බෝට්ටුවකදී කංගැට්ටා කොටුවේ | දිනමිණ

බෝට්ටුවකදී කංගැට්ටා කොටුවේ

කටුෙගයින් පැන්නූ කඩුව සෙවූ CID වික්‍රමය
10 කොටස

“තමුන් මොකද මෙතන කරන්නේ?”

“මං අර..‘....බීච් එකේ සයිට් එකේ වැඩ කරන්නෙ. ඇතුළ රස්නෙ හින්දා හුළං ටිකක් වැදි වැදී

නිදාගන්න ආවා”

“ලංසාගේ ප්‍රියන්ත මේදිස්‘ කියන්නෙ තමුන් නේද?”

“ඔව් සර්. සර්ලා එන බව මං

දැනගෙන හිටියා. මං හිටියේ සර්ලා හම්බවෙන්න තමයි”

“ආහ් ඇත්තද? ඔව්. අපිත් සෑහෙන දවසක ඉඳලා බලාගෙන හිටියේ තමුන් හම්බවෙන්න තමයි.. දැන් නැඟිටිනවා...”

දුරකථනය භාවිතා කළ පුද්ගලයා ඔහුගේ අනියම් සම්බන්ධය නවත්වන බවට පොරොන්දුවීම නිසාත්, මොහුගෙන් දැනගත යුත්තේ වෙනස් තොරතුරක් නිසාත් විමර්ශන නිලධාරීහූ ඔහු සමග පැවති වෛරීය කතා බහ ක්‍රමයෙන් සුහද කතා බහක් බවට පරිවර්තනය කරගත්හ. තමන් පැමිණියේ මත්පැන් බෝතලයක් ගෙනයාමට බැව් පැවසූ පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා, මෙම දෙදෙනාටද මත්පැන් පානයට ආරාධනා කළේය. මේවන විට විරසකය යම් දැන හැඳින ගැනීමකට පරිවර්තනයවී තිබුණු නිසාම සෙසු පිරිස උපායශීලි ලෙස ආරක්ෂාව සඳහා දුරින් ස්ථාන ගත කොට විමර්ශන නිලධාරීන් දෙදෙනා ඔහු සමග මත්පැන් සාදයකට එක්වූහ. වඩියක් දෙකක් හිස්වෙමින් ටික වේලාවක් ගිය පසු ක්‍රමයෙන් ඔහු සමග කතාවට වැටුණේය.

“ඔයාගෙ ගෙවල් කොහෙද?

“ත්‍රීකුණාමලයෙ. මං මෙහෙට ඇවිත් මාස තුනක් විතර වෙනවා“

“එතකොට සතියකට සැරයක් ත්‍රීකුණාමලේ යනවා කීවේ ගෙදරද?

“නෑ. සිමෙන්ති, යකඩ, කම්බි එහෙම ගේන්න යනවා. ඒ ගිය ගමන් වෙලා තිබුණොත් ගෙදරටත් ගොඩවෙලා එනවා.“

“ඔයා තනියමද යන්නේ?

“අපෝ නෑ. තවත් එකෙක් දෙන්නෙක් යනවා.“

“මේ ෆෝන් එක පාවිච්චි කරන්නේ ඔයා විතරද?

“නෑ. අපි දුර යද්දි මං එක්ක යන උන් දෙන්නත් උන්ගෙ සිම් දාලා මේ ෆෝන් එකෙන් කතා කරනවා. මගේ ළඟම ඉන්න එකාගෙ ගල්ගමුව පැත්තෙ කෑල්ලක් ඉන්නවා. මිනිහ මාරෙට ලව් ඒකට. ළමයිනුත් ඉන්නවා ඒකිට. ඒත් ඒකිත් මූට පණ දෙන්න කතාව. “

