ගැටලු සහිත පළාත් පාලන ආයතන හැර සෙසු ආයතනවල මැතිවරණය පවත්වන්න | දිනමිණ

ගැටලු සහිත පළාත් පාලන ආයතන හැර සෙසු ආයතනවල මැතිවරණය පවත්වන්න

සමන්මලී ප්‍රියශාන්ති

ගැටලු සහිත පළාත් පාලන ආයතන හැර අනෙකුත් ආයතනවල මැතිවරණය පවත්වන්නැයි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පවසයි.

මැතිවරණය කල් දමා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් පළාත් පාලන ආයතන විශේෂ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරයෙන් ඉල්ලා සිටීමේ සිද්ධියට සෘජුව හෝ වක්‍රව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම සම්බන්ධයක් නැති බවත් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම මේ අදහස් පළ කළේ රාජගිරියේදී ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේ ද කීය.

එක්තරා නවක මන්ත්‍රීවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධයක් මේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලීමේ සිද්ධියට තිබෙන බවට කර ඇති ප්‍රකාශය සාවද්‍යයි. එය අපි ප්‍රතික්ෂේප කරනවා. නව සංශෝධනය යටතේ පළාත් පාලන ආයතන 341ක් තිබෙනවා. එයින් කොළඹ, මහනුවර, හාලිඇළ, පඩුවස්නුවර, ඇඹිලිපිටිය පළාත් පාලන ආයතන 5ට ආදළව ඒ ආයතනවල පදිංචි ඡන්ද දායකියන් තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වෙලා කියලා ඊට එරෙහිව අභියාචනාධිකරණයට ගිහින් තිබෙනවා. මේ ගැටලුව තිබෙන්නේ පළාත් පාලන ආයතන 5 ක විතරයි. අපි මැතිවරණය කොමසාරිස්තුමාගෙන් ඉල්ලා සිටින්නේ ඒ ආයතන පහ නැතිව ඉතිරි ආයතන සඳහා මැතිවරණය පවත්වන්න කියලයි.

ජනාධිපතිතුමා දෝෂ දර්ශනයට ලක් වෙලා, බැණුම් අහලා මේ කටයුතු කළේ මැතිවරණය ආයෙත් කල් දාන්න නොවේ. ජය පැරදුම කුමක් වුවත් මැතිවරණය තියන්න ඕනෑ. ජය පැරදුම මේ රටේ බුද්ධිමත් ජනතාව විසින් තීන්දු කරනු ලබයි. මේ සිද්ධිය ගැන අභියාචනාධිකරණය තීන්දුවක් දෙයි. විවිධ පුද්ගලයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි මෙයට මැදිහත් වුණා කියලා කියනවා. මෙහි එක්සත් ජාතික පක්ෂයේ, පොහොට්ටුවේ, සාධාරණ සමාජයක්, පැෆරල් සංවිධානයේ නියෝජනයක් තිබෙන නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනයක් නැහැ කියලා. එයින් අපි මේකට විරුද්ධයි කියලා අදහස් වෙනවාද. සරත් එන්. ද සිල්වා අගවිනිසුරුතුමා පළාත් සභා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේ මේ කිසිවෙකු මැදිහත් වුණේ නැත්තේ ඇයි කියලා මේ අයගෙන් අහන්න කැමැතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි ගියා. සරත් එන් සිල්වා මහතාගේ ඉල්ලීම ප්‍රජාතන්ත්‍රවිරෝධි නිසා මමත් මැදිහත් වුණා. එවිට මේ කාරණේදී පක්ෂ විවිධ කාරණාවලදී තමන්ගේ මතය වෙනස් කරන්න උත්සාහ ගන්නවා නම් එහි ඇති අගතිගාමී තත්ත්වය ජනතාව හොඳින් තේරුම් ගනී. ඒකාබද්ධ විපක්ෂයේ අය ඡන්දය කල් දාන්න උත්සාහ කිරීම ගැන අජිත් පී.පෙරේරා මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් ඇහුවා.

මේ රීට් ආඥාව ඉල්ලලා තිබෙන පස් දෙනා පිටුපස කවුරු හරි ඉන්නවා කියලා කාටද පුළුවන් නිගමනය කරන්න. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් තිබෙනවා. නීතියේ යුක්තිය ඉටු කර ගන්න අධිකරණයෙන් ඉල්ලීම් කරන්න ඕනෑම අයෙකුට අයිතියක් තිබෙනවා. එයින් අදහස් කරන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මැතිවරණය කල් දාන්න කටයුතු කරනවා කියලා. ජනාධිපතිතුමා ආසනවලට නව සංවිධායකවරු පත් කරලා නායකත්වය ගත හැකි සංවිධාකයවරු පත් කර තිබෙන්නේ. ඡන්දයකට සුදානම් නැතිනම් මේවා කරන්නේ නැහැ. ඒ නිසා මහජනතාව මෙහි ඇත්ත බොරුව දන්නවා.

