කොලිවුඩයේ බලය ලොවට කියාපාන MERSAL | දිනමිණ

කොලිවුඩයේ බලය ලොවට කියාපාන MERSAL

කොලිවුඩය හෙවත් දමිළ සිනමාවේ බල පරාක්‍රමය ලොවටම කියා පාන නවතම සිනමා පටය වී ඇත්තේ ‘මෙර්සල්’ය. මෙර්සල් ටීසරය මේ වනවිට ලෝක වාර්තාවකට ද හිමිකම් කියයි. යූ ටියුබයේ අන්තර්ජාතිකව කෝටි 695 ක මනාපය හිමිවූ ප්‍රථම සිනමා පට ටීසරය වී ඇත්තේ මෙර්සල්ය.

(ටීසරය හා පූර්ව ප්‍රචාරක සිනමා පටයක (ට්‍රේලරය) අතර වෙනසක් තිබේ. ට්‍රේලරයකින් සිනමා පටයේ සමස්තයම පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි අතර ටීසරය ප්‍රේක්ෂක කුතුහලය අවුළාලන දසුන් පෙළකි)

මීට පෙර ‘ස්ටාර් වෝර්ස්’ ද පරදා එම වාර්තාවට හිමිකම් කීවේ ද තවත් දමිළ සිනමා පටයක් වූ ‘විවේගම්’ ය.

යුරෝපයෙන් වෛද්‍ය මාරන් තලපති මවුබිමට පැමිණෙන්නේ රටේ අදෘශ්‍යමානව පැතිර යන සෞඛ්‍ය තර්ජනය විසඳාලීමටයි. එලෙසම එම ආගමනය නිසා ඔහුට පියාගේ මරණය සම්බන්ධ අභිරහසක් ද නිරාකරණය කරගැනීමට හැකිවේ.

මෙහි විජේ (ජෝශප් විජේචන්ද්‍රසේකර්), දමිළ සිනමාවේ ජනප්‍රිය නළුවා ත්‍රිත්ව චරිත නිරූපණයක යෙදෙයි.‍ වෙට්‍රිමාරන්, වෙට්‍රි සහ මාරන් යන චරිත විජේ විසින් නිරූපණය කරනු ලැබේ. මාරන් කරුණාවන්ත වෛද්‍යවරයකි. අයුක්තියට එරෙහිව සටන් වදින්නෙකි‍. මැජික් ශූරයකු වන වෙට්‍රිගේ ඉලක්කය පළි ගැනීමයි. වෙට්‍රිමාරන් ගමේ නායකයකි. වෙට්‍රි සහ මාරන් සොහොයුරන් වන නමුත් සතුරන් ය. මේ සතුරුකම ඉක්මවා ගොස් දෙදෙනා සහෝදරත්වයෙන් බැඳුණු කල ඔවුන්ට සැබෑ සතුරා ඩැනියල් හඳුනා ගැනීමට හැකිවේ. මාපියන් ඝාතනයේ අබිරහස ද විස‍‍ඳේ. වෙට්‍රිමාරන්, වෙට්‍රි සහ වෛද්‍ය මාරන්ගේ ආදරවන්තියන් බවට පත් වන්නේ සමන්තා, නිත්‍යා මෙනන්, කාජල් අගර්වාල් යන ජනප්‍රිය තාරකාවන් ය. ඔස්තාර් සම්මානලාභී ඒ‍.ආර්. රහමන්ගේ සංගීතයෙන් සිනමාපටය රස ගැන්වී ඇත.

මේ සියලු සුපිරි තරු එකතුව ‘මෙර්ෂල්’ සිනමා පටයේ විජයග්‍රහණයට පෙර නිමිත්තක් විය. එපමණක් නොව මේ සිනමා පටය බොක්ස් ඔෆිස් යුද්ධයකට සේම රසික රසිකාවන් අතර තරු යුද්ධයකට ද මුල පුරා ඇත. මෙය වැඩිම විදෙස් ආදායමක් ලැබූ විජේගේ පළමු සිනමා පටය වන අතර ඉන්දියානු රුපියල් කෝටි 200 සීමාවට පැමිණි පළමු චිත්‍රපටයයි.

අජිත්ගේ විවේගම් සහ විජේගේ මෙර්ෂල් දිනවීමට දෙදෙනාගේ ම රසිකයෝ යුද වදිති. ඉන්දියානු රුපියල් කෝටි 130 ක් වැය කර නිපදවූ මෙර්ෂල් ඉන්දියානු රුපියල් කෝටි 120 ක ආදායමක් ලබන බවට ඇස්තමේන්තුගත කර තිබේ.

සිනමා පටය තිරගත වූයේ දීපවාලි (දීවාලි) දිනයේ ය. අක්ලී කුමාර්ගේ තෙවැනි අධ්‍යක්ෂණය වන මෙර්සල්හි රඟපෑමේදී විජයට මැජික් කලාව ද ප්‍රගුණ කිරීමට සිදුවිය. මැසිඩෝනියා ජනරජයේ ගොගෝ, කැනඩාවේ රාමන් ෂර්මා, බල්ගේරියාවේ දානි බිලෙව් යන සුප්‍රකට මැජික් ශිල්පීන්ගෙන් ඔහු විවිධ විජ්ජාවන් හැදෑරුවේ ය. මෙය විජේගේ හැට එක් වැනි සිනමා පටයයි. ඔහු ත්‍රිත්ව චරිත නිරූපණයක යෙදෙන්නේ ද ප්‍රථම වරට ය. සිනමා පෝස්ටරයේ සිනමා පටයේ නම සිත්තම් කර ඇත්තේ විජේගේ නමත්, 61 ත් සංකේතවත් වන ලෙස ය.

