හිතනවාට වඩා පැ‍රැණි වයින් ඉතිහාසය | දිනමිණ

හිතනවාට වඩා පැ‍රැණි වයින් ඉතිහාසය

මංජුලා විජයරත්න

මධ්‍යසාරමය පානයක් හැටියට සැලකෙන වයින් ලොව සෑම කලාපයකම ජීවත් වන ජනයා පානය කරති. ඔබ විශ්වාස නොකළ ද මෙයට වසර තුනකට පෙර - එනම් 2014 වසරේදී ලෝ පුරා නිෂ්පාදනය කෙරුණු වයින් ප්‍රමාණය ටොන් 30,806,000කට අධික වේ. එපමණ වයින් ප්‍රමාණයක් එකල නිෂ්පාදනය කෙරී තිබෙන්නේ ඉතාලිය, ස්පාඥ්ඥය, ප්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ආර්ජන්ටිනාව, චිලි, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ ජර්මනිය ආදී රටවල් කේන්ද්‍ර කරගෙනය. වයින් නිෂ්පාදනයේ සහ භාවිතයේ වත්මන් තත්ත්වය එසේ වුවත් වයින් පාවිච්චියට ගැනීම ආරම්භ වුණේ මානව ඉතිහාසයේ කවර තරම් ඈත අතීතයක සිටදැයි කියා ඔබට අනුමාන කළ හැකිද?

මේ ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගත හැකි පර්යේෂණ වාර්තාවක් ඇමෙරිකාවේ පළ වන “ද ප්‍රොසිඩින්ග්ස් ඔෆ් ද නැෂනල් ඇකඩමි ඔෆ් සයන්සස්”මඟින් පසුගිය දා ප්‍රකට කෙරිණ. මේ වාර්තාවෙන් කියැවුණේ මෙයට වසර 8000කට පමණ පළමුවත් මිනිසුන් වයින් නිෂ්පාදනට සහ භාවිතයට පෙළඹී සිටි බවකි.

මෙයට වසර 8,000කට පළමුව මිනිසුන් අතර වයින් භාවිතයක් තිබුණු බව සනාථ වී තිබෙන්නේ එම කාලයට අයත් මැටි ගුදම් රැසක කැබලි අලළා කෙරුණු පර්යේෂණයකදීය. පර්යේෂණයට මැටි ගුදම් කැබලි 18ක් පමණ යොදා ගත් බව සඳහන් වේ. එම මැටි බඳුන් කැබලි විද්‍යාඥයන් අතට පත් වූයේ ජෝර්ජියා රාජ්‍යයේ ටිබිලිසි අගනුවර සිට කිලෝමීටර 50ක් පමණ ඈතින් පිහිටි ගම්මාන දෙකක කළ කැණීම්වලදීය. ගැඩක්‍රිලි ගෝරා සහ ෂුලවෙරිස් ගෝරා යන ගම්මාන දෙකෙන් එම මැටි බඳුන් කැබලි සොයා ගැනිණ. විද්‍යාඥයන් පවසන අන්දමට එම බඳුන් කැබලිවලින් ඇතැම් ඒවා ඔවුන් සොයාගෙන තිබෙන්නේ 1960 දී පමණ කළ කැණීම්වලදීය.

මැටි බඳුන් කැබලි විවිධ පර්යේෂණයන්ට ලක් කිරීමේදී ඒවායෙහි ටාර්ටාරික් අම්ලය අඩංගුව තිබූ බව තහවුරු වී තිබේ. එම අම්ලය වයින්වල ද අඩංගුය. බඳුන්වල තිබුණ අම්ල අංශු අනුව එම අම්ලය කවර කලෙක නිෂ්පාදනය වූවක්දැයි විද්‍යාඥයෝ අනතුරුව පරික්ෂා කර බැලුහ. එහිදී තහවුරු වුෙය් ක්‍රි.පූ. 6000ත් 5000ත් අතර කාලයකදී එම අම්ලය නිෂ්පාදනය කෙරී ඇති බවකි. එනම් නියෝලිතික අවධියට ය. එපමණක් නොව මිදී පරාග, මැටි ගුදම් කැබලිවල තැන්පත්ව ඇති බවත් විද්‍යාඥයෝ අනාවරණය කර ගත්හ.

මෙයට පෙර අවස්ථාවකදී විද්‍යාඥයන් සොයා ගත් කරුණුවලින් කියැවුණේ වයින් මුලින්ම භාවිතයට ගෙන තිබෙන්නේ අදින් වසර 7000කට පමණ පළමුව බවයි. එම තොරතුරු හෙළිවුණේ වයඹ දිග ඉරාණයේ සාග්‍රොස් කඳුකරයෙන් සොයා ගැනුන මැටි බඳුන් කැබලි රැසක් පර්යේෂණයට ලක් කිරිමේදීය. ඒවා ක්‍රි.පූ. 5400–5000 අතර කාලයට අයත් ඒවා විණ. එනිසා එතෙක් මෙතෙක් පිළි ගැනුණේ මෙයට වසර 7000කට පමණ පළමුව වයින් නිෂ්පාදනය කෙරුණ බවකි. නමුත් නව පර්යේෂණයත් සමඟ ඒ මතය බැහැර කළ හැකි බව පර්යේෂණයට සහභාගී වුණු ස්ටීවන් බටියුක් පවසයි. හෙතෙම කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකි.

