අන්තවාදීන්ට රට දෙන්න රජය සූදානම් නෑ | දිනමිණ

අන්තවාදීන්ට රට දෙන්න රජය සූදානම් නෑ

ඇමැති මනෝ ගනේෂන්

ජාතිවාදීන්ට අන්තවාදීන්ට සහ බෙදුම්වාදීන්ට රට භාරදීමට රජය සුදානම් නැතැයි රාජ්‍ය භාෂා හා ජාතික සංවාද පිළිබඳ ඇමැති මනෝ ගනේෂන් මහතා පවසයි.

රටේ ස්වෛරීභාවයට, ව්‍යවස්ථාවට එකඟව සියලු දෙනා කටයුතු කළයුතු බව පෙන්වා දෙන ඇමැතිවරයා උතුරු පළාත් සභා ඇමැතිවරයකු ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම මෙන්ම පසුගියදා දකුණේ ඇති වූ උණුසුම්කාරි තත්ත්වය මෙරට සාමය හා සමගිය අපේක්ෂා කරන ජනතාව ප්‍රතික්ෂේප කරන බව ද කියා සිටී.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් මෙන්ම තමන් ඇතුළු මෙම ආණ්ඩුව පත් කළ පිරිස අන්තවාදීන්ට මේ රට කිසිදා භාර නොදෙන බව අවධාරණය කරන ඇමැතිවරයා මේ බව උතුරේත් දකුණේත් සිටින අන්තවාදීන් දැන ගත යුතු වන බව ද පෙන්වා දෙයි.

උතුරේ ජාතික කොඩිය එසවීමට පළාත් සභා ඇමැතිවරයකු විරෝධය පළ කිරීම මෙන්ම දකුණේ ගිංතොට සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් 'දිනමිණ'ට අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ද කියා සිටියේය.

උතුරු පළාත් සභා ඇමැතිවරයකු ජාතික කොඩිය ඔසවන්නට අකමැත්ත පළ කිරීම මම හෙළා දකිනවා. එය වරදක්. එම කොඩිය සිංහල කොඩිය නෙවෙයි. එහි තිබෙන්නේ ශ්‍රී ලංකා ලාංඡනය විතරක් නෙමෙයි. ජාතින් පිළිඹිමු කරන රතු කොළ පාට එහි සංකේතවත් වෙනවා.

ජාතික කොඩිය ඔසවන්නට එපා කියා උතුරේ අන්තවාදය හිස ඔසවන එක සම්බන්ධයෙන් දකුණේ සිටින අන්තවාදීන් එහි වගකීම භාර ගත යුතුයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය දරන ආර් සම්බන්ධන් මහතා වසර කිහිපයකට පෙර උතුරේ වේදිකාවක සිංහ කොඩිය ඔසවා දකුණේ සිංහල ජනතාවට සුබවාදී පණිවිඩයක් යොමු කළා. ඒ පණිවිඩය වෙනුවෙන් දකුණෙන් සුබවාදී පිළිතුරක් ප්‍රතිචාරයක් මේ වන තෙක් ලැබුනේ නැහැ. ජාතික ප්‍රශ්නයට නොබෙදෙනු ශ්‍රී ලංකාවක් කියන තැනට ඇවිත් ඉන්න සම්බන්ධන් මහතා හිස් අතින් යවන්නයි මේ අය උත්සාහ කරන්නේ.

මෙහි මූලික වී සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයයි. මේ අය මතක තියා ගත්න ඕන සිංහ කොඩිය ඔසවපු සම්බන්ධන් මහතාව ශක්තිමත් කරන්න. සම්බන්ධන් මහතා වැනි මධ්‍යම මාවතේ ගමන් කරන අය දුර්වල වුණාම උතුරේ අන්තවාදීන් ශක්තිමත් වෙනවා. එය වළක්වන්නට බැහැ. දකුණේ ගිංතොට ජනතාවත් ජාතීන් දෙකක් පදනම් කරගෙන ගහගෙන මරාගෙන ගිනි තියාගෙන ඉන්නවා. මේ රටේ ජනතාවට ඉවසීම නැහැ. ථේරවාදී බෞද්ධ ආගම තිබෙන ප්‍රධාන රට ශ්‍රී ලංකාවයි. ඉවසීම ගැන අධ්‍යාපනයක් ලෝකෙටම ලබා දිය යුත්තේ ශ්‍රී ලංකාවයි. අපිට මේ වන විට භාණ්ඩයක් ලෙසට පිටරටින් ඉවසීම ආනයනය කරන්නයි සිදු වෙලා තිබෙන්නේ. මෙලෙස ඉවසීම ප්‍රගුන කරන්න බැරිනම් වලේ වැටෙන්නයි අපිට සිදු වන්නේ.

සුබාෂිණී සේනානායක 

නව අදහස දක්වන්න