂය වෙනුවෙන් දාඩිය මහන්සිය හෙළපු දර දිය ඇද්ද විශාල පිරිසකට මේ අසාධාරණය වුණා.

ඔබ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දීර්ඝ කාලයක් දර දිය ඇදපු අය පැත්තකට දාලා ගීතා වැනි නවකයන්ට පක්ෂ නායකත්වය වැඩි සැලකිලි ලබා දුන් බවද?

පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මහත්තයා අපිට වඩා ගීතාට පහසුකම් සැලසුවා අනුග්‍රහය ලබා දුන්නා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගේන්න දහදුක් වින්දා. එහෙම කරලා තමයි 1994 දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කළේ. පක්ෂය ශක්තිමත් කරන්න කටයුතු කළ අයට කෙනෙහිළිකම් කරලා පිටින් ගෙනත් දැම්මා. දැන් බලන්න දකුණු පළාත් සභාවට අනර්කලී ආකර්ශා දැම්මා. කොහේ හිටපු කෙනෙක්ද දේශපාලනයේ අයන්නවත් දන්නවාද? එයා නිළියක් විදියට ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒත් අපේ පළාතෙවත් හිටපු කෙනෙක් නෙවෙයිනේ. අපේ දේශපාලන නායකයින් රූ සපුව නිසා ජනප්‍රිය වුණ නිළියන්ව දේශපාලනයට ගෙනාවා. නායකත්වය තුළින් ආපු තල්ලුවත් එක්ක තමයි මේ අය ජයග්‍රහණය කෙළේ.

අනර්කලී ලා ගීතලා දේශපාලනයට ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා පක්ෂ නායකත්වය දරපු යුගයේ නේද...?

පැහැදිලිවම ඔව්. මහින්ද මහත්තයා තමයි ඒ වගේ වැඩ කළේ. ඒත් සිරිමා බණ්ඩාරනායක මැතිනිය චන්ද්‍රිකා මැතිනිය කවමදාවත් ඒ වගේ වැඩ කළේ නෑ. ඒ කාලේ දිස්ත්‍රික්කයකට හරි ආසනයකට හරි සංවිධායකවරයෙක් ‍පත් කරන්නේ, ඡන්දයට ඉදිරිපත් කරන්නේ එතෙක් හිටපු ක්‍රියාකාරි පිරිසට දන්වලා. ඒ අය දැනුවත් කරලා. ඒ අයගේ එකඟතාව මත. චන්ද්‍රිකා මැතිනියත් දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරි අයගෙන් එහෙම තනතුරක් දෙනකොට අහනවා. මේ වගේ උඩින් ගෙනත් අතඅරින්නේ නෑ.

ඔබ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා සංවිධායකවරුන් පත් කිරීමේදී අත්තනෝමතික ලෙස කටයුතු කළා කියලද?

නැත්තං. මහින්ද මහත්තයාට ඕනෑ අයට සංවිධායකකම් දුන්නා. එපා අය ඉවත් කළා. අනර්කලී ඡන්දෙට දැම්මෙත් ඒ වගේ. ගීතා දැම්මෙත් එහෙමයි. ගීතලා රූපවාහිනී වැඩසටහනකට සහභාගි වුණහම පත්තරවල සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වුණහම රැස්වීමකදී කතා කළහම මිනිස්සුන්ට තේරෙනවානේ එයාලට තියන දේශපාලන දැනුම මොකක්ද කියලා. අර රැලියකටත් කෝටි ගාණක් ආවා කියලත් කිව්වනේ. ඒ වගේ අයට අවස්ථාව සලසලා දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. කලා ලොවට ගීතා අගෙයි. ඒත් දේශපාලනයට ඇය නොගැලපෙන බව ඇය විසින්ම ඔප්පු කරලා තියනවා. ඒ වගේ අයට අවස්ථාව සලසලා දුන්නේ හිටපු ජනාධිපතිතුමයි.

අපේ රටේ බොහෝ දෙනා එකතුවෙන්නේ තනතුරු හා වරප්‍රසාද ඇති අය සමග පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය නොමැති කාලයේ කවර විදියේ අත්දැකීම්වලට මුහුණදීමට ඔබට සිදු වුණාද?

