මේ සුරක්ෂා රක්ෂණයේ මල් පිපෙන කාලයයි | දිනමිණ

මේ සුරක්ෂා රක්ෂණයේ මල් පිපෙන කාලයයි

රේණුකා පීරිස් අධ්‍යාපන අධ්‍යක්ෂ පාසල් සෞඛ්‍ය හා පෝෂණ

අප බලාපොරොත්තු සහගත ප්‍රවේශයක් අභියසය. ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේත් පළමුවරට දැයේ දරුවන් වෙනුවෙන් ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන ‘සුරක්ෂා සිසු රක්ෂණය’ සැබවින්ම අපේ දරුවන් සුරකින්නටය. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්ව අපේ රටේ සෑම පාසල් දරුවෙක්ම ආවරණය වන පරිදි මෙම සෞඛ්‍ය රක්ෂණාවරණය ක්‍රියාත්මක වේ. මේ ඒ පිළිබඳව තැබෙන සටහනකි.

සුරක්ෂා රක්ෂණ ක්‍රමය

ළමයකුට අපි නොසිතන අවස්ථාවක රෝග හෝ අනතුරු හෝ ඇතිවිය හැකිය. එවැනි රෝග හෝ අනතුරු අවස්ථාවන් හැකි ඉක්මනින් හානි පූරණය කිරීම සඳහා දායකත්වය ලබාදීම මේ සුරක්ෂා රක්ෂණ ක්‍රමය මඟින් සිදුවේ. බෝනොවන රෝග එනම් දියවැඩියාව ආදිය සඳහා මෙය බලපාන්නේ නැති නමුත් ඩෙංගු, උණ, කැස්ස, සෙම්ප්‍රතික්ෂාව මෙන්ම මහාමාර්ගයේ යන විට සිදුවන අනතුරු මේ රක්ෂණ ක්‍රමය යටතේ ආවරණය වේ. ඒ අනුව ළමයකුට පාලනය කරගත නොහැකි සාධක නිසා ඇතිවෙන රෝග, ආබාධ හෝ අනතුරු අවස්ථාවන්වලදී ඇතිවන හානි පූරණය කිරීම සුරක්ෂා රක්ෂණ ක්‍රමය ලෙස දැක්විය හැකිය.

‘මෙම රක්ෂණය එළිදකින්නේ සදා සුරකිමු දැයේ දරුවන්...’ යන තේමාවෙනි. ඔක්තෝබර් 01 වැනිදා සිට මෙය ක්‍රියාත්මකය.

ඕනෑම ආයතනයක සේවය කරන සේවකයකුට රක්ෂණයක් එම ආයතනය මඟින් ලබාදෙන බව සැවොම දන්නා කරුණකි. එෙහත් මේ වන තෙක් ළමයකුට එලෙස කිසිදු රක්ෂණාවරණයක් ක්‍රියාත්මක වූයේ නැති බව ද අපි දනිමු. ළමයෙක් නිතරම අනතුරුවලට, රෝගාබාධවලට ගොදුරුවීමේ ඉඩකඩ වැඩිය. මේ සියලු කරුණු සලකා බලා මෙලෙස රක්ෂණාවරණයක් ඇතිකිරීමට ආණ්ඩුව තීරණය කළේය.

සංඛ්‍යාලේඛනවලට අනුව වසරකට ළමයි ලක්ෂ 3 ක් පමණ රෝහල් ගතවෙති. 20,000 ක් පමණ හදිසි අනතුරුවලට භාජනය වෙති. මුදල් හදල් ඇති මව්පියන් තම දරුවන් වෙනුවෙන් රක්ෂණ ලබා දුන්නද, බහුතරයකට මෙලෙස රක්ෂණ ලබාදීමේ හැකියාවක් නොමැත. එමනිසා සුරක්ෂා සිසු රක්ෂණ ක්‍රමය දිළිඳු දරුවනට විශාල පිටිවහලක් වනු නොඅනුමානය.