ඒකාබද්ධ කල්ලිය නියෝජනය කරන පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රකාශක විසින් මාධ්‍යයට ප්‍රකාශයක් කළා තිස්පන් දහසකට වැඩිය අපේක්ෂකත්වය ඉල්ලුම් කර තිබෙනවා කියලා. ඒ ගමන්ම කියනවා පළාත් පාලන ආයතන ගැන නැවත පරීක්ෂණ කරද්දි ඕනම අයෙකුට ඉල්ලුම්පත්‍ර යොමු කළ හැකියි කියලා. තිස් පන්දහසක් ඉන්නවා නම් තවත් මොකටද තවත් එන්න කියලා ආරාධනා කරන්නේ. කොළේ වහලා කියන්න ගියත් උගුරට හොරා බෙහෙත් බොන්න බැහැ කියලා කියනවා වගේ මේ මහා විශාල බැලුම් බෝලයක් විතරයි. ඇතුළේ කිසිවක් නැහැ. අලියා ගිලපු දිවුල් ගෙඩිය වගෙයි.

අපේ රටේ හොඳ දෙයක් ගැන කතා කරන්න පටන් ගන්නේ නරක තැනින්. නිදහසින් පසු ඉදිරිපත් කළ අයවැය සියල්ලකම ඇති ඇතැම් දේවල් ක්‍රියාත්මක වෙනවා වගේම ඇතැම් ඒවා ක්‍රියාත්මක නැහැ. මෙහි සියලු දෙනාට ගෙනත් තිබෙන සාධාරණ යෝජනා ගැන කවුරුත් අවධානය යොමු කරන්නේ නැහැ. අවධානය යොමු කරන්නේ බියර් ගැන. දියුණු රටවල තිබෙන තත්ත්වයන් වගේම අපේ අයවැයත් මෙවර ප්‍රකාශ වුණා. සංවර්ධිත දර්ශකයන් තුළ රටවල්වලට බදු පැටවීමේ ක්‍රමයක් තිබෙනවා. මධ්‍යසාර ප්‍රමාණයට තමයි බදු අය කරන්නේ. මත් කරන ප්‍රමාණය හඳුනා ගැනීමේ දර්ශකය තමයි මේ අයවැයෙන් ඉදිරිපත් කළේ. මධ්‍යසාර ප්‍රමාණයට බද්දක් මේ ගෙනැත් තිබෙන්නේ.

අපිට හරියට ආහාර සංස්කෘතියක් නැහැ. මත්පැන් බීමත් සංස්කෘතියක්. අපේ අයට ඕනෑ හොඳටම බීලා වැටෙන්න. නමුත් අනික් රටවල් ඒවා භාවිතා කරන්නේ වෙනත් අවශ්‍යතාවකට. මේ නිසා වැරදි තැනින් පටන් ගන්න එපා.

මේ මැතිවරණය පමණක් නොවෙයි කිසිම මැතිවරණයක් කල් දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි. පළාත් පාලන ඇමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ලබා දුන් යෝජනා හමස් පෙට්ටියේ දාලා තියලා මේ ආණ්ඩුව ඒවා අරගෙන නීති බවට පත් කළා. තමන් වෙනත් අයට ඇඟිල්ල දිගු කරන්න කලින් තමන් දෙසට දිග් වෙලා තිබෙන ඇඟිලි හතර ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටින්න කැමැතියි. තමන් කරන ප්‍රකාශ වගකීමෙන් කරන්න අවශ්‍යයි.

අපේ ආණ්ඩුවේ ඇමැතිකම් ගත් ඇමැතිවරු බැසිල්ගේ නඩුවට ආවත් කැමරාවට නොපෙනී යනවා. මේ අයගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී පුද්ගලයන්ට ලංසු තිබ්බා. වටිනාකම් නියම කළා. එවැනි දේශපාලන සමාජයක් තුළ එවැනි ඔස්තාර් කෙනෙක් වන බැසිල් රාජපක්ෂ මහතා සිටින පක්ෂයක මෙවැනි දේවල් වෙන්න පුළුවන්.

පසුගිය කාලේ විශාල මතයක් ගෙන ගියා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රට විනාශයි කියලා. එවැනි කිසිදෙයක් අද සිදු වෙලා තිබෙනවාද. මේ සියල්ල ගොබල්ස් න්‍යායන්. හිට්ලර්ගේ මාධ්‍ය ප්‍රකාශක ගොබල්ස් කළ දේ හිටපු ඒකාධිපති මහින්ද රාජපක්ෂගේ ගොබල්ස්ලා අද කරනවා.

