දඹුවවත්තට කසළ දමන්න ටෙන්ඩර් නොදෙන තීරණ | දිනමිණ

දඹුවවත්තට කසළ දමන්න ටෙන්ඩර් නොදෙන තීරණ

අත්තනගල්ල විශේෂ ජයවීර සුගතපාල

වේයන්ගොඩ දඹුවවත්ත තවත් මීතොටමුල්ලක්වීමට කිසිසේත් ඉඩදෙන්නේ නැතැයිද 2018 වසරේ දඹුවවත්තට කසළ බැහැර කිරීමට ටෙන්ඩර් නොදෙන ලෙස අදාළ පළාත් පාලන ආයතන 7 ටම දන්වා යවන බවද (10 දා) අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී සම සභාපති එජාප අත්තනගල්ල ප්‍රධාන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් මහතා පැවැසීය.

ඒ මහතා ඒ බව කීවේ වසර දහයකටත් වැඩි කාලයක් තිස්සේ දඩගමුව, පත්තලගෙදර, දංවිලාන ඇතුළු ගම්මාන හතක් ගඳ ගස්වමින්, භූගත ජලය විස කරමින් ඩෙංගු ඇතුළු මාරක රෝග වාහකයක් වෙමින් පවතින දඹුවවත්ත කුණුකන්ද 2018 වසරේදීවත් ඉවත් කරදෙන ලෙසට දඹුවවත්ත කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු සුධර්මන් කස්තුරිආරච්චි මහතා කමිටුවට කරුණු දැක්වීමෙන් පසුවය.

සුධර්මන් කස්තුරිආරච්චි මහතා - දඹුවවත්ත කුණුකන්ද පොල් ගහකටත් වැඩිය උසයි. පොලිතීන්, ප්ලාස්ටික් ආදී දිරන නොදිරන කසළ ඔක්කොම එක ගොඩේ. හතර වටේ ගම්වල වතුර බොන ළිං විසවෙලා. රස පරීක්ෂක වාර්තා අපි ළඟ තියෙනවා. ජලය විසවී මැරුණු අයගේ මරණ පරීක්ෂණ වාර්තා අප ළඟ තියෙනවා. ‍ෙම් වගේ භයානක පරිසර දූෂණය වෙද්දිත් වගකිව යුතු අංශ අවුරුදු දහයක් තිස්සේ නිහඬව හිටියා. මේ කුණුකන්දෙ ඡායාරූපයක් ගන්න පසුගියදාක එහි ගිය මාධ්‍යවේදියකුට එතන රැකවල්ලා හිටි අයකු කියා තිබෙනවා “ඡායාරූප ගන්න එන එවුන් ගස්බැඳලා මට දන්වන්න” කියා ඉඩම් හිමියා උපදෙස් දී තිබෙන බවත්. මේකයි අද තත්ත්වය. ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මම මේ ඉල්ලීම කරන්නේ. 2018 වසරේදීවත් මේ කුණුකන්ද ඉවත් කරදෙන ලෙස ඉල්ලා සිටිනවා. එය ඉටුනොවුණහොත් පත්තලගෙදර පරිසර එකමුතුව ආයෙත් පාරට බහිනවා.

පරිසර නිලධාරි මධ්‍යම පරිසර අධිකාරිය - ගම්පහ දිස්ත්‍රික්කයේ කසළ කළමනාකරණයට පෙතියාකන්ද ව්‍යාපෘතිය 2018 ආරම්භ කරනවා. රු.මිලියන 980ක ව්‍යාපෘතියක්. දඹුවවත්ත කසළ එතැනට ගෙන යනවා. 

 

නව අදහස දක්වන්න