මම පාර්ලිමේන්තුවට ආවේ 1989. ඒ කාලේ ඉතා අසීරු කාලයක්. එක් අතකින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අනෙක් අතින් රාජ්‍ය ත්‍රස්තවාදය. තව අතකින් ජේ.වී.පී. ත්‍රස්තවාදය. එදා සිට 2015 දක්වා මන්ත්‍රී, නියෝජ්‍ය ඇමැති, ඇමැති විතරක් නෙවෙයි ජ්‍යෙෂ්ඨ ඇමැතිධුරත් දැරුවා. යහපාලන ආණ්ඩුවේ දින සීයේ වැඩ සටහන කාලේදීත් ඇමැතිවරයෙක් විදියට කටයුතු කළා. පක්ෂයේ උප සභාපති, දිස්ත්‍රික්කයේ නායකයා. මේ මැතිවරණයෙන් පරාජය වුණාට මා තැවුණේ නෑ. මා මන්ත්‍රි ධුරයක් දරපු වසර 27 ට වඩා මන්ත්‍රි ධුරයක් නැතිව හිටපු කාලය මගේ ජීවිතයේ සුන්දරම අවදියක්. ලබන්න පුළුවන් ඉහළම අත්දැකීම් ලැබුවා. මිනිස්සු හඳුන ගත්තා. අපිත් එක්ක හිටපු යාළුවෝ කවුද කියලා දැන හඳුන ගත්තා. වෙන කිසිම කාලෙක මේවා හඳුනගන්න බැරි වුණා. පහුගිය කාලේ තමයි කවුද මිනිස්සු කියලා හඳුනගත්තේ.

ඔබ වසර 27ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයෙක්. ඒ වගේම ශ්‍රී.ල.නි.ප. යේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක්. ඉදිරියේදී ඔබට කැබිනට් ඇමැති ධුරයක් ලැබේවි කියා හිතෙනවාද?

ඇමැතිධුරයක් ඇත්තටම ලැබෙන්න ඕනෑ නේ. මං මන්ත්‍රීවරයෙක් විදියට තියාගෙන ඉන්න ජනාධිපතිතුමාටත් බෑ. ජනාධිපතිතුමයි මායි එකට පාර්ලි‍මේන්තුවට ආවේ. ජ්‍යෙෂ්ඨත්වයේ ඉහළම තැනක අපි ඉන්නවා. ජනාධිපතිවරයාත් හිතුවේ මගේ මන්ත්‍රී නඩුව ඉක්මනින් අවසන් වෙයි කියලා. ඒත් ඒක වසර ගාණක් ඇදී ගියා. අපි තනි ආණ්ඩුවක් නෙවෙයි පක්ෂ දෙකේ එකතුවක් සභාග ආණ්ඩුවක්. මෙතනදී ජනාධිපතිතුමා මා පිළිබඳ ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. මා ඒ තත්ත්වය හොඳින් තේරුම් අරන් ඉන්නවා. ඇමැති ධුරයක් ටිකක් ප්‍රමාද වුණා කියලා මා කලබල වන්නේ නෑ. කොහොම හරි ඉදිරි කාලයේ මට කැබිනට් ඇමැති ධුරයක් ලැබෙයි. ඒත්... ඒ මත්තේ හැපෙන්න මට උවමනාවක් නෑ.

පොදුජන පෙරමුණේ මංගල රැලිය අනුරාධපුරයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ශ්‍රී.ල.නි.ප.මන්ත්‍රීවරුන් ලෙස පෙනී සිටිමින් වෙනත් පක්ෂ ප්‍රවර්ධනය කළ හැකි ද?

පැහැදිලිවම බෑ. හැබැයි මේ අය කරන විනය විරෝධී කටයුතු පිළිබඳ ජනාධිපතිතුමා මුල ඉඳලම ඉවසුවා. කලබල වුණේ නෑ. හැබැයි මුල ඉඳලම ජනාධිපතිතුමා ක්‍රියා කළා නම් අද මේ වගේ දේවල් නොවෙන්නත් තිබුණා. දැන් පක්ෂයේ විනයක් නීතියක් මුකුත් නෑ. ඒ ඔක්කෝම ඒ ගොල්ලෝ උල්ලංඝනය කරලා. ප්‍රමාදවෙලා හරි මේ කටයුතුවලට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත හැකිව තිබෙනවා. විනය විරෝධිව කටයුතු කරන මේ අයට මධ්‍යම කාරක සභාව තවම විනය නීතිරීති අරන් නෑ. ඉදිරියේ දී විනය ක්‍රියාමාර්ග ගනියි.

කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, සී.බී.රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, දිලුම් අමුණුගම ආදින්ගේ ශ්‍රී.ල.නි.ප. සාමාජිකත්වය අහෝසි කිරීමේ සූදානමක් තිබෙනවාද?

මං දකින විදියට අපි සාමාජිකත්වය අහෝසි කරන්න පෙර ඉබේම එයාලගේ සාමාජිකත්වය අහෝසි වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි වෙනත් පක්ෂයක සාමාජිකත්වය දැරීම. එයාලා සිය කැමැත්තෙන් ඉවත් වේවි. මින් සමහර අයගේ ආසනවලට අපි සංවිධායකවරු දාලා තියනවා. දැන් එයාලා අපේ පක්ෂය සමග කටයුතු කරන්නේ නෑ. ඒ වෙනුවට වෙනත් අය දාලා තමයි අපි පක්ෂයේ කටයුතු කරගෙන යන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නීති විරෝධියි. එය බල ශුන්‍ය කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් කථානායකවරයා මේ ව්‍යවසනයට වගකිව යුතු බවට විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ ඇමැතිවරයා කියනවා. ඒ ගැන ඔබේ ප්‍රතිචාරය කෙබඳුද?

මට නම් තේරෙන්නේ නෑ. ජනාධිපති නීතිඥ හිටපු අධිකරණ ඇමැති අපේ මිත්‍ර විජයදාස රාජපක්ෂ මහතා ‍මොනවා කියවනවද කියලා මම නීතිඥයෙක් නෙවෙයි. හැබැයි එතුමාම තමයි මේවා පාර්ලිමේන්තුවට ගෙනාවේ ගෙනාවා විතරක් නෙවෙයි ඡන්දෙත් දුන්නා. දැන් එයා කටයුතු කරන්නේ කාලානුරූපව. එක කාලෙකට එකක්. තව කාලෙකට තව එකක්. එයාමයි මේකෙ මැදිහත්කරුවෙලා පාර්ලිමේන්තුවේ දේශන තියලා මිනිස්සු දැනුවත් කරලා තිර රචනා ලියලා මේවා ගෙනාවේ. දැන් එයාට මොනවා වෙලාද කියලා මං දන්නේ නෑ.

ගීතාගේ මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා ගාල්ල සන්ධාන ලැයිස්තුවම අවලංගු විය යුතු බවට අජිත් පී.පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා නීති තර්ක නගනවා. මේ ගැන මොකද හිතන්නේ.

මං නීතිඥයෙක් නෙවෙයි. ඒ වුණාට රටේ කෙරෙන නීතිය පිළිබඳ පොඩි දැනුමක් තියනවා. ඒවා අනුවනම් අපිට එහෙම දෙයක් තේරෙන්නේ නෑ. නීතිඥවරු ඉතිං දෙපැත්තටම කතා කරනවානේ. හොඳ පැත්තටත් කතා කරනවා. නරක පැත්තටත් කතා කරනවා.

අයවැය අතරතුර ශ්‍රී.ල.නි.ප. ඇමැතිවරු පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට එක්වෙනවා කියන කතාව ගැන මොකද කියන්නේ?

ඕක ඉතිං හැමදාම කියන එකක් නේ. අද කියන එකක් යෑ. පෝයට යනවා කීවා. අවුරුද්දේ මුල යනවා කීවා. මේවා කියන්නේ කුතුහලය ඇති කිරීමටයි. ඒ ප්‍රකාශවල ඇත්තක් නැ.

යහපාලන රජයේ තෙවන අයවැය ගැන මොකද හිතන්නේ?

රට සංවර්ධිත රටක් බවට පත් කරන්න පරිසරය සුරකින්න කරුණු ගණනාවක් යටතේ ප්‍රතිපාදන ගෙනත් තියනවා. රට දරිද්‍රතාවයෙන් මුදා ගැනීම සඳහා යම් පියවරක් මේ අයවැයෙන් ගනියි කියලා මා හිතනවා.

ගාමිණී බණ්ඩාරනායක 

නව අදහස දක්වන්න