මුගාබේට මොකද වුණේ? | දිනමිණ

මුගාබේට මොකද වුණේ?

ධම්මික සෙනෙවිරත්න

ජනාධිපතිවරයා විසින් උප ජනාධිපති එමර්සන් නන්ගග්වා ධුරයෙන් නෙරපා හැරියේ ඉකුත් සතියේදීය. තවමත් ප්‍රකාශ වී නැතත් මෙම හමුදා කුමන්ත්‍රණය ද එම සිදුවීම්වලම එක් පුරුකක් ද යන ප්‍රශ්නය මෙහිදී නිතැතින්ම පැන නඟී. උප ජනාධිපතිවරයාට ආරක්ෂක අංශවල විශාල සහායක් තිබිණි. සිම්බාබ්වේ රාජ්‍යයේ මීළඟ නායකයා වශයෙන් ඔහු පත්වන ලකුණු ද තිබේ. හදිසියේම නන්ගන්වා නෙරපා හැරි ජනාධිපති මුගාබේ, උප ජනාධිපති ධුරය සිය බිරිය ග්‍රේස් මුගාබේට පැවරීය.

හමුදා කුමන්ත්‍රණයක් බව පෙනෙන ක්‍රියාදාමයත් සමඟ සිම්බාබ්වේ රාජ්‍ය කැළැඹී තිබේ. අඟහරුවාදා දහවල් හරාරේ නගරයේ වීදිවල යුද ටැංකි දැකගත හැකි විය. බදාදා අලුයම වන විට එරට හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් එස්. බී. මොයෝ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් කියා සිටියේ, ජනාධිපතිවරයා වටා සිටි දූෂිත පුද්ගලයන්ට එරෙහිව ආරක්ෂක හමුදාව ක්‍රියාත්මක වූ බවයි. ජනාධිපතිවරයා සහ පවුලේ උදවිය ආරක්ෂිත බව ද ඔවුන්ට කිසිදු අනතුරක් නොමැති බව ද ඔහු දැනුම් දුන්නේය. මෙය හමුදා කුමන්ත්‍රණයක් නොවන බව ද අවධාරණය කළ හමුදා ප්‍රධානියා හමුදාව පාලන බලය සියතට ගෙන නැති බව ද කියා සිටියේය. මෙම හමුදා ක්‍රියාමාර්ගයේදී ජනාධිපතිවරයා සහ පවුලේ සාමාජිකයන් නිවාස අඩස්සියේ තැබිණි. ආණ්ඩුවේද ප්‍රබලයන් වන ජනාධිපතිවරයාගේ සමීපතමයන් කිහිපදෙනකු ද හමුදා බාරයට ගෙන තිබිණි. එහිදී වරින්වර වෙඩි හඬ ද අසන්නට ලැබිණි. කෙසේ වුවද ජීවිත හානි වාර්තා වී නොමැත. බැලූ බැල්මට පෙනෙන්නේ ලේ නොසෙල් වූ කුමන්ත්‍රණයකින් එරට බල වෙනසක් සිදු වී ඇති අයුරකි.

සිම්බාබ්වේ ඉතිහාසයේ හමුදා කුමන්ත්‍රණ ගැන අසන්නට නොලැබේ. මෙයද කුමන්ත්‍රණයක් නොවන බව ආරක්ෂක අංශ කියා සිටියද ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ කවර දෘෂ්ටිකෝණයකින් බැලුවද හමුදා කුමන්ත්‍රණයක් සිදු වී ඇති බවය. 93 හැවිරිදි ජනාධිපති රොබට් මුගාබේ ලොව දීර්ඝම කාලයක් බලයේ සිටින රාජ්‍ය නායකයාය. ඔහුගේ ධුර කාලය වසර 40 කට ආසන්නය.

කුමන්ත්‍රණය ගැන දැනගත් විගස දකුණු අප්‍රිකානු ජනාධිපති ජාකොබ් ෂුමා, සිම්බාබ්වේ ජනාධිපතිවරයා ඇමතූ අතර ඉන්පසු ඔහු දැනුම් දුන්නේ මුගාබේ සහ පවුලේ උදවිය ආරක්ෂිතව පසුවන බවය. හමුදාව තමා නිවසට සීමාකර ඇති බව ඔහු දන්වා සිටි බව ද දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා පැවැසීය.