ආවරණය වන පිරිස

අපේ රටේ පාසල් යන දරුවෝ ලක්ෂ හතළිස් පහකි. ඔවුන් සියල්ෙලා්ම මෙහිදී ආවරණය වේ. එනම් රජයේ පාසල්, පෞද්ගලික පාසල් (ආධාර ලබන සහ ආධාර නොලබන), ජාත්‍යන්තර පාසල්, පිරිවෙන් සහ විශේෂ පාසල් යන සියල්ලෙහිම ඉගෙනුම ලබන වයස අවුරුදු 5 - 19 ත් අතර වයස් සීමාවේ පසුවන දරුවන් මේ රක්ෂණාවරණයෙන් ප්‍රතිලාභ ලැබීමට හිමිකරුවෝ වෙති. ඔවුන් සියලුදෙනාම අනිවාර්යයෙන්ම මේ රක්ෂණයේ ලියාපදිංචි කර ඇත. ඔවුන් සම්බන්ධ සියලු දත්ත ගොනු මේ වන විට සැකසෙමින් පවතී.

මෙම රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලැබීමට කිසිදු කොන්දේසියක් නොමැත. මෙහිදී දරුවකුගේ ආදායම් මට්ටම හෝ මවුපියන් පිළිබඳව හෝ සොයා බලන්නේ ද නැත. දරුවා ලංකාව තුළ පාසලක ඉගෙන ගැනීම පමණක් අදාළ වේ. රක්ෂණය වෙනුවෙන් කිසිදු මූලික ගෙවීමක් කරන්නට සිදුවන්නේ ද නැත.

ප්‍රතිලාභ හිමිවන ආකාරය

සුරක්ෂා සිසු රක්ෂණය වෙනුවෙන් කරන සියලු ගෙවීම් රජයෙනි. මේ සඳහා රජයේ අයවැය යෝජනා යටතේ 2017 වසර සඳහා රුපියල් බිලියන 2.7 ක් හෙවත් මිලියන 2700 ක් මූලිකව වෙන්කර තිබේ. මේ මුළු රක්ෂණාවරණයේම වටිනාකම වන අතර ඉන් එක් ළමයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 කට ආසන්න ප්‍රතිලාභ හිමිවේ. රක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවය. මේ රක්ෂණාවරණය අවස්ථා 3 ක් යටතේ ක්‍රියාත්මක වේ. එනම්,

1. සෞඛ්‍ය රක්ෂණාවරණය

මෙහිදී පෞද්ගලික රෝහලක හෝ රජයේ රෝහලක නේවාසික ප්‍රතිකාර ගැනීම.

බාහිර ප්‍රතිකාර ගැනීම.

2. හදිසි අනතුරු ආවරණය

මිය යාම (මවුපියන් මිය යාම හෝ ළමයා මිය යාම)

පූර්ණ, සදාකාලික අකර්මණ්‍යතාව

3. විශේෂ වරප්‍රසාද

මේ යටතේ විශේෂඥ වෛද්‍යවරු chanelling ගාස්තුවලින් 20% ක් අඩු කිරීමට එකඟ වී ඇත.

පෞද්ගලික රෝහල් ද රෝහල් ගාස්තුවෙන් 20% ක් අඩු කිරීමට එකඟ වී ඇත.

මෙය තවදුරටත් විස්තර කළහොත් මෙසේය.

නේවාසික රෝගීන්ට සහ වෛද්‍ය සේවා සැපයීම් යටතේ වාර්ෂිකව උපරිමය ලක්ෂ 2 ක් දක්වා ලැබේ.

දරුවකුට එක් වරකදී රෝහල් ගතවීම සඳහා රුපියල් ලක්ෂයක් දක්වා වියදම් ප්‍රතිපූර්ණ කෙරේ. රෝහල් ගතවීමකින් තොරව වුවද පරීක්ෂණ කටයුතු සඳහා වන වෛද්‍ය ගාස්තු ලබා දේ.

රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීමේදී දිනකට රු. 1000 බැගින් වසරකට දින 30 ක් දක්වා ගෙවීම් සිදු කෙරේ.

රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීමේදී පිටතින් සිදුකරන පරීක්ෂණ සඳහා රුපියල් දසදහසක් දක්වා මුදලක් ලබාගැනීමට රක්ෂණයෙන් අවකාශ සැලසේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ඕනෑම පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබන්නේ නම් උපරිමය රු. ලක්ෂයකට යටත් ගෙවීමක් කරනු ලැබේ.

මවුපියන් අහිමිවීමකදී රු. 75,000 ක මුදලක් ලබා දේ.

දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වුවහොත් රු. ලක්ෂයක් දක්වා ප්‍රතිලාභ හිමිවේ.

දරුවකු මිය ගිය අවස්ථාවක රු. ලක්ෂයක වන්දියක් ලැබේ.

මේ ආදී ලෙස ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව පවතී. මේ රක්ෂණාවරණය පාසල තුළ පමණක් නොව, පාසලින් පිටතදී ද දින 365 පුරාම ප්‍රතිලාභ හිමිවේ.

දැනට ප්‍රතිලාභ ලබා ඇති පිරිස

මේ රක්ෂණ ක්‍රමය යටතේ මේ වන විට 42 ක් ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇත. පහතින් දැක්වෙන්නේ දැනටමත් ප්‍රතිලාභ ලැබූ දරුවන් කිහිපදෙනකුගේ පාසල් හා එම ලැබූ මුදල් ප්‍රමාණයන් ය.

1. හෝමාගම ජනාධිපති විද්‍යාලයේ දරුවකුට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීම වෙනුවෙන් රු. 78,500 ක මුදලක් ලබා දී ඇත.

2. කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ දරුවකුට රු. 51,820 ක මුදලක් ලබා දී ඇත.

3. තංගල්ල ප්‍රාථමික විද්‍යාලයේ දරුවකුට රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීම හේතුවෙන් රු. 3000 ක මුදලක් ලබා දී තිබේ.

4. ගනේගොඩ මහා විද්‍යාලයේ දරුවකු වෙනුවෙන් රු. 2000 ක මුදලක් ද,

5. නාගස්තලාව ප්‍රාථමික විද්‍යාලයේ දරුවකු වෙනුවෙන් රු. 6000 ක්,

6. බණ්ඩාරවෙල මරංගහවෙල විද්‍යාලයේ දරුවකුගේ පියා හදිසි අනතුරකින් මිය යාම හේතුවෙන් රු. 75,000 ක මුදලක් ද,

7. කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දරුවකු රජයේ රෝහලක ප්‍රතිකාර ලබාගැනීම හේතුවෙන් රු. 7000 ක මුදලක් ද, ආදී වශ‍ෙයන් ප්‍රතිලාභ මුදල් ලබා දී තිබේ. එසේම එම මුදල් ගෙවමින් පවතී.

රක්ෂණයට අයදුම් කරන ආකාරය

ළමයකුට හදිසි අසනීප අවස්ථාවකදී හෝ අනතුරකදී හෝ ළඟම තිබෙන රක්ෂණ සංස්ථාවේ ශාඛාවකින් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් හෝ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වෙබ් අඩවියෙන් මීට අදාළ අයදුම්පත්‍රය ලබාගැනීමේ හැකියාව ඇත. මෙහිදී දරුවා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිතුමාගේ සහතිකය පමණක් ළමයා සම්බන්ධයෙන් අවශ්‍ය වේ. ළමයාට ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් ඇති ලියකියවිලි, වෛද්‍ය වාර්තා සියල්ල සමඟ අයදුම්පත පුරවා ළඟම තිබෙන රක්ෂණ සංස්ථා කාර්යාලයට භාරදිය යුතුය. ඒ සඳහා දින 90 ක කාලයක් තිබේ.

මේ ආකාරයට දැයේ දරුවන් සුරකීම පිණිස ආරම්භ කරන ලද මෙම රක්ෂණාවරණය සැබැවින්ම රජය විසින් ගනු ලැබූ තවත් වැදගත් ක්‍රියාමාර්ගයක් ලෙස හඳුන්වා දීම නිවැරදිය.

සටහන - යශෝදා ඉන්දීවරී

 

නව අදහස දක්වන්න