රට රැකියාවලට ගොස් විවිධ කරදරවූවන්ට කෝටි 2කට වැඩි වන්දි ගෙවීමට හැකිවුණා | දිනමිණ

රට රැකියාවලට ගොස් විවිධ කරදරවූවන්ට කෝටි 2කට වැඩි වන්දි ගෙවීමට හැකිවුණා

2018 වසරේ අප්‍රේල් මාසය වන විට විදෙස් ශ්‍රමිකයන් සඳහා යෝජනා වී තිබෙන විශ්‍රාම වැටුප ලබාදිය හැකිවන බවත්, 2017 වර්ෂයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරයට ලක්වූ ශ්‍රමිකයන් සඳහා කෝටි දෙකකට අධික වන්දි මුදලක් ලබාදීමට හැකිවුණු බවත්, අධිකරණ හා විදේශ රැකියා ඇමැති නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

ඇමැතිනිය මේ අදහස් පළකළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගොස් එරටදී විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයන් 38 දෙනෙකු වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 10,600,000 (එක්කෝටි හයලක්ෂයක්) වන්දි මුදල් ප්‍රමාණයක් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී ඇමැතිනිය මෙසේ ද කීවාය.

මේ වගේ වන්දි ප්‍රදානයක් අද සිදුකරන්න කටයුතු කරපු සියලු දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා. විදෙස් ගතවෙලා ඉඳලා හෝ තමන්ගේ පවුලේ ආදරණීය ඥාතියා විදේශ ගතවෙලා යම් කිසි විදිහේ දුකකට පත්වෙලා තමයි අද මෙතන ඉන්නේ. කාර්යාංශයේ හා තානාපති කාර්යාලවල සේවය කරපු අය කැපවීමෙන් කටයුතු කරපු නිසා තමයි අද මේ වන්දි මුදල් ලබා දෙන්නේ. 2016 වසරේ හිඟ වැටුප් ලක්ෂ 248ක් ලබාදීලා තියෙනවා. මේ අවුරුද්දේ 115 දෙනෙකුට ලක්ෂ 516ක් ලබාදීලා තියෙනවා. අපේ වගකීම වෙන්නේ නොයෙකුත් කරදරවලට ලක්වෙන ශ්‍රමිකයන් බලාගන්න එක. ඇතැම් අය මාධ්‍ය හරහා නොයෙකුත් චෝදනා අපිට කරනවා. විශේෂයෙන්ම පහුගිය කාලවල කරදරයට ලක්වෙලා හිටිය අයට අවබෝධයක් තිබුණේ නෑ ඇවිත් අපිට පැමිණිලි කරන්න ඕනෑ කියලා. කාර්යාංශයට කියන්න. අපේ පළාත් කාර්යාලවලට කියන්න. ඒකෙන් නොයෙකුත් අය ඇවිත් ඒ දේවල්වලින් ප්‍රයෝජන ගන්න උත්සාහ කළා. අපි මේ දේවල් හොඳට අත්දැකලා තියෙනවා. මේ දේවල්වලට කාර්යාංශය මුකුත් කරන්නේ නෑ. හැමදේම කරන්නේ අපියි කියන දේ ඇතැම් අය මටත් ඇවිත් කියනවා. දේශපාලන වාසි ගන්නත් කියනවා. එහෙම සංවිධාන ගොඩක් තියෙනවා.

ඊයේ පෙරේදා මගෙන් අහනවා කෝ විදෙස්ගත ශ්‍රමිකයන්ට ඇතිකරනවා කිව්ව විශ්‍රාම වැටුප කියලා. ඒක අවුරුද්දක් ගානේ අයවැය කියවනකොට කියන්නේ නෑ. ඒක ගිය අවුරුද්දේ ඉදිරිපත් කළා. මේ වෙනකොට ඒ දේවල් ටිකක් ලේසි වෙලා තියෙනවා අධිකරණ අමාත්‍යාංශය හරහා ඇතැම් ආයතන තියෙන නිසා. මේ දේවල්වලට යම් කාලයක් යනවා. ජනාධිපතිතුමා එතුමාගේ මැතිවරණ පොරොන්දුවල විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් කවුරුත් නොකියපු විදිහට වැඩ ගොඩක් කරන්න පොරොන්දු වුණා. මගෙත් බලාපොරොත්තුව ලබන වසරේ අප්‍රේල් මාසය විතර වන විට මේ දේවල් ක්‍රියාත්මක කරන්න. ඒ වෙනුවෙන් වෙනමම අංශයක් කාර්යාංශය තුළ ඇතිකරන්න වෙලා තියෙනවා. ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ගෙවන එක කවුන්ටරයට කොලේ දික්කරනවා වගේ පහසු නෑ. මේ දේවල් අපි කරන්නේ අපේ ශ්‍රමිකයන්ට වගකීමක් හා පිළිගැනීමක් තියෙන නිසා.