නගරයේ හමුදා රැකවල්

අගනුවර වීදිවල කලබලකාරී බවක් හෝ ගැටුම්කාරී තත්ත්වයක් දක්නට නොමැත. එහා මෙහා ගමන් කරන යුද ටැංකි සහ මර්මස්ථානවල හමුදා රැකවල් දැඩි කර ඇත. නගරයේ වැදගත් ස්ථාන අසල ආරක්ෂක මුරපොළ යොදා තිබේ. ඒ හැරුණුවිට ගැටුම්කාරී ස්වභාවයක් දක්නට නැත. කුමන්ත්‍රණය වාර්තා වීමෙන් පසුවද ගැටුම් හටගැනීමක් සිදු නොවීය. බැංකු අසල නම් දිගු පෝළිම් දැකිය හැකිවිණි.

ජනාධිපතිවරයා විසින් උප ජනාධිපති එමර්සන් නන්ගග්වා ධුරයෙන් නෙරපා හැරියේ ඉකුත් සතියේදීය. තවමත් ප්‍රකාශ වී නැතත් මෙම හමුදා කුමන්ත්‍රණය ද එම සිදුවීම්වලම එක් පුරුකක් ද යන ප්‍රශ්නය මෙහිදී නිතැතින්ම පැන නඟී. උප ජනාධිපතිවරයාට ආරක්ෂක අංශවල විශාල සහායක් තිබිණි. සිම්බාබ්වේ රාජ්‍යයේ මීළඟ නායකයා වශයෙන් ඔහු පත්වන ලකුණු ද තිබේ. හදිසියේම නන්ගන්වා නෙරපා හැරි ජනාධිපති මුගාබේ, උප ජනාධිපති ධුරය සිය බිරිය ග්‍රේස් මුගාබේට පැවරීය. ජනාධිපතිවරයා ගත් එම පියවර ආරක්ෂක හමුදාවල නොසතුටට හේතු වූ බව ද පෙනෙන්නට තිබිණි. කුමන්ත්‍රණය දියත් වන්නේ එවැනි පසුබිමකය. මුගාබේ බිරිය වැළැක්වීමේ එහි එක් ප්‍රධාන අරමුණක් වන්නට ඇති බව අනුමාන කළ හැකිය.

හමුදාව අවධාරණයෙන් ප්‍රකාශ කරන්නේ මෙය හමුදා පාලනයක් ප්‍රකාශයට පත් කිරීමක් නොවන බවය. හැකි ඉක්මනින් රට තුළ සාමාන්‍ය පාලනය ස්ථාපිත කරන බව ඔවුහු පවසති. හමුදාවේ නිවාඩු අවලංගු කර ඇති අතර සෙබළුන් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බැරැක්ක වෙත වාර්තා කළ යුතු බවට නියෝග කර ඇත.

රොබට් මුගාබේ අන්තර්ජාතික ගුවන් තොටුපළේ ආරක්ෂාව ද හමුදාව විසින් තරකර තිබේ. ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපති ආර්යාව සිංගප්පූරුව බලා ගොස් ඇති බවය. ජනාධිපති මුගාබේට පක්ෂපාතීව සිටි සමීපතමයන් ඔහුගෙන් ඈත්වන සෙයක් ද දක්නට ඇත. ඔහුගේ පක්ෂය ද කිසියම් වෙනසක් අපේක්ෂාවෙන් පසුවන බව පෙනෙන්නට තිබේ. ඉන් ගම්‍ය වනුයේ මුගාබේ ආර්යාව සමඟ නොව උප ජනාධිපතිවරයා සමඟ එය පෙළගැසෙන්නට ඉඩ ඇති බවය. ග්‍රේස් මුගාබේ සහ උප ජනාධිපති එමර්සන් අතර මුගාබේගෙන් පසු රටේ නායකයා කවුරුන් විය යුතු ද යන කාරණය අරඹයා දැඩි බල අරගලයක් ඇතිවී තිබෙන අයුරු ඉකුත් දින ගණනාව තුළ දැකගත හැකි විය. බොහෝ දෙනකු තුළ ග්‍රේස් මුගාබේ පිළිබඳ ප්‍රසාදයක් නැති බවක් දිස්වේ.

1980 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගත් පසු සිම්බාබ්වේ රාජ්‍යයේ පළමු අගමැතිවරයා ලෙස පත්වූයේ රොබට් මුගාබේය. පසුව ඔහු ජනාධිපති පදවියට පත්වූ අතර එවක් පටන් මේ දක්වා රට පාලනය කරන්නේ ඔහු විසිනි. 2018 ජනාධිපතිවරණයට ද ඔහු තරඟ කරනු ඇතැයි මත පළවුවද මේ වන විට 93 හැවිරිදි වියේ පසුවන ඔහු එම අවස්ථාව සිය බිරියට ලබා දෙනු ඇති බවට පසුගියදා ගත් පියවර මඟින් ඉඟි කෙරිණි.