“මිදි යොදාගෙන වයින් හැදූ බව තහවුරු කෙරෙන පැරණිතම නිදර්ශනය මෙයයි.” යනුවෙන් ඔහු පවසයි.

එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ ඔගස්ටා මැක්මහෙන් පවසන්නේ මිනිසා සහ වයින් අතර පැවැති ඓතිහාසික සම්බන්ධතාවය නව පර්යේෂණයෙන් අනාවරණය වන බවකි. වයින් නිෂ්පාදනය කිරීම හා බද්ධ වුණු සංස්කෘතියක් ඇති බව විද්‍යාඥයෝ පවසති. ඒ සංස්කෘතිය අද මෙන්ම එදාත් පැවති බව ඔවුන්ගේ විශ්වාසයයි. එවැනි සංස්කෘතියක් පැවති බව මෙවර පර්යේෂණයට ලක් කෙරුණු ගුදම් කැබලිවලින් ද තහවුරුව ඇත. විද්‍යාඥයන් පර්යේෂණයට ලක් කළ එම බඳුන් කැබලි වයින් නිෂ්පාදනය සඳහාම කළ මැටි ගුදම්වලට අයත් ඒවා විණ. එම ගුදම් අලංකාර චිත්‍රවලින් සරසා තිබුණු බවට සාක්ෂි ඇත. සිතුවම්වලින් මිදි පොකුරුද, නර්තනයෙහි යෙදෙන මිනිසුන්ද නිරූපණය වි ඇතැයි කියා පර්යේෂකයෝ පවසති.

අද මෙන්ම අතීතයේදීත් වයින් නිෂ්පාදනය සඳහා භාවිතයට ගෙන තිබෙන්නේ මිදි ය. සොයා ගනු ලැබූ ගුදම් කොටස්වල මිදි පරාග තැන්පත්ව තිබෙන්නෙට හේතුව මිදි පොකුරු හැටියටම ගෙන ගුදම් තුළ බහා පැහෙන්නට හැර තිබීමයි. මේ අන්දමට වයින් නිෂ්පාදනය කරන්නට එදා යුරෝ - ආසියා වල් මිදි විශේෂය යොදා ගන්නට ඇති බව විද්‍යාඥයෝ පවසති. මෙයට වසර 12,000කට පමණ පළමුව, එනම් නියෝලිතික යුගය ආරම්භයේදී මිනිසුන් සංචාරක දිවියක් ගෙවූ බවත් විද්‍යාත්මකව තහවුරු වී ඇත.

අද අප කතා කරන රුසියාවත් තුර්කියත් අතර ප්‍රදේශය එකල තෙත් බිමක්ව තිබී ඇත. එම තෙත් බිම් වගා කටයුතු සඳහා ඉතාමත් යෝග්‍ය ඒවා වූ බව පැවසේ. යුරෝ-ආසියා වල් මිදි විශේෂය වගා කරන්නට මිනිසුන් එම තෙත් බිම තෝරා ගන්නට ඇති බව පැහැදිලිය. එයට සමාන්තරවම මැටි බඳුන් සැකසීම, ඉවීම, ආහාර සහ පාන වර්ග භාවියට ගැනීම යන පුරුදුත් මිනිසුන් අතර ඇති වන්නට ඇතැයි කියා විශ්වාස කෙරේ. ඒ කාලයේදී වයින් සැකසූ බවටත් ඒ සඳහා ගුදම් යොදා ගත් බවටත් සාක්ෂි හමුවන්නේ එබැවිනි.

මිදි භාවිතයට ගෙන වයින් සැකසීමේ කාර්යය ඈත අතීතයේදී ජෝර්ජියාව, ඉරානය වැනි රාජ්‍යය ආශ්‍රිතව ව්‍යාප්තව තිබෙන්නට ඇත. එසේ වුවත් මිදි භාවිතයට නොගෙන වයින් නිෂ්පාදනය කිරීමත් ඈත අතීතයේ සිටම සිදු කෙරී තිබේ. පුරා විද්‍යාත්මක සාක්ෂිවලින් තහවුරු වන්නේ මිදි යොදා නොගත් වයින් නිෂ්පාදනය මෙයට වසර 7000කට පමණ පළමුව චීනය කේන්ද්‍ර කරගෙන සිදු වූ බවකි. එම වයින් නිෂ්පාදනය කර තිබෙන්නේ සහල්, පැණි, චීනයෙන් සොයාගත හැකි පලතුරු වර්ග භාවිතයට ගනිමිනි.

BBC සහ CNN ඇසුරෙනි

නව අදහස දක්වන්න