මීතොටමුල්ල කසළ කන්ද නායයාම වැනි ව්‍යසන නැවත ඇතිවීම වැළැක්විය යුතුයි | දිනමිණ

මීතොටමුල්ල කසළ කන්ද නායයාම වැනි ව්‍යසන නැවත ඇතිවීම වැළැක්විය යුතුයි

කොළොන්නාව, මීතොටමුල්ල කසළ කන්ද ආශ්‍රිතව සිදුවූ ආපදාවෙන් පීඩාවටපත් පවුල්වල දුවා දරුවන් වෙනුවෙන් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය සංවිධානය කරන ලද “මෙත් සරණ” ශිෂ්‍යත්ව ප්‍රධානය පෙරේදා (16දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි.

එම ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල්වල වයස අවු. 18ට අඩු දරුවන් 107 දෙනෙක් සඳහා මුදල් ආධාර, බැංකු පාස් පොත මගින් ලබා දුන් අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා මෙහි දී මෙසේ අදහස් දැක්වීය.

පසුගිය වසරේ සිදු වුණු මෙම විශාල ව්‍යසනයෙන් පසුව අපි රජයක් හැටියට මේ පිළිබඳ අපේ අවධානය යොමු කර ඇති අතර, ගිය අවුරුදු දෙකේ දිගටම අපට ස්වාභාවික ව්‍යසනයෙන් කිහිපයකට මුහුණ දෙන්න සිදුවුනා. ජීවිත සියගණන් අහිමි වුණා. නමුත් මේ මීතොටමුල්ල කුණු කන්දේ ප්‍රශ්නය මිනිස් ක්‍රියාකාරකම් උඩ, ස්වාභාවික ව්‍යසනයෙන් තොර සිදුවුණු විශාල ඛේදවාචකයක්.

මේ පිළිබඳ අපගේ අවධානයට විතරක් නොව, මෙවැනි කම්පනයක් මින් ඉදිරියට සිදු නොවන ආකාරයට අපි දේශපාලනඥයන් විදිහටත්, අපේ ක්‍රියාකාරකම් පිළිබඳ මහ ජනතාවත් නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බව මතක තබාගත යුතුයි.

මීට කලින් බලයේ සිටි දේශපාලනඥයන්ට මේකට වග කිව යුතුයි. කවුරු මොනවා කිව්වත් අපිත් මේ පිළිබඳ මින් ඉදිරියට මෙවැනි සිදුවීමක් නොවන සේ ක්‍රියාකළ යුතු බව අධිෂ්ඨාන කරගන්නට මේ සිද්ධිය අපේ ඇස් විවර කර තිබෙනවා.

එබැවින් අපේ අමාත්‍යාංශය මේ ක්‍රියාදාමය හරහා අපෙන් කළ හැකි ඉතාම සුළු දෙයක් ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් කරන අතරම, මේ රජය විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් කරන කැප කිරීම්, අයවැයෙන් සමාජ සුබ සාධන කටයුතුවලට විතරක් බිලියන 173ක් එනම්, මිලියන ලක්ෂ 173ක් වෙන් කර තියෙනවා. 2019 සිට 2022 දක්වා වෙනකම් අප රජයට ණය ගෙවීම සඳහා ඇති ණය බර ඩොලර් බිලියන 15ක් එය ආපසු ගෙවීමේ විශාල ප්‍රශ්නයකට මුහුණ පා සිටින අවධියක වූවද, අපේ සමාජ සුබ සාධනය සඳහා වෙන් කරන මුදලින් සතයක්වත් අඩු කළේ නැහැ.

මේ අයවැයේ සුබ සාධනය කටයුතු විතරක් නොවේ, අධ්‍යාපනයටත් බිලියන 350ට වැඩි මුදලක් වෙන්කරල තියෙනවා. සෞඛ්‍යයට බිලියන 200කට වැඩි මුදලක් වෙන්කර තිබෙනවා. මෙය මීට පෙර අවුරුදුවලින් වෙන්කරපු මුදලට තිසිවිටක අඩුවක් නොවන සේ කරල තියෙනවා. ඒ වගේම මම වග කියන පානීය ජල සැපයුම සඳහා පසුගිය අවුරුදු දෙකෙන් බිලියන 300ක් වැය කිරීමට වෙන්කර තිබෙනවා.

අපි මේ වගේ ව්‍යසනයෙන් කිහිපයකට මුහුණ දීල ගිය අවුරුද්දේ අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට එකක් අපිට අහිමි වුනා. මේ වගේ අභියෝග කිහිපයකට මුහුණ දෙද්දිත් අපේ රජය සමාජ සුබ සාධනය වෙනුවෙන් රටේ උන්නතිය වෙනුවෙන්, මතු පරම්පරාව වෙනුවෙන් වැය කරන මුදල කිසිවිටෙක අඩු නොකර අපි අයවැය ඉදිරිපත් කළා. මේ අවධියේ දී මේ වගේ කටයුත්තක් හරහා මේ ව්‍යසනයෙන් කම්පාවට පත් වූ මේ පවුල්වලට අපෙන් කළ හැකි සුළු උපකාරයක් කිරීමට අපට පුළුවන්කමක් ලැබීම පිළිබඳව සතුටු වෙනවා.

මෙහිදී කථා කළ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා- පසුගිය 2016 වර්ෂයේ අලුත් අවුරුදු උත්සවය සැමරීමට අප අමාත්‍යංශයේ නිලධාරීන් හා සේවකයන් එක්රැස් කළ දායකත්වය පාදක කරමින් තවත් ආධාරකරුවන් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ AIA රක්ෂණ සමාගමින් ලැබු මුදල් දායකත්වයෙන් මෙවැනි ශිෂ්‍යත්වයක් ව්‍යසනයෙන් පීඩාවට පත් දුවා දරුවන් සඳහා ලබා දීමට හැකිවුනා. එවගේම ජනාධිපතිතුමාගේ “දරුවන් සුරකිමු” වැඩ සටහනට අනුබද්ධ වී අප ආයතනයේ මෙම වැඩසටහන සාර්ථකව ඉටුකිරීමට ද හැකිවුනා. 

නව අදහස දක්වන්න