සැබෑ අරමුණු ක්‍රියාත්මක නොවීමෙන් සමෘද්ධි ව්‍යාපාරය හා බැංකු කඩා වැටුණා | දිනමිණ

සැබෑ අරමුණු ක්‍රියාත්මක නොවීමෙන් සමෘද්ධි ව්‍යාපාරය හා බැංකු කඩා වැටුණා

සමන්මලී ප්‍රියශාන්ති
නව සමෘද්ධි සංවර්ධන නිලධාරීනියක් ඇමැතිවරයා අතින් පත්වීම ලිපි ලබා ගන්නා අයුරු. නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක, ලේකම් ශිරානි වීරකෝන්, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න මහත්ම, මහත්මීහු ද මෙහි වෙති. ඡායාරූපය - ගයාන් පුෂ්පික

ගෙවී ගිය වසර දහයක කාලයක් තුළ සමෘද්ධි ව්‍යාපාරයේ සැබෑ අරමුණු නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් සමෘද්ධි ව්‍යාපාරය මෙන්ම සමෘද්ධි බැංකු ක්ෂේත්‍රය ද බරපතළ කඩා වැටීමකට ලක් වු බව සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක මහතා පැවසීය.

දුප්පත් ජනතාවගේ මුදල් නිසි ලෙස ආයෝජනය නොකීරීම නිසා සිදු වු මෙම විනාශය මේ වන විට යථාතත්ත්වයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවද දිසානායක මහතා අවධාරණය කළේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904 දෙනකුට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පෙරේදා (15) පැවැති උත්සවයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද පැවසීය.

සමෘද්ධි ව්‍යාපාරය බිහි කළේ මේ රටේ දුප්පත් ජනතාව දුගීකමෙන් මුදා ගැනීමේ අරමුණ ඇතිවයි. සමෘද්ධි ව්‍යාපාරය හරහා ජනතාව සවිබල ගැන්වීම අද පත්වීම් ලබන සියලු දෙනාගේ වගකීම වෙනවා. අද සේවයට බඳවා ගන්නා සියලු දෙනා තරුණ වියේ පසුවන අතර බොහෝ දෙනා විවාහ අපේක්ෂාවෙන් සිටින අයයි. අද සමෘද්ධි ව්‍යාපාරය සමඟ ඔබගේ පළමු විවාහය සිදු කෙරෙනවා. සමෘද්ධි ව්‍යාපාරයේ ගාමක බලය සමෘද්ධි පත්වීම් ලබන ඔබ සියලු දෙනා බව සිහිතබා ගත යුතු වෙනවා.

අපේ සමෘද්ධි අරමුදල අද වනවිට රුපියල් බිලියන 20ක් පමණ වෙනවා. මේ තත්ත්වය බිලියන 400ක් දක්වා වර්ධනය කරගන්නට තිබුණු නමුත් පසුගිය අවුරුදු 10ක කාලය තුළ ඒ කටයුත්ත සිදු කළේ නැහැ. එවක සිටි විෂය භාර අමාත්‍යවරයා මේ ව්‍යාපාරය කුමක්ද කියලා හරියට තේරුම් ගත්තේ වත් නැහැ. ඒ නිසා සියයට 2ට සියයට 3ට වගේ ම පොලිය නැතුවත් ණය දෙන්න පටන් ගත්තා. ඒ විතරක් නොවෙයි විදේශිකයන්ට පවා ණය ලබා දුන්නා. ඡන්දය නිසා නිකනුත් මුදල් දුන්නා. නමුත් මතක තබා ගන්න අපි මේ ව්‍යාපාරය නිර්මාණය කළේ ඉතා පුළුල් දැක්මක් සහ අධ්‍යයනයකින් පසුවයි. බංගලාදේශයේ ග්‍රාමීන් ව්‍යාපාර, දකුණු කොරියාවේ සැමුවෙන් අන්ඩොන් ව්‍යාපාරය, ඊශ්‍රායලයේ කිබුට්ස් ව්‍යාපාරය වගේ ලෝකයේ අති සාර්ථක වුණු දිළිඳුකම පිටු දැකීමේ ව්‍යාපාර ගණනාවක් පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් පසුවයි අපි මේක ආරම්භ කළේ. ඒ කිසිවක් නොදැන කිසිදු අධ්‍යයනයකින් තොරව සමෘද්ධි ව්‍යාපාරයේ තේරුම පිළිබඳවත් නොදැන යි ඒ අය කටයුතු කළේ. නමුත් ආයෙත් අපට හැකි වුණා සමෘද්ධිය අතට ගන්න. මේ ව්‍යාපාරය පණ ගහලා නැඟිටුවන්නට අපට පුළුවන් දැන්. ඒ නිසයි ඔබත් අපේ මේ මනුසත් ව්‍යාපාරයට සම්බන්ධ කර ගත්තේ.