බටහිර විරෝධය

සුදු ජාතිකයන්ගේ ඉඩම් පවරා ගැනීම ඇතුළු දැඩි තීරණ ගණනාවක් ඔහු සිය පාලන සමයේදී ක්‍රියාවට නැංවීය. මේ හේතුකොටගෙන බටහිර රටවල සතුරකු බවට ඔහු පත්ව සිටියේය. මුගාබේගේ විරුද්ධවාදීන් ද ඔහුට චෝදනා කළේ ඔහුගේ නායකත්වය යටතේ රට දරිද්‍රතාවයේ ගිලී ගොස් ඇති බව පවසමිනි. සිම්බාබ්වේ රාජ්‍ය කලක් කෘෂිකාර්මිකව පොහොසත් රාජ්‍යයක්ව තිබූ අතර අප්‍රිකාවේ පාන් මල්ල යන විරුදාවලියෙන් හැඳින්විණි. එහෙත්, සුදු ජාතික ගොවීන්ගේ ඉඩම් අත්කර ගැනීමෙන් පසු එම කෘෂිකාර්මික සමෘද්ධිය බිඳවැටුණු බව මුගාබේට එරෙහි චෝදනාවකි. රට උද්ධමනයෙන් හා ණය බරින් මිරිකුණු නමුත් පාලකයන් සුර සැප විඳි බවට ද චෝදනා එල්ල විය.

ග්‍රේස් මුගාබේගේ සුඛෝපභෝගී මෙන්ම විලාසිතාවන්ට නැඹුරු දිවිපෙවෙත බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්විය. “ගුසී ග්‍රේස්“ නම් අන්වර්ථ නාමයක් ද ඇයට පටබැඳී තිබිණි. ඇයගේ දේශපාලන ආගමනයට ෙදවසරකට වැඩි ඉතිහාසයක් නැත. එමෙන්ම එරට නිදහස් අරගලයට ඇය කිසිදු දායකත්වයක් දක්වා ද නැත.

මේ සෑම කාරණයකින්ම පෙන්නුම් කෙරෙන්නේ රටේ නායකත්වය බාරගැනීමට තරම් සුදුසුකම් ඇය සතුව නැති බවයි. එහෙත්, මුගාබේ බලයේ සිටීමෙන් සිය අනුප්‍රාප්තිකයා ලෙස ඇය රැගෙන ඒමට විශාල හැකියාවක් ලැබේ. සිදුවූ හමුදා කුමන්ත්‍රණය මඟින් එය ව්‍යාර්ථ වී ඇති බව පැහැදිලිය. ජනාධිපතිවරයා ධුරයෙන් පහකළ බවක් හමුදාව කියන්නේ නැත. සිය ගමන්මඟ වෙනස් කර ගැනීමට ඔහුට යම් අවස්ථාවක් මෙමඟින් ලබා දුන්නේ ද යන්න ද නිශ්චිතව කිව නොහැකිය. හමුදා ප්‍රධානියා නිකුත් කළ ප්‍රකාශයේදී ද ජනාධිපතිවරයා ඉලක්ක කිරීමක් සිදු නොවූ බව පෙනිණි. ඔහු වටා සිටි “අපරාධකාරයන්ට“ දඬුවම් කළ යුතු බව ඔහු ඉදිරිපත් කළ කාරණයයි. එය කෙලෙස සිදුවනු ඇතිද යන්න ද තවමත් පැහැදිලි නැත.

දකුණු අප්‍රිකාවේ මූලිකත්වය ඇතිව තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් දියත් වී තිබේ. දකුණු අප්‍රිකා ජනාධිපති ෂුමා හමුදා ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත්තේ මින් ඉදිරියට ගමන් නොකරන ලෙස හා ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට ඉඩ නොතබන ලෙසය. තවමත් ගැටුම්කාරී තත්ත්වයන් එරට තුළ ඇතිවී නැත. සාමාන්‍ය ජන ජීවිතයට සැලැකිය යුතු බලපෑමක් එල්ල වී ද නැත.

