ළමා ශ්‍රමය තුරන් කිරීමට ශ්‍රී ලංකාව ගෙනගිය වැඩපිළිවෙළ සාර්ථකයි | දිනමිණ

ළමා ශ්‍රමය තුරන් කිරීමට ශ්‍රී ලංකාව ගෙනගිය වැඩපිළිවෙළ සාර්ථකයි

අනුර ප්‍රේමලාල්

ළමා ශ්‍රමය මෙලොවින් තුරන් කිරීමේ ක්‍රියාන්විතයේ දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව කම්කරු, වෘත්තීය සමිති සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවැසීය. ඉකුත් වර්ෂයේ නවතම සමීක්ෂණ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමික සංඛ්‍යාව 60%කින් අඩු වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඉකුත් ( 14) ළමා ශ්‍රමය මෙලොවින් තුරන් කිරීමේ සිව්වන ජාත්‍යන්තර සමුළුව අමතමිනි.නොවැම්බර් 14 දින ආරම්භ වූ මෙම සමුළුව 16 වෙනිදා දක්වා ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරය කේන්ද්‍රකර පැවැත්විණි.

ආජන්ටිනියා රජය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන මෙම සමුළුව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරණ රටවල් 193ක් නියෝජනය කරමින් කම්කරු අමාත්‍යවරුන්,රාජ්‍ය නියෝජිතයන්,වෘත්තීය සමිති නායකයන්,සේව්‍ය පක්ෂයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටිති.

2025 වර්ෂය වන විට ළමා ශ්‍රමය මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර වැඩ සටහන වේගවත් කිරීම,2030 වසර වනවිට අනවසර මිනිස් ශ්‍රම වෙළඳාමට සම්පූර්ණයෙන් තිත තැබීම යන කරුණු සම්බන්ධව මෙම සමුළුවේදී විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ.ඒ සඳහා යහපාලනය,නීතියේ ආධිපත්‍ය සහ සමාජ කතිකාවත යන සංකල්ප භාවිත කරන ආකාරය පිළිබඳව රටවල් අතර දැනුම සහ අත්දැකීම් හුවමාරුකර ගැනීමටද අපේක්ෂිතය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,“ආජන්ටිනානු රජයට අපේ විශේෂ ස්තූතිය හිමිවෙනවා. මෙවැනි සමුළුවක් සංවිධානය කිරීම පිළිබඳව.ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් මේ සදහා ලැබෙන සහයෝගී දායකත්වයත් අපි අගය කරනවා.ළමා ශ්‍රමය මෙලොවින් තුරන් කිරීම අපි හැමෝගෙම වගකීමක්.මේ සඳහා අපි රටවල් වශයෙන් එකමුතුව ක්‍රියාත්මක ජාත්‍යන්තර වැඩපිළිවෙල වගේම, රටවල් වශයෙන් අපි ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් ගැනත් පසු විපරමක් කිරීම කාලෝචිතයි.මේ සම්බන්ධව රටවල් අතර අත්දැකීම් හුවමාරුව කර ගැනීමත් ඉතාම වැදගත්.ඒ තුළින් ළමා ශ්‍රමය පිටුදැකීම වේගවත් කිරීමට අවශ්‍ය නව දැනුම සහ අවබෝධය ලැබෙනවා. ජාතික වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනයටත් මෙය විශාල පිටිවහලක් වන බවත් කිව යුතුයි.”

තවදුරටත් අදහස් දක්වමින්,රටක ඕනෑම ප්‍රතිපත්තියක් සාර්ථකව ක්‍රියත්මක කිරීමට මුලික සංකල්ප තුනක් ක්‍රියාත්මක විය යුතුයි.නීතියේ ආධිපත්‍ය,සමාජ කතිකාවත සහ යහපාලනය යන එම මූල ධර්මයන් හරි ආකාරව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව කිව යුතුයි.විශේෂයෙන්ම යහපාලනය පවත්වාගෙන යාම කෙරෙහි වත්මන් රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

එම නිසා මෙම සංකල්පයන් ළමා ශ්‍රමය පිටුදැකීමේ ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීමට අපිට විශාල පිටිවහලක් වී තිබෙනවා.

ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධව අදහස් දැක්වු අමාත්‍යවරයා,

අපි රටක් විදිහට ළමා ශ්‍රමය පිටුදැකීම සම්බන්ධව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පිළිගත් අංක 138 දරණ අවම සේවක වයස පිළිබඳ ප්‍රඥප්තිය,අංක 182 අනතුරු දායක ළමා ශ්‍රමය සම්බන්ධ ප්‍රඥප්තීන්ට අනුව කටයුතු කරනවා.ඒ වගේම එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියද අප විසින් පිළිගෙන ක්‍රියාත්මක කරනවා.ළමයින් සහ කාන්තාවන් සේවයේ යෙදවීමේ පනත ලංකාව තුළ අපි ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන නීතියක්.

ඒ පනත අනුව වයස 14ට අඩු දරුවකු සේවයේ යෙදවීම තහනම්.ඒවගේම වයස අවුරුදු 18ට අඩු දරුවන් අනතුරු දායක රැකියාවල යෙදීවීමත් තහනම්කර තිබෙනවා. එවැනි අනතුරු දායක රැකියා 51ක් 2010 වසරේ ගැසට් කර තිබෙනවා .ඒ අනුව සෞඛ්‍ය,ආරක්ෂාව සහ සදාචාරයට හානිකර රැකියාවල ළමයින් යෙදවීම තහනම් වෙනවා. ඒවගේම මෑතකදී අධ්‍යාපන අමාත්‍යංශය විසින් සෑම ළමයෙකුගේම අධ්‍යාපනය ලැබිය යුතු වයස අවුරුදු 14 සිට 16 දක්වා වැඩි කර තිබෙනවා.ඒ හා සමගාමීව රැකියාවක් කිරීමේ අවම වයසත් අවුරුදු 16 කර තිබෙනවා.

අපි රටක් විදිහට ළමා ශ්‍රමය තුරන් කිරීම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් සිදු කර තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් දිවයින පුරා ආයතන වල ළමා ශ්‍රමිකයන් සේවයේ යොදවා තිබේ දැයි නිරන්තර පරීක්ෂාවට ලක් කරනවා.මේ සඳහා අපගේ නිලධාරීන්,පොලිස් නිලධාරීන් සහ ඒ සඳහා දායකවන සියලු දෙනාට නිරන්තර පුහුණුව සහ මඟ පෙන්වීම අපි ලබා දෙනවා.

මෙම සමුළුව නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර,කම්කරු අමාත්‍යංශයේ වෘත්තීය සමිති සබඳතා සහකාර ලේකම් විජේරත්න කොඩිප්පිලි යන මහත්වරු සහභාගී වූහ. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...