“උඹත් ඒකිට ඌ නැති වෙලාවට කතා කරනවද?“

“පිස්සුද මං එහෙම නෑ. මේක වැරදිලා වෙච්චි දෙයක්. මං එහෙම කෙනෙක් නෙවෙයි“

මෙවන් කතා බහ යමින් තිබියදී ගල්ගමුවේ සුවිනීතා සමග සබඳතාවයක් පවත්වාගෙන යන, කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු වන ප්‍රියන්ත මේදිස් නොහොත් කංගැට්ටා මොහුගේ මිතුරෙකු බවත්, ඔහු මේවන විට සිටින්නේ මොහු සේවය කරන ‘...බීච්‘හෝටල් වැඩබිමේ බවත් විමර්ශන නිලධාරීන්ට සැකයකින් තොරව තහවුරු විය. අවසානයේදී සිවිල් ඇඳුමින් සිටින විමර්ශන නිලධාරියෙක් අවසන් තුරුම්පුව දමා ගැසුවේය.

“ගල්ගමුවේ ගෑනියෙකුට ඔයාගේ ෆෝන් එකෙන් කතා කරනවා කියපු ඔයාගෙ යාළුවා මෙයා නේද?

ඡායාරූපය දුටු ඔහු මොහොතකට ගල් ගැසුණේය.

“ඔව්. ඔයගොල්ල කවුද? එයාගෙ ෆොටෝ එකක් ඔයාලා ළඟ ඇයි? ඔහු සැකයෙන් යුතුව විමසුවේය.

“ඒ කාරණා අදාළ නෑ. දැන් මෙයා කෝ? විමර්ශන නිලධාරියා තීරණාත්මක පැනය ඇසුවේය.

“ඉන්නවා. මගේ අල්ලපු ඇඳේ. දැන් මං එනකොටත් එයා හිටියා“ ඔහු කියා සිටියේය.

කුමක් හෝ තමන් නොදන්නා වෙනත් යමක් සිදුවන බවත්, මෙම පිරිසේ ඉලක්කය තමා නොවන බවත් ඒ මොහොතේ ඔහු අනුමාන කළේය. ඒ නිසාම ඔහු දිගින් දිගටම තමා නිදහස් කරන ලෙසත්, තමා අහිංසකයකු බැවින් තමාට වැඩබිමට යාමට අවස්ථාව දෙන ලෙසත් ඉල්ලා සිටියේය. ඒ වන විටත් මොහුගේ දුරකථනය විමර්ශන නිලධාරීන් අත පැවතිණි. මොහොතක්කල්පනාකර උපායශීලිව අවට දුරින් ස්ථානගතව සිටි නිලධාරීන් සමගද පණිවිඩ හුවමාරු කර ගැනීමෙන් පසුව පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා තීරණයකට එළඹියේය. මොහුට යාමට අවස්ථාව දුනහොත් නිසැකයෙන්ම ඔහුගේ මිතුරා වන කංගැට්ටාට ඔහු සොයා කිසිවෙකු පැමිණි බවට ආරංචිය ලැබෙනු ඇත. යළිත් වරක් ඔහු සොයා ගැනීමේ මෙහෙයුම් මුල සිට ආරම්භ කිරීමට සිදුවනු ඇත. ඒ නිසාම මේ ගැටලුව මෙතැනින් මේ මොහොතේම අවසානයක් දැකිය යුතු බව ඔහු නිගමනය කළේය.

“නෑ. ඔයා තනියම යන්නෙ නෑ. අපිත් එනවා. අපිට අවශ්‍ය ඔයා නෙවෙයි එයා.“

විමර්ශන නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු මෝටර් රථයේ ඉදිරි පස අසුනට පැමිණියේය. අනෙක් නිලධාරියා තම පිස්තෝලයද සූදානම් කරගෙන දුරකථන හිමියා සමග පිටුපස අසුනට විය. රියදුරු ධර්මලිංගම් හෙමින් හෙමින් මොවුන් තිදෙනා රැගත් මෝටර් රථය ‘...බීච් හෝටල් වැඩබිම අසලට ගෙනාවේය. මේ අතර ඉදිරිපස අසුනේ සිටි නිලධාරියා සෙසු නිලධාරීන් සමග දුරකථනයෙන් සම්බන්ධීකරණය වෙමින් ඔවුන් සියලුම දෙනා අදාළ වැඩබිම අවට රැකවල්හි යෙදුවේ හදිසි උපකාරයක් අවශ්‍ය වුවහොත් අවදානම අවම කර ගැනීමටය.

