කුමන චෝදනා ආවත් මානව හිමිකම් රකින වැඩපිළිවෙළ නවතන්නේ නෑ | දිනමිණ

කුමන චෝදනා ආවත් මානව හිමිකම් රකින වැඩපිළිවෙළ නවතන්නේ නෑ

මහින්ද අලුත්ගෙදර

මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ කුමන චෝදනා එල්ල වුවද නතර නොකරන බව ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ අවධාරණය කරයි.

සංහිඳියාව වෙනුවෙන් රජය අඛණ්ඩව කැපවන බවද ඒ වෙනුවෙන් දැනටමත් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බවද ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ජගත් මානව හමිකම් කවුන්සලයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කාලාවර්තක ඇගයීමට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

මෙහිදී යුද ගැටුම් අවසන් කළ ශ්‍රී ලංකාව වර්තමානය වන විට මානව හිමිකම් සම්බන්ධයෙන් ලබා තිබෙන ප්‍රගතිය ඇතුළු කරුණු ඇතුළත් මානව හිමිකම් පිළිබඳ වාර්තාව සමාලෝචනයට ලක් කර තිබෙන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ සෑම සාමාජික රාජ්‍යයකම මානව හිමිකම් වාර්තාව සෙසු සාමාජික රාජ්‍ය විසින් සමාලෝචනය කරනු ලබන ක්‍රියාපටිපාටියක් ලෙස විශ්ව කාලාන්තර සමාලෝචනය, 2006 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ස්ථාපනය කර තිබෙන අතර ඒ අනුව විශ්ව කාලාන්තර සමාලෝචනය යටතේ පිළියෙළ කරන ලද ශ්‍රී ලංකාවේ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාකාරී කණ්ඩායමේ සලකා බැලීම සිදුකරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා සිදුකරනු ලබන මෙම සමාලෝචනය, සෑම රටක්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ප්‍රකාරව දරන මානව හිමිකම් පිළිබඳ වගකීම් හා බැඳීම්, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය, එම රට පාර්ශ්වකරුවකු වන මානව හිමිකම් ගිවිසුම් සහ අනෙකුත් මූලාශ්‍ර මත පදනම් වන අතර මෙම ක්‍රියාපටිපාටියේ දී සමාලෝචනයට බඳුන් වන රට සිය මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කොට, මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට පෙනී සිටියි.

එහිදී, එම රටේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් වන සිය නිර්දේශ එක්සත් ජාතීන්ගේ සෙසු සාමාජික රටවල් විසින් එම රටට ඉදිරිපත් කරනු ලබන අතර මෙම නිර්දේශ එක්කෝ ‘පිළිගැනීමට’ නැත්නම් ‘සටහන් කරගැනීමට’ සමාලෝචනයට භාජනය වන රාජ්‍යයට හැකියාව තිබෙන බවද එසේ පිළිගන්නා නිර්දේශ අනාගතයේ දී එම රට විසින් කළයුතු වාර්තාවල පදනම බවට පත්වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

තම මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවල් පරීක්ෂාවට සහ සමාලෝචනයට බඳුන් වන එකම ක්‍රියාපටිපාටිය වනුයේ විශ්ව කාලාන්තර සමාලෝචනය වන අතර ශ්‍රී ලංකාව සිය පළමු විශ්ව කාලාන්තර සමාලෝචන චක්‍රයට 2008 දීත්, දෙවැනි චක්‍රයට 2012 දීත් භාජනය විය.ජාතික ප්‍රතිපත්තිය ලෙස ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් සුරැකීමටත්, ප්‍රවර්ධනය කිරීමටත්, ඉහළට ඔසවා තැබීමටත් ජාතික සම්මුතිවාදී රජයේ ඇති දැඩි කැපවීම අනුව යමින්, විශ්ව සමාලෝචනය පිණිස සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් දරනු ලබන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය සහ ජිනීවා නුවර එක්සත් ජාතීන් සඳහා වූ නිත්‍ය නියෝජිත කාර්යාලය යන ආයතනයන් හි නිලධාරිහු නියෝජිත පිරිසට ඇතුළත් වෙති. 

නව අදහස දක්වන්න