මොරටුව හිටපු නාගරාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සුජිත් පුෂ්පකුමාර මහතා-

ඉදිරි මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හතරවැනි ස්ථානයට පත් කරන බව පසුගිය දිනවල වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා තිබෙනවා. මිනිස්සුන්ගේ ඔළුව, මනස විකාර වන විට තමන්ගේ කටින් කියැවෙන දේවල් ගැන අවබෝධයක් නැහැ. මේ සභාපතිවරයාගේ පැටිකිරිය ලංකාවම දන්නවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මුදල් ගැනලා අල්ලස් ගත්ත මන්ත්‍රීවරයා කවුද කියලා අැහුවොත් ජනතාව දන්නවා. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියෙක් ලෙස ඇවිත් අද ධනකුවේරයෙක් බවට පත් වෙලා ඉන්න මොහු සභාපතිකම ගත්තේ ශ්‍රීලනිපය නිසා. අපේ පක්ෂය නිසා දේශපාලනයට ඇවිත් තනතුරු අරගෙන අද පක්ෂයට ගරහනවා. මේකට කියන්නේ කාපු බතේ පහරනවා කියලයි.

උගත් බුද්ධිමත්කමක් ඇති මහාචාර්ය ජී.ඇල් පීරිස් මහත්තයාත් මේ කතාව කියනවා. ශ්‍රීලනිපයෙන් එජාපයට පැන පැන අද යන එන මං නැතිව අගුපිල්වල ලගින තත්ත්වයක් අද ඇති වෙලා. තනතුරු අහිමි වන විට සේනාවක් පිරිවරාගෙන ගිය එතුමා අද නිකම්ම නිකම් වුණාම විකාර දොඩවන එක ගැන අපි අනුකම්පා කරනවා. ගම් මට්ටමේ ජනතාව පිපෙන්නේ නැති පොහොට්ටු පස්සේ යන්නේ නැහැ.

හිටපු ජනාධිපතිතුමා වසර දහයක් රටේ ජනාධිපති ලෙස සිටියා. ශ්‍රීලනිපය තමයි ඔබතුමාව රජ කෙරෙව්වේ. අපි ගෞරවයෙන් කියන්න කැමැතියි මුල අමතක කරන්න එපා කියලා. ජනතාවගේ ප්‍රාර්ථනය පක්ෂය දෙකඩ නොකර එක් කරගෙන ගමනක් යන්න කියන එකයි. ඒ සම්බන්ධයෙන් මෛත්‍රීපාල ජනාධිපතිතුමා සියලු කැපවීම් කරලා ඉවරයි. නමුත් මහින්ද මහත්තයාගේ පාර්ශ්වයේ කුහකකම එළියට ඇවිත් ලොකු ලොකු දේවල් කියනවා. පොහොට්ටුව හදාගෙන පක්ෂය කැඩුවත් නැතැත් මෛත්‍රීපාල ජනාධිපතිතුමා වටා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පමණක් නොවේ බහුතර ජනතාවක් ඒකරාශී වෙලා ඉන්නවා.

මේ නිසා ඒකාබද්ධ විපක්ෂයේ අයගේ කකුල් මැතිවරණය එන විට මේ අයගේ කකුල් වෙව්ලන්න අරගෙන තිබෙන නිසා වෙන වෙන අය ඉදිරියට දාලා ඡන්දය කල් දාන්න එක එක දේවල් කරනවා.

අපේ ඇතැම් සභාපතිවරුන්ගේ අද වත්කම් දැක්කාම එදා දේශපාලනයට එන විට තිබු තත්ත්වය අප දන්නවා. ඒ නිසා 96 , 2016 හා අද තමන් ඉන්න විදිහ ගැන අවධානය යොමු කරන්න. කට වරද්ද ගන්න එපා. අල්ලස් කොමිසම , මුල්‍ය අපරාධ කොට්ඨාසය හරියට ක්‍රියාත්මක වුණොත් මේ අයගෙන් බහුතරයකට දෙවියන්ගේ පිහිට විතරයි.

කොළොන්නාව නගර සභාවේ හිටපු සභාපති, කොළඹ දිස්ත්‍රික් සංවිධායක,රවීන්ද්‍ර උදය ශාන්ත මහතා-

මීට පෙරත් අපේ ජනාධිපතිනිය පක්ෂය කඩා ගෙන ගිහින් බලය ගන්න බැරි වුණා. බලය ගත්තේ නැවතත් අපේ පක්ෂයට ආවට පස්සෙයි. අදත් අපි බලාගෙන ඉන්නවා . අපේ හිටපු නායකයා තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක ඉන්නේ. වෙනත් නායකයන්ගේ ගැටලුවලට අපි ගෑවෙන්න අවශ්‍ය නැහැ. කොළොන්නාවේ පළමු කළු පැල්ලම සියලු දෙනාට මතයි. පසුගිය රජය පෙරළෙන්න එය හේතුවක් වුණා. අද අපේ ප්‍රදේශයේ සංවිධාන කටයුතු අපට ලබා දීලා තිබෙනවා. ආයෙත් කළු පැල්ලම් ඇති වෙන්න ඉඩක් නැහැ. අද කොළොන්නාව විනාශ වෙලා ද නැද්ද කියලා ඕනෑම අයෙකුට බලන්න පුළුවන්. අපිට කොළොන්නාවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරලා දෙන්න පුළුවන්. ඒ ජනතාව අපි ගැන විශ්වාසයෙන් ඉන්නේයැයි කීය.

ඡායාරූපය - සිරිපාල හල්වල 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...