වැඩබිම සම්පූර්ණයෙන්ම තහඩුවලින් ආවරණය කර තිබුණු අතර දොරටුව පමණක් වැසීමට හා විවර කිරීමට හැකි තහඩු දොරකින් සමන්විත විය. එතැන ආරක්ෂක කුටියකි. එම ස්ථානයේ හෙල්මට්, ජැකට් හා ඇතැම් උපකරණ අංක යොදා ගබඩා කර තිබුණු අතර වැඩබිමට ඇතුළුවෙන්නන් තම තමන්ගේ හෙල්මට් හා උපකරණ එතැනින් ගෙන වැඩබිමට ඇතුළුවිය යුතු විය. පිටස්තර පුද්ගලයින්ට වැඩබිමට ඇතුළුවීම ‘සපුරා තහනම්‘ වන බවට දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබිණි. එකී දැන්වීම් ප්‍රකාරවම ආරක්ෂක නිලධාරීන් වහා පිරිස නැවැත්වීය. පළමුව එක් නිලධාරියෙකුද, දෙවෙනුවට වැඩබිමේ සේවකයා වූ දුරකථන හිමියාද, ඔහු පසුපසින් අනෙක් නිලධාරියාද වූහ.

“ඔය ගොල්ල කවුද? කාටවත් ඇතුළට යන්න බෑ. ඔයා ඇයි ඔය පෝළිමේ? ආරක්ෂකයෙක් සද්දය දැම්මේය.

“අපි පොලීසියෙන්. අපට හදිසියකට ඇතුළට යන්න ඕන“ඉදිරියෙන් ගිය විමර්ශන නිලධාරියා එක් අතකින් තම රාජකාරි හැඳුනුම්පතද, අනෙක් අතින් තමා අත ඇති පිස්තෝලයද පෙන්වීය.

දොරටුව විවර විණි. තිදෙනාම තහඩුවලින් ආවරණය කළ වැඩබිම ඇතුළට පැමිණියහ.

“යමං.. මිනිහා හිටපු තැන පෙන්නපන්“ නිලධාරියෙක් ඔහු ඉදිරියට තල්ලු කළේය. ඉදිරියට ටික දුරක් ගිය ඔහු එක් තැනක නතර විය. වැඩබිමේ තැනින් තැන හිටපු කිහිපදෙනකු සිදුවන්නේ කුමක්දැයි බිරාන්තව බලා සිටියා විනා වචනයක් හෝ පිට කළේනැත. පණිවිඩය කෙසේ හෝ ලබාදී මොහු විසින් සැකකරුට පිටව යන ලෙස සංඥා කළේදැයි මොහොතකට විමර්ශන නිලධාරීන්ට සැකයක් ඇති විය. එහෙත් ඔහුගේ දුරකථනයද, තවමත් තමන් අත බැවින් එවැන්නක් කිරීමට ඉඩ ප්‍රස්ථාව පවතින්නේ ඉතාමත් අවම වශයෙන් බැව් ඊළඟ මොහොතේ ඔවුන්ට ඒත්තු ගියේය.

“මේක කරන්න බෑ. මිනිහා එන්නෙ නැත්නම් ඔහේ අපෙන් නිදහස් වෙලා යන්නෙත් නෑ. තේරුණාද? නිලධාරියෙක් ඔහුට තර්ජනය කළේය.

“අනේ සර් මං දන්නෙ නෑ. මං එළියට යද්දි මෙතැන හිටියා. සමහර දවස්වල අන්න අතනින් රිංගලා මිනිහා බීච් එකට යනවා කුඩු ගහන්න. එතැනින් බලන්න“ ඔය තහඩුවක් ඈත්වී ඇති තැනක් පෙන්වීය. ඔහුද තල්ලු කරගෙනම විමර්ශන නිලධාරීන් එතැනට පැමිණියහ. ඔහු කීවා නිවරදි විය හැකිය. එතැනින් සීරුමාරුවට කෙනෙකුට මාරුවිය හැකිය. දුරකථන හිමි පුද්ගලයාද එතැනින් එළියට යැවූ නිලධාරීන් දෙදෙනාද, එතැනින්ම යළි වෙරළට ගොඩබැස්සේය.

