IMSSU ජාතික තරගාවලිය | දිනමිණ

IMSSU ජාතික තරගාවලිය

වර්නන් ගුණසේකර

යුද හමුදා කුඩා අවි සංගමයේ කපිතාන් ගයාංගගෙන් නව තරග වාර්තා තුනක්

ජාත්‍යන්තර ලෝහමය ඡායා වෙඩිතැබීම් සංගමයේ (IMSSU) 9 වැනි ශ්‍රී ලංකා ජාතික තරගාවලියේදී නව තරග වාර්තා 3ක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදා කුඩා අවි සංගමයේ කපිතාන් පී.කේ.ජේ.එස්.ගයාංග සමත් විය.

කුඩා බෝර සැහැල්ලු හා සිලුවෙට් රයිෆල් ඒකාබද්ධ සමස්ත තරග ඉසව්වේ සමස්ත ලකුණු 67/80ක් ලබා ගනිමින්ද, කුඩා බෝර සැහැල්ලු රයිෆල් ඉසව්වේදී ලකුණු 34/40ක් රැස් කරමින්ද, කුඩා බෝර සිලුවෙට් රයිෆල් ඉසව්වේදී ලකුණු ඉසව්වේදී ලකුණු 33/40ක් ලබා ගනිමින්ද ගයාංග මේ නව තරග වාර්තා බිහි කළේය.

මීට අමතරව කපිතාන් ගයාංග, මේජර් සී.එස්.රත්නායක, කෝප්‍රල් ආර්.පී.ඩබ්ලිව්.ගුණවර්ධන හා වොරන්ට් ඔෆිසර් කේ.බී.රත්වත්තේගෙන් සමන්විත යුද හමුදා කුඩා අවි සංගමයේ ‘ඒ’ කණ්ඩායම කුඩා බෝර සැහැල්ලු රයිෆල් ඉසව්වේ ලකුණු 98/120ක් ලබා ගනිමින් නව තරග වාර්තාවක් පිහිටුවීය.

කටානේ පිහිටි මීගමුව රයිෆල් සමාජයේ වෙඩි තැබීම් පිටියේ පැවැති මේ තරගාවලියට ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සාමාජිකත්වය දරණ වෙඩි තැබීමේ සංගම් නියෝජනය කරමින් අවුරුදු 8 සිට 65 දක්වා වයස් කාණ්ඩවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 157 දෙනෙකු සහභාගි වූහ.

ජාතික රයිෆල් සංගමයේ සභාපති රියාර් අද්මිරාල් එන්.ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී එම්.ආර්.ලතීෆ් මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. 

 

නව අදහස දක්වන්න