ඔබ දන්නවා පසුගිය අවුරුදු 10 තුළ අපේ ගම්වල සමෘද්ධි බැංකුවල ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු වුණේ නැති නිසා ගිනි පොලී කාරයන් ගමට රිංගා ගත්තා. මේක මාෆියාවක් බවට අද පත්වෙලා. මේ ගිනිපොලී මාෆියාවෙන් අහිංසක මිනිස්සු බේරා ගන්න එක ඔබට බාරයි. ඒක කරන්න ඉතා ම පහසුයි. ඔබට අවැසි සියලු පහසුකම් අපි ලබා දෙනවා. සමෘද්ධි බැංකු සියල්ල නවීකරණය කරනවා. ඒ තුළ නවීන වාණිජ බැංකුවක තිබෙන සියලු පහසුකම් ලබා දෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් ක්ෂුද්‍ර ණය ලබා දෙන්නට. අහිංසක මිනිසුන්ට අවශ්‍ය පරිදි රත්රන් බඩුවක් උකස් ගන්නට. අවශ්‍ය නම් ලීසිං පහසුකම් ලබා දෙන්නට. මේ සියලු කටයුතු කරන්නට අවැසි සෑම ශක්තියක් ම අපි ලබා දෙනවා. ඒ නිසයි අපි නවක සමෘද්ධි නිලධාරීන්ට මේ මස 21 වැනිදා සිට සති තුනක කාලයක් ‘නායකත්ව පුහුණු’ වැඩසටනක් ලබා දෙන්නේ. නායකත්ව ගුණාංග වර්ධනය, ධනාත්මක චින්තනය, ශාරීරිකව සහ මානසිකව ශක්තිමත්ව අභියෝග ජය ගැනීම, සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණු-අභිමථාර්ථ, රාජ්‍ය සේවයේ කටයුතු කරන අන්දම ආදී කරුණු රාශියක් පිළිබඳව ඒ තුළ අපි ඔවුන්ට පුහුණු කරනවා. මේක කිසිසේත් රටේ වාණිජ බැංකු සමඟ සිදු කරන තරගයක් නොවෙයි. නමුත් මෙය ගිනිපොලී කාරයන් සමඟ කරන තරගයක්. ඒ තුළ ජනතාව වගේ ම රටත් ගොඩගත යුතුව තිබෙනවා යැයි පැවසීය.

සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමය නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා,

එක් එක් දේශපාලන ව්‍යාපාරවල අතකොලු වෙන්න එපා කියලා අද සියලු දෙනා පත්වීම ලබන පළමු දිනයේ මා ඉල්ලීමක් කරන්න කැමැතියි. මම දන්නවා මේ දිනවල සමෘද්ධි නිලධාරීන් පිරිසක් එකතු කරගෙන පළාත් මන්ත්‍රී වරයෙක් සමෘද්ධි ව්‍යාපාරයේ නිර්මාතෘවරයාට මඩ ගහනවා. ඒක හොඳ දෙයක් නොවෙයි. සමෘද්ධි කියන කොට ම අපට සිහිපත් වන්නේ එස්.බී. කියන නමයි.

අද මේ රටේ පොඩි දේටත් උද්ඝෝෂණ කරනවා. සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ ගෞරවණීය වෘත්තියක්. මෙහි කටයුතු කළ යුතු වන්නේ මානුෂීයවයි. නමුත් මේ දේ පසුගිය කාලේ සිදු වුණේ නැහැ. මේ සියලු දෙනා පක්ෂ, පාට, ග්‍රෝත්‍ර,භාෂා මේ කිසිදු බේදයකින් තොරව ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ඉදිරියේ දී උප්පරවැට්ටිවලට හසු නොවී පක්ෂවලට, දේශපාලනඥයින්ට කඩේ නොයා ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු වෙනවා.

මේ අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ශිරානි වීරකෝන්, සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, අමාත්‍යංශ අතිරේක ලේකම්වරු, නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

 

නව අදහස දක්වන්න