“සර්.. අන්න අර බෝට්ටුවල මිනිහා ඉන්න පුළුවන්. සමහර දාට කුඩු ගහලා ඕවායේ නිදාගන්නවා“ ඔහු දුර තියා කීවේය.

ඔහුගේ අනුමාන කිරීම නිවරදි විය. කිසියම් පුද්ගලයෙකු වෙරළ අයිනේ නවතා තිබුණු ධීවර බෝට්ටු කිහිපයෙන් එකක දිගාවී දුම් වැටියක් උරමින් සිටියේය. අසල විදුලි බල්බයකින් ඔහුගේ හැඩරුව තරමක් දුරට දැකගත හැකිවිය. පොලිස් පරීක්ෂකවරයා වහාම පිස්තෝලය එල්ල කරගෙනම ඔහු අසලට පැන්නේය.

“තමුන් මොකද මෙතන කරන්නේ?”

“මං අර..‘....බීච් එකේ සයිට් එකේ වැඩ කරන්නෙ. ඇතුළ රස්නෙ හින්දා හුළං ටිකක් වැදි වැදී නිදාගන්න ආවා”

“ලංසාගේ ප්‍රියන්ත මේදිස්‘ කියන්නෙ තමුන් නේද?

පිස්තෝලය හිසට සමීප කොට පොලිස් පරීක්ෂකවරයා තදින් ඇසුවේය.

“ඔව් සර්. සර්ලා එන බව මං දැනගෙන හිටියා. මං හිටියේ සර්ලා හම්බවෙන්න තමයි”

“ආහ් ඇත්තද? ඔව්. අපිත් සෑහෙන දවසක ඉඳලා බලාගෙන හිටියේ තමුන් හම්බවෙන්න තමයි.. දැන් නැඟිටිනවා..“ ප්‍රියන්ත මේදිස් හෙවත් කංගැට්ටා තමන් දිගාවී සිටි බෝට්ටුවෙන් නැඟිටින අතරවාරයේ වැඩබිම අවට දුරින් ස්ථාන ගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීහූ එතැනට එක් රොක් වූහ. සැකකරුට එකෙණිහිම මාංචු දමා දුරින් නවතා තිබුණු ජීප් රථයකට රිංගවනු ලැබිණි. සැකකරු හඳුනාගැනීමට අනියමින් සහය වුණු වැඩබිමේ අනියම් පෙම්වතා හෙවත් සැකකාර දුරකථනයේ හිමිකරු එතැනට ළංවිය.

“සර්. මගේ ෆෝන් එක?

“දෙන්නම්. ඇත්තමයි ඔහේ අපට අදාළම නෑ. ඔයා අපේ කෙල්ලෙක් එක්ක තිබ්බ සම්බන්ධයක් ගැන කියලා ඔහේව බය ගැන්නුවා තමයි. ඇත්තටම ඒ සම්බන්ධය මොකක්ද කියලා අපි හොඳට දන්නවා. අපට ඕන වුණේ මෙයා අල්ලාගන්න ඔයාගෙන් උදව්වක් ගන්න විතරයි. බොහොම ස්තූතියි අපට උදව් කළාට. අපි ගිහින් එන්නම්. අපි. සී.අයි.ඩී එකෙන්“