දකුණු අප්‍රිකානු මැදිහත්වීම

ජනතාව තුළ කිසියම් අවිනිශ්චිත බවක් ඇති වී ඇති අයුරු නම් දිස්වේ. සිදුවන්නේ කුමක්දැයි වැඩි දෙනකුට අපැහැදිලිය. දකුණු අප්‍රිකා උප ජනාධිපති සිරිල් රම්පොසා සිම්බාබ්වේ වාතාවරණය පිළිබඳ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් බොරිස් ජොන්සන් සමඟ සාකච්ඡා කර තිබේ. මතුව ඇති ගැටලුකාරී තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදීව විසඳාගත යුතු බව එහිදී අවධානයට ලක්වී ඇත. ජනාධිපති ෂුමා විසින් මේ වන විට නියෝජිතයන් දෙදෙනකුම සිම්බාබ්වේට යවා ඇත්තේ මැදිහත්කරණයක් සඳහාය.

මේ වන විට ජනාධිපති මුගාබේ හමුදා බාරයේ නිවාස අඩස්සියේ පසුවන අතර රටේ මර්මස්ථාන සියල්ලේ බලය ද හමුදාව යටතේ පවතී. බදාදා දියත් වූ සැලැස්මෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ එරට යුද විරුවන්ගේ සංගමය අවධාරණය කළේ මුගාබේ ධුරයෙන් ඉවත් විය යුතු බවය. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජොන්සන්, දකුණු අප්‍රිකා උප ජනාධිපතිවරයා සමඟ පැවැති දුරකථන සංවාදයෙන් අනතුරුව කියා ඇත්තේ සිම්බාබ්වේ ජනතාවට සිය රටේ අනාගතය නිදහසේ තීරණය කිරීමට ඉඩ දිය යුතු බවයි. අධිකාරීවාදී පාලනයන්ට අප්‍රිකාවේ ඉඩක් නැති බව ද සඳහන් කළ ඔහු නිදහසේ මැතිවරණයකට ඉඩ තිබිය යුතු බව ද පෙන්වා දී ඇත.

ජනාධිපති මුගාබේ සහ හමුදා ප්‍රධානීන් අතර සාකච්ඡා සිදුකරමින් මැදිහත්කරුවකුගේ කාර්ය භාරය කතෝලික පූජකවරයකු විසින් ඉටුකරමින් සිටින බවට වාර්තා පළවී තිබේ. තවමත් රටේ නීත්‍යානුකූල නායකයා තමන් බව මුගාබේගේ ස්ථාවරයයි. මේ සාකච්ඡා පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිදරව් නොවේ. සිම්බාබ්වේ බුද්ධි අංශ මූලාශ්‍ර කර දක්වමින් රොයිටර් පුවත් සේවයේ වාර්තාවක සඳහන් වූයේ, හිටපු ආරක්ෂක ප්‍රධානියා ද වූ උප ජනාධිපති එමර්සන් නන්ගග්වා එරට ආරක්ෂක අංශ සමඟ මුගාබේගෙන් පසු පාලනය පිළිබඳ වසරකට අධික කාලයක් තිස්සේ සැලැසුම් කරමින් සිටි බවය. ඔහු උප ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට ද මේ කාරණා බලපෑවේ දැයි පැහැදිලි නැත. එමෙන්ම බදාදා සිදුවූ හමුදා ක්‍රියාමාර්ගය හා එම සැලැස්ම අතර යම් සම්බන්ධයක් තිබේදැයි තවමත් නිශ්චිතව කීමට හැකියාවක් ද නැත. එසේ වුවද කරුණු සිදුවෙමින් පවතින ආකාරයට සංවිධානාත්මක සැලැස්මක් ක්‍රියාවට නැංවෙමින් ඇති බවක් පෙනෙන්නට තිබේ. පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලැබීමට බ්‍රිතාන්‍යයට සහ දකුණු අප්‍රිකාවට ගොස් සිටි විපක්ෂ නායක මෝගන් සවන්ගිරායි ද ඉකුත් බදාදාම ආපසු සිය රටට පැමිණියේය.

මේ දිනවල සිම්බාබ්වේ රාජ්‍යයේ දිගහැරෙමින් ඇති සිදුවීම්වල යම් නාට්‍යමය ස්වරූපයක් පවතී. එය සුඛාන්තයක් වනු ඇති ද, ඛේදාන්තයක් වනු ඇතිද යන්න මෙන්ම ජනාධිපති මුගාබේගේ ඉරණම කුමක් වනු ඇති ද යන්න ද තවමත් හරිහැටි පැහැදිලි නැත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...