මෙර්ෂල් සිනමා පටයේ නිෂ්පාදන වියදම රුපියල් කෝටි 135 ක් වූ අතර එය ‍ෙතවැනි වී ඇත්තේ එන්දිරන්ට හා 2.0 ට පමණි. 2012 වසරේ ‘තුප්පක්කාය’ සිනමා පටයේ සිට විජය එක් ගීතය බැඟින් ගැයීමට පුරුදු වී සිටියත් මෙහි එන ගීත හතරෙන් එකක්වත් ඔහු ගයන්නේ නැත. රසිකයන්ට විජේ සම්බන්ධයෙන් සතුට ගෙනෙන චෝදනා බොහෝ තිබුණ ද ඒ ගැන නම් ඇත්තේ නොසතුටකි. විජේ කාජල් අගර්වාල් සහ සමන්තා රූත් ප්‍රභූ සමඟ තිරයේ පෙමින් බැ‍ඳෙන්නේ තෙවැනි වරට ය.

කොලිවුඩ සිනමා පටයක් අන්තර්ජාතිකව රුපියල් කෝටි 200 සීමාවට ළඟාවී ඇත්තේ මීට පෙර සිවුවරක් පමණි. මේ පස්වැන්නයි. විශේෂයෙන් උතුරු ඉන්දියාවේ දමිළ සිනමාපටවලට එතරම් ඉල්ලුමක් නැත. එසේ තිබියදීත් මේ හතළිස් තුන් හැවිරිදි නළුවාගේ මෙර්ෂල් අති සාර්ථක ලෙස තිරගත වෙමින් පවතී.

සිනමා පටයෙන් සමාජයට ඉන්දීය දේශපාලනයට ඇති වී තිබෙන බලපෑම ද සුළුපටු නොවේ. ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයෙන් විජය රඟන චරිතයට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මෑතකදී රජය විසින් හඳුන්වා දුන් භාණ්ඩ සහ සේවා බද්දටත්, ඩිජිටලීකරණය වීමට දරන වෑයමටත් වි‍ෙජ්ගේ රඟන චරිතයෙන් විවේචන එල්ල කෙරේ. රජය ඉදිරි තිරගත කිරීම්වල දී එම දර්ශන ඉවත් කරන ලෙසට නියම කර තිබේ. තමිල් නාඩු රජයේ වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍ය සංගම් ගණනාවක් ද රජයේ සෞඛ්‍ය සේවාවට එල්ල වන තර්ජන හෙළා දැක ඇත. මේ නිසා හාස්‍ය රසයෙන් යුතු ක්‍රියාදාම සිනමාපටය මෙර්සල් සැබෑවටම තිරගත වන්නේ දේශපාලන එදිරිවාදිකම් මධ්‍යයේ ය. රජිනිකාන්ත්, කමල් හසන්, ශතෘගන් සිං ඇතුළු විශාල ඉන්දීය කලාකරුවන් පිරිසක් ‘මෙර්සල්’ට පක්ෂග්‍රාහීව ක්‍රියා කරයි.

භාරතීය ජනතා පක්ෂයේ ඇතැම් සාමාජිකයන්ගේ හා සමහර වෛද්‍ය සංගම්වල ඇඟිලි දිගු වුණත් අගමැති නරේන්ද්‍ර මෝදි ඉහළ පෙළේ නිලධාරීහු සිනමා පටය සම්බන්ධයෙන් මුනිවත රකිති. රටේ සෞඛ්‍ය සේවයේ හා බදු අය කිරීමේ නිරුවත සිනමාත්මකව සමාජගත කිරීම කලාවෙන් සිදුවිය යුතු මෙහෙවරක් බව ඔවුනගේ අදහසයි.

මිනිත්තු 169 පුරා තිරයේ දිග හැරෙන මෙර්සල් ශ්‍රී කෙනන්දල් බෙදා හැරීමකි. තාරා, වෛද්‍ය මාරන්ගේ පෙම්වතිය ලෙස සමන්තා ද, අයිශ්චර්යා වෙට්‍රිමාරන් ලෙස නිත්‍යා මෙනන්ද, වෛද්‍ය මාරන්ගේ සහ වෙට්‍රිගේ පෙම්වතිය අනු පල්ලවි ලෙස කාජල් අගර්වාල් ද මෙහි ප්‍රධාන චරිත රඟති. වඩිවේලු, එස්.ජේ. සූර්යා, සත්‍යරාජ්, කෝවෙයි සරලා, රාජේන්ද්‍රන්, සත්‍යන්, මිශා ගෝෂාල්, යෝගි බාබු, හරීෂ් පෙරාදි, කාලි වෙන්කත්, දේවදර්ශනී, සුරේඛා වානි, සංගිලි මුරුගන් ඇතුළු පිරිස සෙසු ප්‍රධාන චරිත රඟති.

‍‘මෙර්සල්’ ජයග්‍රාහී ලෙස තිරගත කෙරෙන්නේ ජනතා මනාපය මෙන් ම ප්‍රේක්ෂක මනාපය ද එක ලෙස දිනා ගනිමිනි. අයි‍.එම්.ඩී.බී‍. දර්ශකයට අනුව 10 න් 8.9 ක ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා 5 න් 3.5 ක ද මනාපය මීට හිමිවී තිබේ. නොවැම්බර් නව වැනි දින සිට ‘මෙර්සල්’ තෙලිඟු සිනමා පටය ‘අධිරින්ධි’ තිරගත කෙරේ.

(චම්පිකා දීපානි රණසිංහ)

නව අදහස දක්වන්න