ඔහුගේ දුරකථනය ඔහු අතටම දී පිටට තට්ටුවක් දමා විමර්ශන නිලධාරීන් එන්නට හැරුණේය. පුරා මාස ගණනාවක් තිස්සේ විවිධ ගැහැට හා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණදෙමින් සෙවූ කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු ලංසාගේ ප්‍රියන්ත මේදිස් නොහොත් බලයා නොහොත් බල ඔළුවා හෙවත් කංගැට්ටාගේ කට්ටිපැනීමේ පරිච්ඡේදය එතැනින් නිමාවිය. ඒ 2012 ඔක්තෝම්බර් මස 27 දාය. අත්අඩංගුවට පත්වූ කංගැට්ටා රැගත් ජීප් රථයට සන්නද්ධව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙක් ගොඩවූහ. එකී ජීප් රථය ඉදිරියෙන් යද්දී පිටුපසින් පොලිස් අධිකාරී පාලිත පනාමල්දෙණිය මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුමේ විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා,පොලිස් පරීක්ෂක රාජකරුණා, උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක ආදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැගත් මෝටර් රථය කොළඹ බලා ඇදිණි.

පසුදින සියලුම ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය බවට පත්වූයේ පුරා මාස ගණනාවක් තිස්සේ සොයන ලද කෞතුකාර සොරකමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් පුවතයි. මේ සමගින් ඇතැමුන් සැනසුම් සුසුම් හෙළන්නට වුවද, තවත් පිරිසක් මෙම සිදුවීම පවා සැක කරන්නට වූහ. ‘කුඩු කාරයෙකුට පුළුවන්ද මෙච්චර දෙයක් කරන්න‘ඔවුන් මෙම සැකකරු අත්අඩංගුවට පත්වීමේ සිදුවීම දෙස බැලුවේ වපර ඇසිනි. කෞතුකාගාර සොරකමෙන් අනතුරුව සැලකිය යුතු කාලයක් යනතුරු ඒ පිළිබඳ නිවැරදි තොරතුරක් දැනගැනීමට හෝ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම නිසා ඒවන විටත් සමාජය තුළ මේ සම්බන්ධයෙන් පැතිර පැවති කටකතා, ඕපාදූප දැඩිව විශ්වාස කිරීමට ඇතැමුන් සැදීපැහැදී සිටියහ. අනෙක් අතට කංගැට්ටා යනු හුදෙක් කුඩුකාරයෙක් බැව් පමණක් මිස ඔහුගේ පවුල් පසුබිම, සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස ඔහුගේ අපරාධ ඉතිහාසය, ඔහුගේ හැකියාවන් පිළිබඳ මාධ්‍යකරුවන් පවා වැඩිදුර තොරතුරු නොදැනසිටීමත්, ඒ පිළිබඳ ගවේෂණය නොකර සංසිද්ධි මතුපිටින් ස්පර්ශ කරමින් වාර්තා කිරීමත් එයට හේතුවූවා නිසැකය. ඒ නිසාම ඔහු විසින් මෙම අපරාධය සැලසුම් කිරීමේ සුලමුල සෙවීමේදී ඔහුගේම පාපොච්චාරණය මෙන්ම ඔහුගේ අපරාධ ඉතිහාසය පිළිබඳ දිවයිනේ වෙනත් පොලිස් ස්ථාන, බන්ධනාගාර ආදියෙහි ලියැවී ඇති සටහන් අතිශය වැදගත්ය.

ලංසාගේ ප්‍රියන්ත මේදිස් උපත ලබන්නේ පස්දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැන්නා ලෙසය. පැල්පත් නිවාස ආශ්‍රිත පවුල් පසුබිම තුළ කුඩා කල සිටම ඔහුට නිසි මගපෙන්වීමක් නොවීය. අසල්වැසියන් හේතුවෙන් ක්‍රමයෙන් මත්කුඩු භාවිතයට නැඹුරුවීම නිසාම අධ්‍යාපන කටයුතු අතරමගදී ඇණහිටී මොහුට මත්කුඩු මිලදී ගැනීමට නිතර නිතර මුදල් අවශ්‍යවීමත්, පවුල තුළ රැකවරණයක් හෝ යහමින් මුදල් නොතිබීමත් නිසාම පුංචි පුංචි සොරකම් සඳහා යොමුවිය. මේ අතර දේශපාලන දැනහැඳුනුම්කමක් මත අනියම් තැපැල් සේවකයකු ලෙස මුලින්ම පිළියන්දල ප්‍රදේශයේ තැපැල් කන්තොරුවක සේවය කිරීමට මොහුට හැකිවිය.

