නඩු ප්‍රමාදය වළක්වාගන්න අධිනීතිඥවරුන් 100ක් අලුතින් බඳවා ගන්නවා | දිනමිණ

නඩු ප්‍රමාදය වළක්වාගන්න අධිනීතිඥවරුන් 100ක් අලුතින් බඳවා ගන්නවා

කමනි අල්විස්

නඩු ප්‍රමාදවීම් වළක්වා ගැනීමට අලුතින් අධිනීතිඥවරුන් සියදෙනකු ලබන ජනවාරියේදී නීතිපති දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට රජය ක්‍රියා කරගෙන යන බව විදුලිය බල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.

රජයේ අධි නීතිඥවරුන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමටත් රජය පියවර ගන්නා බවත්, නියෝජ්‍ය ඇමැති නීතිඥ පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

නඩු ප්‍රමාදයට ප්‍රධාන හේතුව රජයේ අධිනීතිඥවරුන්ගේ හිඟකම බව පැවැසූ නියෝජ්‍ය ඇමැති නීතිඥ පෙරේරා මහතා, දූෂිතයන්ට එරෙහිව විමර්ශන සිදුකර අවසන් කර නඩු ගොනු එකසිය දහයකට වඩා නීතිපතිවරයාට ලබාදී තිබෙන බවත් ප්‍රකාශ කළේය. දැනට සිටින්නේ රජයේ නීතිඥවරුන් එකසිය දහඅටක් පමණ බවත්, එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන නිසා නව බඳවාගැනීම් සිදු කරන බවත් පැවැසීය.

මහා පරිමාණ දූෂණ, වංචා පිළිබඳව නඩු විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරුවරුන්ගෙන් හෙබි මහාධිකරණ තුනක් පිහිටුවීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ඉකුත්දා ලබාදුන් බව පැවැසූ නියෝජ්‍ය ඇමැති පෙරේරා මහතා, තවත් මහාධිකරණ දහයක් පිහිටුවීමට රජය ක්‍රියා කරන බවත් ප්‍රකාශ කළේය. මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව එකසිය දහය දක්වා වැඩිකරන බවත් නියෝජ්‍ය ඇමැති පෙරේරා මහතා පැවැසීය.

වසර 2020දී නීතිපති දෙපාර්තමේන්තුවේ අධි නීතිඥවරුන්ගේ මාසික මූලික වැටුප රුපියල් එක්ලක්ෂ තිස් නමදහස දක්වා ඉහළ දැමීමට යහපාලන රජය පියවර ගන්නා බව කීය.

පාර්ලිමේන්තු දූෂණ විරෝධී අධීක්ෂණ කාරක සභාවේ නඩු ප්‍රමාදය වැළැක්වීමට සකස් කරන ලද වාර්තාවට ජනාධිපතිතුමා පෞද්ගලිකවම අස්සන් තබා එය අනුමත කර තිබෙන බව පැවසූ නියෝජ්‍ය ඇමැති නීතිඥ පෙරේරා මහතා මාස හයක් ඇතුළත එහි නිර්දේශ ක්‍රියාත්මක වෙන බවත් පැවැසීය.

වසර 2020දී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්ගේ මාසික මූලික වැටුප රුපියල් එක්ලක්ෂ තිස්නවදහස දක්වා ඉහළ දැමීමට යහපාලන රජය පියවර ගන්නා බව පාර්ලමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා මෙහිදී පැවැසීය. 

නව අදහස දක්වන්න