හොලි­වු­ඩයේ මෙහෙම නෑනේ | දිනමිණ

හොලි­වු­ඩයේ මෙහෙම නෑනේ

 

ප්‍රියංකා චොප්රාගේ මව මෑතක කියා සිටියේ, අධ්‍යක්ෂකගේ බලපෑම් නිසා ප්‍රියංකාට සිනමාපට දහයකට වඩා අහිමි වී ඇති බව ය .

ඇය ක්ෂේත්‍රයට පිවිසියේ වයස අවුරුදු දාහතක් තරම්වූ ළා බාල කාලයේදී ය. ප්‍රියංකා චරිතයකට තෝරාගෙන, අධ්‍යක්ෂ කතාව පැවසීමේදී මුලින්ම කියා ඇත්තේ, කතාව පැවසීමට පෙර මවට පිටතට යන ලෙස ය. මවට ඇසීමට නොහැකි කතාවක, තමන්ට රඟපෑමට අවශ්‍ය නැති බව පවසා ප්‍රියංකා සිනමා පට ප්‍රතික්‍ෂේප කර තිබේ. බොලිවුඩය එසේ වුව ත් , හොලිවුඩය එසේ නොවන බව ප්‍රියංකා පවසන්නීය. ඔවුන් නිළියකට මහත් සේ ගරු කරයි.

 

ශ්‍යාමා සමුගනී

 

පහන, හැට දශකවල භාරතීය සිනිමා වංශකථාවේ ආදරණීය දඟකාරියක්, දුෂ්ට කවට යෞවනියක් වී සිටි සුරූපී ශ්‍යාමා, තවමත් රසික මතකයෙන් ගිලිහී ගොස් නැත. ඇය අසූ දෙහැවිරිදි වියේ දී දිවියෙන් සමුගෙන ඇත. මිලන් (1967), බායි බායි (1959),ජන්වර් (1965), චෝටි බෙහේන් (1959), බාභී (1957), ආර්පාර් (1954) වැනි සිනමා රංගනයන්ගෙන් ඇය ප්‍රේක්ෂක හදවත්හි සදා නිධන්ගත විය. ‘ශාරදා’ (1957) හි චන්චල් ලෙසින් කළ රංගනයට, ඇය හොඳ ම සහාය නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර විය. ඇය විවාහ වී සිටියේ එල සිටි සම්මානනීය අති දක්ෂ සිනමා ඡායාරූප ශිල්පියකු වූ ෆාලි මිස්ට්‍රි සමඟ ය. ඔහු ඇයට වඩා සොළොස් වසරක් වැඩිමල් ය. ශ්‍යාමා දෙදරු මවකි.

කුර්ෂිඩ් අක්තාර් ඇයගේ උප්පැන්න සහතිකයේ නම වුවත්, ඇයට, සිනමාවට ශ්‍යාමා ලෙසින් නම් තබන ලද්දේ විජේබාත් අධ්‍යක්ෂ විසිනි. කබීආර් කබීපාර්, චාලි චාලි ජේ පතන්ග්, චූපා කර් මේරි අන්තූ, තුජ්කෝ ‍මෛන් ජාන් ගයි, ඇය නර්තනයෙන් දායකවූ ජනප්‍රිය සිනමා ගීත අතර ඇත.

සිනමාපට 175ක පමණ රැඳී ඇයගේ ප්‍රියතම සිනමා මිතුරු මිතුරියන් අතර ජොනි වෝකර්, කලණ මිතුරා විය. දෙදෙනාගේ විකට රංගනයන් ද ඉතා ජනප්‍රිය විය.

 

 

පද්මාවතීට මැර ප්‍රහාර

 

රාණි පද්මාවතීගේ ප්‍රේමය, ත්‍රාසය, වීරත්වය මුසුවූ පුරාවෘත්තය ‘පද්මාවතී’, තිර‍යේ දිග හැරෙන්නට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. හම් දිල්දේ චුකේ සනම්, දේව්දාස් වැනි ආදරය සුන්දරව සිනමාවේ සිත්තම් කළ සම්මානනීය අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලිගේ අලුත් ම වික්‍රමය පද්මාවතී ය. එය 2017 වසරේ රසිකයන් පුල පුලා සිටි සිනමාපටයක් වුණත්, දැන් මුහුණ පා සිටින්නේ දැවැන්ත අර්බුදයකට ය.

රාණි පද්මාවතී ලෙස ගෙන, දීපිකා පදු‍කෝන් තරම් මෑත ඉතිහාසයේ රඟන චරිතයක් නිසා, ජීවිත තර්ජනයකට මුහුණ පෑ තවත් නිළියක නැති තරම් ය . ඇයටත්, අධ්‍යක්ෂ සාජේලීලා බන්සාලින්ටත් මෙසේ වාග් ප්‍රහාර , කායික තර්ජන එල්ල කරන්නේ, ශ්‍රී රාජ්පුට් කර්ති සේනා සංවිධානයයි. කර්නි සේනා පෙනී සිටින්නේ හින්දූන් වෙනුවෙනි. හින්දු - මුස්ලිම් බේදය වර්ධනය කරන කරුණක් බවට දැන් මේ සිනමාපටය පත්වී අවසාන ය. රාජ්ජුත් කර්නි සේනා ප්‍රධානී කියා සිටින්නේ, ඔවුන් ලක්ෂ ගණනින් එක්වන්නේ, තම මුතුන් මිත්තන් රුධිරයෙන් ලියූ ඉතිහාසය අඳුරු කරනවාට ඇති අකැමැත්ත නිසා බව ය. කාන්තාවකට එරෙහිව අත එසවීම කීර්ති සේනාගේ ගති ස්වභාවයක් නොවුණත්, රාමායනයේ ලක්ෂ්මන් සුපර්නිකාගේ නාසය කැපුවා සේ ,තම සංවිධානය ද රාණි පද්මාවතී ලෙස රඟන දීපිකාගේ නාසය කපා දමන බව පවසා ඇත. ඇයගේ නාසය කපන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටී. කිසිවකු දීපිකා පදුකෝන්ගේ හෝ සංජේ ලීලා බන්සාලිගේ හිස රැගෙන එනවා නම්, ලක්ෂ 5ක් දෙන බව තකූර් නායකයා පවසා ඇත. දොළොස් දහසක් කාන්තාවන් සමඟ රාණි පද්මාවතී දිවි පුදන දසුන ඉතිහාසයටම කරන අපහාසයක් නිසා, ඔවුන් රටහැර යායුතු හෝ රටට හිස දන්දිය යුතු බව ඔවුනගේ අදහස ය.

මේ තර්ජන ගර්ජන නිසා, සංජේටත්, දීපිකාටත් දැඩි පොලිස් රැකවරණයක් ලැබී තිබේ.

අන්ත­ර්ජා­ල­යෙනි
චම්පිකා දීපානි රණ­සිංහ

 

 

 

 

නව අදහස දක්වන්න