නත්තල් හා අලුත් අවුරුදු සමය ළංවෙද්දී බොහෝ සේවකයින් කල්තියා නිවාඩුගෙන ගම්රට බලා යාමත්, එම කාලයේ සාපේක්ෂ වශයෙන් ලියුම්, ත්‍යාග ආදිය තැපෑලෙන් වැඩි වශයෙන් හුවමාරුවීමත් නිසා තාවකාලික ලියුම් බෙදන්නකු ලෙස කටයුතු කරන්නට ඔහුට අවස්ථාව උදාවෙයි. එකී අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මොහු තැපෑලෙන් එන ඇතැම් පාර්සල් ලිහා බලා වටිනා කියන දෙයක් වෙත්නම් එහි හිමිකරු වෙත ලබානොදී සොරකම් කිරීමට පෙළඹෙයි.

උත්සව සමයේ ගොඩගැසෙන ලියුම්වලට පිටතින් විදුලි පන්දමක් එල්ල කොට එහි ඇතුළත ඇතැම්විට නෝට්ටු, චෙක්පත් ආදිය ඇති වග දැනගන්නා මොහු ඒවාද නිසි හිමිකරුවන් වෙත ලබානොදි තමන් සතුකරගනියි. මෙම නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි වැඩිවන විට සේවයට වාර්තා නොකරන මොහු රැකියාව හැරදමා එයි. පැමිණිලිවලට අදාළව සිදුකෙරෙන පරීක්ෂණ සඳහා පොලීසිය මොහු සොයා එන විට ගමෙන් පිට පැන සැඟවෙයි.

පාසල් අධ්‍යාපනය අතරමග නැවතුණු පසු විටෙන් විට ජිම්නාස්ටික්, ජූඩෝ ආදී ආත්ම ආරක්ෂක සටන්කලා ටික කලක් ප්‍රගුණ කර ඇති ප්‍රියන්ත මේදිස් තමන් ඉගෙනගත් එකී දෙයට වැඩි ඇල්මක් හා දක්ෂතාවක් දක්වා තිබේ. ඒ නිසාම ජූඩෝ සටන් කලාව ඔහුට ඉගැන්වූ බැද්දගානේ ජූඩෝ මාස්ටර් විසින් තැපෑලේ රස්සාව අත්හැරුණු මොහු තමන් ළඟට කැඳවයි.

“උඹ ඉතිං වැඩකාරයානෙ. රස්සාවක් නැති එකේ මගේ ක්ලබ් එකට ඇවිත් ඒකෙ තියෙන වැඩක් බලාගෙන ඉඳින්. මෙතෙන්ටත් ඉතිං එක එක විදිහේ එවුන් යනවා එනවානේ“

‘‘හා. මං එන්නම්“ප්‍රියන්ත මේදිස් නොහොත් බලඔළුවා එකී ආරාධනාව ඉහළින්ම බාරගත්තේය.

බාරගත්තේ කාරණා දෙකක් නිසාය. පළමුවැන්න තැපෑලේ හොරකම් කිහිපයක් සම්බන්ධයෙන් තමන් සොයාගෙන පැමිණෙන පොලීසියේ මහත්තුරුන්ගෙන් ගැලවීමට නම් ගමට නොයා යම් දේශපාලන හයියක් සහිත තැනක රැඳීමය. දෙවැන්න නම් එදාවේල යැපීමටත්, මත්කුඩු මිලදී ගැනීමටත් අතට යම් මුදලක් අවශ්‍යවීමය. මේ කාරණා දෙක ඉටුවීම නිසා ඔහු මාස්ටර්ට අයිති බැද්දගාන සමාජශාලාවක සේවයට යයි.

සඳුදා- කංගැට්ටා සියල්ල වමාරයි!

රංජිත් විජේබණ්ඩාර

නව අදහස දක්වන්න