අද ලබා දුන් වන්දි මුදල් අතරට විදේශ රැකියාව අතරතුරදී හා මෙරටට පැමිණීමෙන් පසු සිදුවූ මරණ 15ක් සඳහා රු. 4,200,000.00 ද, වෛද්‍යාධාර සඳහා ශ්‍රමිකයින් 13 දෙනෙකු වෙනුවෙන් රු. 1,850,000 හා යැපෙන්නන් සඳහා එක් ශ්‍රමිකයෙකු වෙනුවෙන් රු. 50,000.00ක මුදලක් ද පිරිනමන ලදී.

විදේශ රැකියා සඳහා පදිංචි ශ්‍රමිකයන්ට වන්දි ලබාදෙන රක්ෂණ ක්‍රමයට ඇතුළත් නොවූ මියගිය හා ආබාධිත වූ වන්දිලාභීන් වෙනුවෙන්, විගමනික සේවක සුබසාධන අරමුදල මගින් මෙසේ වන්දි මුදල් ලබා දෙයි. ඒ අනුව රක්ෂණ කාලය අවසන් වී තවදුරටත් එය දීර්ඝ නොකර සේවයේ යෙදී සිටි හා රක්ෂණ ක්‍රමය මඟින් ආවරණය නොවූ තත්ත්වයන් වෙනුවෙන් මේ වන්දි ප්‍රදානය කෙරේ.

2017 වසරේ විදේශ රැකියාව අතරතුරදී හා මෙරටට පැමිණීමෙන් පසු සිදුවූ මරණ 58 ක් සදහා රු. 16,000,000.00 ද, වෛද්‍යාධාර සඳහා ශ්‍රමිකයින් 47 දෙනෙකු වෙනුවෙන් රු. 6,400,000 හා යැපෙන්නන් සඳහා එක් ශ්‍රමිකයින් 8 දෙනෙකු වෙනුවෙන් රු. 500,000.00 මුදලක් ද පිරිනමන ලදී. ඒ අනුව ශ්‍රමිකයන් 113 දෙනෙකු වෙනුවෙන් රු. 22,900,000.00 ක මුදලක් විගමනික සේවක සුබසාධන අරමුදල මගින් ලබා දී තිබේ.

2016 වසරේ විදේශ රැකියාව අතරතුරදී හා මෙරටට පැමිණීමෙන් පසු සිදුවූ මරණ 62 ක් සඳහා රු. 14,680,000.00 ද, වෛද්‍යාධාර සඳහා ශ්‍රමිකයින් 75 දෙනෙකු වෙනුවෙන් රු. 9,410,000 හා යැපෙන්නන් සඳහා එක් ශ්‍රමිකයින් 16 දෙනෙකු වෙනුවෙන් රු. 1,100,000.00 මුදලක් ද පිරිනමන ලදී. ඒ අනුව ශ්‍රමිකයන් 153 දෙනෙකු වෙනුවෙන් රු. 25,190,000.00ක මුදලක් විගමණික සේවක සුබසාධන අරමුදල මගින් ලබා දී තිබේ.

එසේම මීට අමතරව විදේශ රැකියාව කරන අතරතුරදී මියගිය හා එරට කළ රැකියාව හේතුවෙන් මෙරටට පැමිණ මරණයට පත්වූ ශ්‍රමිකයින් 9 දෙනෙකු වෙනුවෙන් කාර්යාංශ රක්ෂණ අරමුදල මඟින් රුපියල් ලක්ෂ 45 ක මුදලක් ද අද දිනයේදී පිරිනමන ලදී.

2016 වර්ෂයේදී විගමණික ශ්‍රමිකයින් 51 දෙනෙකු සඳහා රු. 24,834,526.84 ක් (දෙකෝටි හතළිස්අටලක්ෂ තිස්හතරදහස් පන්සිය විසි හයයි ශත අසූ හතරක) හිඟ වැටුප් ලෙස කාර්යාංශය මැදිහත් වී ලබා දී තිබෙන අතර 2017 වසර් මේ දක්වා කාලය තුළ ශ්‍රමිකයන් 115 දෙනෙකු වෙනුවෙන් රු. 51,640,563.00 ක (පන්කෝටි දහසයලක්ෂ හතළිස්දහස් පන්සිය හැටතුනක) මුදලක් හිඟ වැටුප් වශයෙන් ලබා දී තිබේ.

යාපහුව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායිකා අචිනි ලොකුබණ්ඩාර, කාර්යාංශයේ සභාපති ආර්. කේ. ඔබේසේකර, ක්‍රියාකාරී අධ්‍යක්ෂ නීතිඥ උපුල් දේශප්‍රිය, සාමාන්‍යාධිකාරී කේ. ඕ. ඩී. ඩී. ප්‍රනාන්දු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සුබසාධන) තරංග හෙට්ටිආරච්චි මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ. 

නව අදහස දක්වන්න