ජාලියට වරෙන්තු | දිනමිණ

ජාලියට වරෙන්තු

සුභාෂීණී සේනානායක

ඇප මත සිටින අමෙරිකන් එක්සත් රාජධානියේ හිටපු වොෂින්ටන් තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය (17) වරෙන්තුවක් නිකුත් කළාය.

ඇසේ පැවැති රෝගී තත්ත්වයක් හේතුවෙන් අමෙරිකාවේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා ගොස් සිටින ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුවක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය වරෙන්තුවේ පිටපතක් කටුනායක ගුවන්තොටුපොළේ ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසට ද නියෝග කළාය.

වික්‍රමසූරිය මහතාගේ ඇපකරුවන්ට නොතිසියක් නිකුත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුගේ ඇපකරුවන් හතර දෙ‍නාට ද අධිකරණයේ පෙනී සිටින ලෙසට නොසිති නිකුත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ අවසරය ලබාගෙන මාස දෙකක කාලයක් සඳහා විදෙස් ගත වූ සැකකරු නියමිත දින අධිකරණයේ පෙනී නොසිටීම නිසා මේ වරෙන්තුව මහේස්ත්‍රාත්වරිය නිකුත් කළාය.

රජයේ මුදල් අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදාහක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම, ඒ සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම මෙන්ම ආධාර හා අනුබල දීම යන වරදවල් යටතේ කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පොදු දේපල හා මුදල් විශුද්ධිකරණ පනත් යටතේ සැකකරුට චෝදනා ගොනු කර ඇත.

සැකකරු එම මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන දෙලක්ෂ පනස් දහසක් ශ්‍රී ලංකාවට එවා ඇති බවත් ඉතිරි මුදලින් අමෙරිකාවේ සිටිය දී අමෙරිකන් ඩොලර් අටසිය ගණනක මුදලක් සමාගම් දෙකක් සඳහා ගෙවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරු සම්බන්ධයෙන් එරට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වූයේ නැත්තේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරිය විමසා සිටි අවස්ථාවේ පොලිසිය කියා සිටියේ එරට තානාපති කාර්යාල විමර්ශන පමණක් සිදු කිරීමට එරටින් අවසර ලැබී ඇති බවය.

ඉන් පිටස්තර විමර්ශන සිදු කිරීමට සහ ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට එරට රජයෙන් අවසර ලබා නොදුන් බව ද පොලිසිය කියා සිටියේය. සැකකරුට මෙරටට ඒමට හෑකියාවක් නැති බවත් සැකකරු එරට තානාපතිව සිටි කාලයේ වූ බව කියන සිද්ධීන් සම්බන්ධව එරටින් ද සමගාමීව පරීක්ෂණයක් සිදු කරන බවත් දන්වා සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සැකකරු එරට රඳවා සිටින බවත් ඒ නිසා මෙරටට පැමිණීමට නොහැකි බවත් දන්වා සිටියේය.

අක්ෂි රෝග තත්ත්වයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අමෙරිකාවේ ජෝජියා ප්‍රාන්තයට ගොස් ඇති අතර, සැකකරු අද අධිකරණයේ පෙනී සිටියේ නැත.

සැකකරුට මෙරටට ඒමට හැකියාවක් නැති බවත් එරට නීතියට අනුව සැකකරුට එරටින් පිටත්විය නොහැකි බව ද සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දුන්නේය. 

නව අදහස දක්වන්න